Opinion

කාමර කුලිය සතුටින් ගෙවන්න….

Summary

මොහමඩ් අලි කියන විශිෂ්ඨ බොක්සිං ක්‍රීඩකයා මෙහෙම කියනව, ‘Service to the others is the rent you pay for your room here on earth’ සිංහලෙන් කීවොත් මිනිස්සුන්ට සේවය කිරීම තමයි ඔබ මිහිතලයට ගෙවන කාමර කුලිය කියල ඔහු කියනව.

මගෙ සමහර මිත්‍රයන් ලියන, කියන කාරණාවක් තමයි, ” මේ කරන්නෙ රස්සාවක්. ඒක කරල පඩිය ඇරන් ගියාම හරි. තැන් දියුණු කරන්නයි, සිස්ටම් හදන්නයි යන්න ඕන නෑ. ඒව රජයේ සහ ආයතන ප්‍රධානීන්ගෙ වැඩ. කොටින්ම පේෂන්ට්ලගෙ, ක්ලයන්ට්ලගෙ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගන්න ඕනෙ නෑ”

මම සාමාන්‍යයෙන් මිනිස්සු එක්ක වාදයට යන්නෙ නෑ. වාද කරල මිනිස්සු වෙනස් කරන්න බැරි බව මා හිතනව…

මොහමඩ් අලි කියන විශිෂ්ඨ බොක්සිං ක්‍රීඩකයා මෙහෙම කියනව, ‘Service to the others is the rent you pay for your room here on earth’ සිංහලෙන් කීවොත් මිනිස්සුන්ට සේවය කිරීම තමයි ඔබ මිහිතලයට ගෙවන කාමර කුලිය කියල ඔහු කියනව.

මේ මිනිස්සුන්ට සේවය කිරීම කියන්නෙ මොකක්ද? මහා පරිමාණ බිල්ඩින් හදන එකද? මහා විශාල අධිවේගී මාර්ග හදන එකද? ලොකු උත්සවයක් තියල පොත්පත් බෙදල දෙන එකද? හොස්පිට්ල් එකකට ලොකු ඩොනේෂන් එකක් දෙන එකද?

ඔව්, ඒවත් යම් මට්ටමක සේවය කිරීම් තමයි. එහෙම හිතුවොත් අපි වගේ සාතිශය බහුතර සාමාන්‍ය මිනිස්සු අනිත් මිනිස්සුන්ට සේවය කරන්නෙ කොහොමද? මිනිස්සුන්ට සේවය කිරීම සල්ලිකාර බලපුලුවන්කාරයන්ට උරුම දෙයක් වෙනව නේද?
මෙතන තමයි අප වරද්දා ගන්නා තැන…

මම එංගලන්තයේ ඉන්නැද්දි ප්‍රතිකාර කරා ස්ටුවට් කියල මහත්මයෙක්ට. අධික මත්පැන් භාවිතය නිසා දරුණුවට දත් ටික ගෙවිල තිබ්බ ඔහුව මට භාර දුන්නෙ ප්‍රොෆෙසර් ටේලර්. ස්ටුවට් මහත්තය එවෙලෙත් දෙකක් දාල හිටියෙ. මම පේෂන්ට්ව භාර ඇරන් මූලික විස්තර ඇරන් එක්ස් කිරණ ලබාගන්න යැව්ව. දරුණුවට අරක්කුවලට ඇබ්බැහි වෙලා හොස්පිට්ල් එකටත් බීල එන මේ පේෂන්ට් ගැන මට තිබුණෙ දෙගිඩියාවක්. මම මහාචාර්යතුමා ලඟට ගියා. ඔහුගෙ මූණෙ තිබුණෙ හිනාවක්…

“Yes Lakmal, I know you have a question”

“Yeah Professor, Can we really take over him? ” මට ප්‍රශ්නය තිබු⁣ණෙ ස්ටුවට් මහත්තය කොහොම අපි එක්ක ගනුදෙනු කරයිද කියල…විශේෂයෙන් ඔහුගෙ බීමත්කම එක්ක.
“Lakmal, he is a troubled person. Lot of family issues, problem with alcohol…He is living alone…At least we should try to help him..May be that is all what he wants”

මහාචාර්ය ටේලර්ගෙ මේ වචන මගෙ ඔලුවෙ අදටත් තියෙනව. අරක්කු පාවිච්චිය වැඩිකම හින්ද සමාජය විසින්ම ප්‍රතික්ෂේප කරපු, කොන් කරපු, පවුලෙන් ඈත් කරපු, හව්හරණක් නැති ස්ටුවට් මහත්තය පස්සෙ මාත් එක්ක මිත්‍රශීලී වුණා. ඔහු පසුව ඔහුගෙ ජීවිත කතාව මා සමග කීව. වෘත්තියෙන් දුම්රිය රියදුරෙක් වූ ඔහු පැදවූ දුම්රියට මවක් හා දරුවෙක් යටවෙල. ඒ සිදුවීම ඔහුව කම්පනයට පත්කරල. ඔහුට රෑට නිදාගන්න බැරිවෙල. ඇස්දෙක පියාගත්තම ඒ දර්ශනය පේන්න පටන් ඇරන්. ආතතිය නිසා ඔහුව රස්සාවෙන් ඉවත් කරල. ස්ටුවට් මහත්තයගෙ අරක්කු ඇබ්බැහියේ මුල එතැනයි…

ඉතාම සතුටෙන් බදාදා උදේ සායනයට ආපු ඔහුගෙ ප්‍රතිකාරය අවසන් වෙමින් තිබුණ. “So, Mr Stewart, next visit will be your last day here” මං ඔහුට ඒ බව කීව. දුක්මුසු මුහුණෙන් ඔහු මා දෙස බැලූ හැටි මට අදටත් මතකයි. “It has been a pleasure, Lakmal” ඔහු කීවෙ මගෙ අතක් අල්ලගෙන. මම හදපු Trial denture එක මහාචාර්ය ටේලර්ට පෙන්වන්න අවශ්‍යයි ඉවර කරන්න ලැබ් එකට යවන්න කලින්. අප ලඟට ඇවිත් ඒක බලල ස්ටුවට් එක්කත් තනිවම කතා කරපු මහාචාර්යවරය මට මෙහෙම කීව…

“You have handled him pretty well…He is very happy”
එදා සමුගෙන ගිය ස්ටුවට් අවසාන ප්‍රතිකාරයට ආවෙ නෑ. මම දුරකතනයෙන් කතා කරල බැලුවම ඔහුගෙ පුතා කීව ස්ටුවට් මොලේ නහරයක් පුපුරල ඉස්පිරිතාලෙ ඉන්නෙ කියල. ඔහුගෙ තත්ත්වය නරකයි කියල. ඔහු වෙනුවෙන් හදපු දත් කුට්ටම අදටත් රෝයල් ලන්ඩන් ඉස්පිරිතාලෙ රාක්කයක ඇති…

ආදරණීය මිත්‍රවරුනි,
මම එංගලන්තයේදි විශේෂඥ දන්ත වෛද්‍යවරුන් සම්බන්ධ බ්‍රිතාන්‍ය සංගමයෙ සභාපති මහාචාර්ය ටේලර්ගෙන් ඉගෙන ගත්⁣ත ජීවිත විද්‍යාව ඕකයි. අදටත් මා ඉදිරිපිට ඉන්නා රෝගියා එක්ක ජීවිතේ ගැන ටිකක් හරි කතා කරන්නෙ ඒකයි. ඒ රෝගියාගෙ ප්‍රශ්නය විසඳන්න මොනව හරි කරන්න දඟලන්නෙ ඕකයි. අප ලඟට එන අයව කවර හේතුවක් නිසා හෝ Judge කරන්නෙ නැතුව ඉන්නෙ ඒකයි. මාව එංගලන්තය ගැන Inspire කරේ ඔය වගේ මනුස්ස ගතිගුණ ඇති ශ්‍රේෂ්ඨ උගත් මිනිස්සු මිසක් එහෙ තිබ්බ ඉහළ ජීවන තත්ත්වය නෙවෙයි…

තමන්ගෙ රස්සාව ඇතළෙ අනිත් මිනිහා ගැන කරුණාවන්තව ප්‍රශ්න විසඳන්න හදන එක චොයිස් එකක්. හැබැයි ඒ චොයිස් එක වෙන්න පුලුවන් ඔබ ඉදිරියේ ඉන්නා මනුස්සයාට අවශ්‍යම දේ. සමහර විට ඔහුගෙ ජීවිතයෙ ලොකුම දේ. මේ දේ කරුණාවන්ත වචනයක් විතරක් වෙන්නත් පුලුවන්. සමහර විට ඒක වෙන්න ඇති ඔබව මනුස්සයෙක් හැටියට දරාගෙන ඉන්න මිහිතලයට ඔබ ගෙවන කාමර කුලිය…
ඒ කාමර කුලිය සතුටින් ගෙවන්න…ඔබ සතුටින් ඉඳියි.

ලක්මාල් කුලසේකර

Leave a Reply

Your email address will not be published.