Opinion

කාබුල් සිට කොළඹට දුර ද?

Summary

පළමුවැන්න වන්නේ තලිබාන් සංවිධානය යම් තරමකට වෙනස් වී තිබිය හැකිය යන්නයි. පසුගිය වසර විස්ස ඇතුලත ඇෆ්ගනිස්ථානය විශාල පරිවර්තනයකට ලක් විය. වෙනස් ආකාරයක දේශපාලන වටිනාකම් හා සංස්කෘතියක් එහි ඇති විය. එම වෙනසෙහි බලපෑම තලිබාන් සංවිධානයටද ලැබී එය වෙනස් වී ඇත්නම් එය ලෝකයේම වාසනාවකි.

A U.S. Chinook helicopter flies over the U.S. Embassy in Kabul, Afghanistan, Sunday, Aug. 15, 2021. Helicopters are landing at the U.S. Embassy in Kabul as diplomatic vehicles leave the compound amid the Taliban advanced on the Afghan capital. (AP Photo/Rahmat Gul)

සමස්ත ඇෆ්ගනිස්ථානය ම යළිත් වතාවක් තලිබාන් සංවිධානය යටතට පත්වීම දැන් බොහෝ විට කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි.

මේ පිළිබඳව ලංකාවේ රජයත්, ආරක්ෂක අංශත්, මහජනතාවත්, විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවත් අවධානය යොමු කළ යුතුය. විසි වසරක් අල්ලාගෙන සිටීමට සමත් වීම මගින් බලගතු ඇමරිකාව පවා පරාජය කිරීමට හැකිවීමෙන් ලෝකයේ වෙනත් මුස්ලිම් අන්තවාදීන්ට හා ත්‍රස්තවාදීන්ට සැපයෙන පූර්වාදර්ශය හා උත්තේජනය සුළුපටු එකක් නොවේ. ඒ අනුව ජිහාදය වෙනුවෙන් දිවි පුදන්නට කැමති වන දුසිමක් දෙකක් ලංකාවෙහි ද බිහි වුවහොත් එයින් ඇතිවිය හැකි විනාශය අති විශාලය.

ඒ අනුව පළමුවෙන්ම, සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මුස්ලිම් ජනතාව හා නායකයන් තම ප්‍රජාව තුළින් බිහිවන අන්තවාදී අදහස් හා සංවිධාන ගැන නිරතුරුවම විමසිල්ලෙන් සිටීම අවශ්‍ය ය. කාලයක් තිස්සේ මුස්ලිම් ප්‍රජාව සහ නායකයන් අනුගමනය කළේ තම සමාජය තුළින් මතුවන අන්තවාදය ඉවසන සහ වසංගන ප්‍රතිපත්තියකි. සහරාන්ගේ බිහි වීම එහි ප්‍රතිඵලයයි. නමුත් අපේ ප්‍රසංසාවට ලක් නොවන නමුත් එම බියකරු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ප්‍රජාව හැසිරුනේ ඉතාමත්ම වගකීම් සහගත ආකාරයකිනි. ඉතා ඉක්මනින්ම සහරාන්ගේ කණ්ඩායමේ අනිත් අයව අල්ලා ගැනීමට හැකි වූයේ සම්පූර්ණයෙන්ම පාහේ මුස්ලිම් ජනතාවගෙන් ලද තොරතුරු හා සහයෝගය මත ය. මෙය එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් දෙමළ ප්‍රජාව අනුගමනය කළ ප්‍රතිපත්තියට වඩා සහමුලින්ම වෙනස් ය. ඉදිරියේදී මුස්ලිම් සමාජය අනුගමනය කළ යුතු වන්නේ පාස්කු ප්‍රහාරයට පෙර ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තිය නොව ඊට පසු ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තිය ය.

ආණ්ඩුව කළ යුතු වන්නේ, බාල මුස්ලිම් විරෝධය දේශපාලන සූදුවක් ලෙස භාවිත කිරීම නතර කිරීමය. ශාෆි නාඩගමේ සිට බද්යුදීන් නාටකය දක්වා මේ ආණ්ඩුව කරමින් සිටින්නේ ඇත්ත මුස්ලිම් අන්තවාදය හඳුනා ගැනීම සහ ඊට එරෙහිව පියවර ගැනීම වෙනුවට, තමන්ට දේශපාලන වශයෙන් වාසි සහ පහසු, ව්‍යාජ මුස්ලිම් අන්තවාදයක් අටවාගෙන ඊට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙන් සිංහලයා කුල්මත් කිරීම ය. එයින් එක අතකින් මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය නිවැරදිව හඳුනා හඳුනාගැනීම මගහැරී යයි. අනික් අතට ආණ්ඩුව සහ සිංහලයන් අයුක්ති සහගත ය යන අදහස සාමාන්‍ය මුස්ලිම් සමාජය තුළ පැලපදියම් වීමෙන් ඔවුන්ගේ අනුමැතිය සහ සහයෝගය, මුස්ලිම් අන්තවාදය වෙත ක්‍රමක්‍රමයෙන් යොමු වීම සිදුවෙයි. මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය යනු තවදුරටත් දේශපාලන අවස්ථාවක් හා තුරුම්පුවක් නොව ජාතික අභියෝගයක් බව මේ ආණ්ඩුව තේරුම් ගත යුතුමය.

ආරක්ෂක අංශ, නව අභියෝගයේ වෙනස තේරුම් ගත යුතුය. මෙය ඊළාම් යුද්ධයට වඩා වෙනස්ය. පැරණි යුද්ධයෙහි දී ත්‍රස්තවාදය ඉන් එක් කොටසක් වූවා පමණය. අඩුම තරමින් තව දශක ගණනාවක් යන තෙක් ම, මුහුණට මුහුණලා කෙරෙන භූමියේ යුද්ධයක් කිරීමට මුස්ලිම් අන්තවාදය සමත් වන්නේ නැත. එහි ස්වරූපය ත්‍රස්තවාදයයි. එසේම එල්ටීටීඊයට මෙන් මෙන් පැහැදිලි ඉලක්කයක් නොමැති බැවින් මුස්ලිම් ත්‍රස්තවාදයේ අරමුණ හැකි තරම් විනාශයයි. සහරාන්ගේ ප්‍රහාර පිළිබඳ ඉන්දියාවෙන් ලැබුණු තොරතුරුවලට අමතරව ලංකාවේ බුද්ධි අංශ මගින් නිශ්චිත තොරතුරු සොයාගෙන තිබූ බවක් පෙනෙන්නේ නැත. එය කිසිසේත්ම සතුටු විය හැකි දෙයක් නොවේ.

ජනතාව කියා තනි කණ්ඩායමක් නැත. ඒ අතුරින් සිංහල ජාතිකවාදීන්ට කිව යුතු වන්නේ යුතු වන්නේ මුස්ලිම් මිනිසුන් මරාගෙන කෑමට යෑමෙන් හෝ ඔවුන්ට ඉතා අසාධාරණ වඳ බෙහෙත්, වඳ කොත්තු වැනි මෝඩ චෝදනා එල්ල කිරීමෙන් සිදුවන්නේ මුස්ලිම් අන්තවාදය මර්දනය වීම නොව වර්ධනය වීම බවයි. ලිබරල් මූලධර්මවාදීන් ඇතුළු වාමාංශිකයන්ට කිව යුතු වන්නේ සුළුතර ජාතිවාදය හා අන්තවාදය කියා දෙයක් ද ඇති බවය. රාජ්‍යයේ ස්ථාවරභාවය සහ මානව අයිතිවාසිකම් යන දෙකම එකවිට ආරක්ෂා කිරීමෙන් තොරව මේ අභියෝගය ජයගත නොහැකිය. ජාතිකවාදීන් සහ වාමාංශිකයන් යන දෙපිරිස මේ තුලනයේ අවශ්‍යතාවය තේරුම් ගත යුතුය.
සැප්තැම්බර් 11 ප්‍රහාරය ප්‍රහාරයත් සමඟම ත්‍රස්තවාදයට එරෙහි ස්ථාවරයකට, ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය මාරු වීමේ වාසිය එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී අපට ලැබුණි. අද ඇති වෙමින් තිබෙන්නේ එහි අනෙක් පැත්තය. රට ඇතුළේ ම තිබූ වන්නියෙන් විටින් විට එවන මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගෙන් කොළඹට එල්ල වී තිබූ අභියෝගය අපට අමතක නැත. ලංකාව මෙන් දස ගුණයක් විශාල තලිබාන් වන්නියක් දැන් බිහිවී ඇත.

කෙසේවෙතත් යාන්තමින් හෝ සුබදායි බලාපොරොත්තුවක් තබාගත හැකි කරුණු දෙකක් ද අවසාන වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.

පළමුවැන්න වන්නේ තලිබාන් සංවිධානය යම් තරමකට වෙනස් වී තිබිය හැකිය යන්නයි. පසුගිය වසර විස්ස ඇතුලත ඇෆ්ගනිස්ථානය විශාල පරිවර්තනයකට ලක් විය. වෙනස් ආකාරයක දේශපාලන වටිනාකම් හා සංස්කෘතියක් එහි ඇති විය. එම වෙනසෙහි බලපෑම තලිබාන් සංවිධානයටද ලැබී එය වෙනස් වී ඇත්නම් එය ලෝකයේම වාසනාවකි.

දෙවැන්න වියට්නාම් අද්දැකීම ඇසුරෙන් මා තුළ ඇතිවන විකාර සහගත සිතිවිල්ලකි. 1975 දී එතෙක් සදා අපරාජිතව සිටි ඇමරිකාව දුර්වල වියට්නාමය ඉදිරියෙහි පරාජයට පත්විය. ඒ අනුව සිදුවිය යුතුව තිබූ දෙය නම් ලෝකය පුරා සමාජවාදය විජයග්‍රාහී වීමය. නමුත් ඇත්තෙන්ම සිදු වුයේ ඉන් වසර දහයකට පසුව සමාජවාදය අවසන් වී ඇමරිකාව ලෝකයේ එකම සුපිරි බලවතා ලෙස ඉතිරි වීම ය. ඒ අනුව මෙතෙක් ලෝක ඉතිහාසය ගමන් කර ඇති අරුම පුදුම ආකාරය දෙස බලන විට, තලිබාන් ජයග්‍රහනය ඉස්ලාම් අන්තවාදයේ විජයග්‍රහණයක ආරම්භය නොව එහි අවසානයේ ආරම්භය වීමට ද ඉඩ තිබේ.

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

Leave a Reply

Your email address will not be published.