Opinion

කාර්මික ශිෂ්ටාචාරයේ මළගම ද මේ?

Summary

රටකට පැහැදිලි අරමුණක් තිබිය යුතුය. එම අරමුණ ලඟාකර ගැනීමට සැලසුමක් තිබිය යුතුය. එසේ නොමැතිව නිදැල්ලේ යෑමෙන් සෙතක් නොවනු ඇත. දශක හැත්තෑවක් තිස්සේ වමට-දකුණට හැරෙමින් යෑමට සැලස්වූයේ නය කාරයින්ගේ තුරුලටය.
තත්වය මෙසේ පවතිද්දී අප මුහුණපාන්නා වූ සමස්ථ අර්බුදයට ගැලපෙන විසඳුම් දේශපාලකයින් වෙතින් තවදුරටත් බලාපොරොත්තුවීමම අනුවනකමකි. ඒ බර පැටවී ඇත්තේ මෙරටේ දැනුවත් පුරවැසියන් මතය.

මේ මොහොත වනවිට මුළු ලෝකයම අකර්මන්‍ය වී මාස පහ ඉක්මවමින් පවතී. දවසේ තත්පරයකට හෝ නතර නොකල විශාල කර්මාන්ත ඇතුළුව සියළු මානව ක්‍රියාවලියක්ම නතරවින. මහා මාර්ගවල, ගුවනෙහි හා සාගරයේ ගමන් ගත් සියල්ල මොහොතකට නිහඬ විය. ‘කියුතෝ’ පාරිසරික ගිවිසුමට පවා එකඟ නොවූ මහා බලවත් රටවල් වලටද හිස නමන්නට සිදුවිය.
එතෙක් වර්ෂ ගනනාවක් තිස්සේ දුමාරයෙන් වැසීගිය අහස්තලය හා හිමාලය වැනි කඳුවැටිවලට බාධාවකින් තොරව හිරු රැස් පතිත වන්නට විය. ඕසෝන් ස්තරය පවා යථා තත්වයට පත් වෙමින් තිබෙන බව අසන්නට ලැබින.
කිසිඳු බලවේගයකට නතරකර දැමීමට නොහැකි වූ මානවයාගේ අක්‍රමණශීලී රුදුරු ක්‍රියාවලිය ඇසිල්ලකින් නතර කර දැමීමට සොබාදහමට ඇති හැකියාව නැවත පෙන්නුම් කළාය. එමගින් මහා බලවතුන් මෙන්ම ලොකු කුඩා සෑම රාජ්‍යයක්ම කරගෙන ගියාවූ මානව හා පාරිසරික සූරාකෑම මොහොතකට හෝ නතර කර දැමීමට හැකිවීම සොබාදහම ලද මද අස්වැසිල්ලකි.

මෙම තත්වය එනම් තමා විසින් සොබාදහමට එරෙහිව කරගෙන ගියා වූ විනාශකාරී ක්‍රියාවන් නතර කර දැමීමට හෝ වෙනස් කර ගැනීමට කල අනතුරු ඇගවීමකි !
මානවයා එය තේරුම් ගනීවිද !…..?
හරියටම මෙම සිදුවීම සොභාව මෑණියන්ගේ ඇගේ එල්ලී ලේ උරාබොමින් සිටි ලොකු, පොඩි, තඩි මහත, කොරපොතු කිනිතුල්ලන් සියල්ල හලා දමා මද ඉස්පාසුවක් ලබා ගත්තාක් වැනිය.
ඒ කොතෙක් දවසකට ද !…..?
අනික් පැත්තෙන් මෙම සිදුවීමෙන් ප්‍රකට වන්නේ මානවයා විසින් සොබාදහමට එරෙහිව කරගෙන ගියා වූ විනාශකාරී මග අහුරාදැමීමට සොබාදහම විසින් ලබාදුන් දඬුවමක් ලෙසිනි. එසේම මානවයාගේ කෙටි කාලීන පැවැත්ම සඳහා විකල්පයන් සෙවීමට කල අවවාදයක් ද විය හැකිය.
එහෙත් නූතන මානවයා එම පාඩම හා ඔවදන අනුව ක්‍රියා කරාවිද ?
මිනිසාගේ තාවකාලික සුඛ විහරණය සඳහා අනාගත පරපුරටද අයිති, ඔවුන්ද බුක්ති විඳිය යුතු සම්පත් සියල්ල වර්තමාන ජීවත්වන්නවුන් විසින් කා දමා ඉතිරිය නාස්තිකර දැමීමට දැගලූ ආකාරය පැහැදිළි නොවේද ?
බඩජාරිකම කොතෙක්ද යත් තමාගේ කුසට ප්‍රමාණවත් පමණට වඩා බෙදාගෙන, ඉතිරියෙන් ඉඳුල් කඳු ගොඩගසන්නාක් මෙන්ම ලෝකයේ සවභාවික සම්පත් පරිභෝජනය ද එලෙසම නොවන්නේද?
වසර මිලියන ගනනාවක්ම සොබාවික ලෝකය යම්තාක් දුරට නිරවුල්ව පැවතියත්, කාර්මීකරණයට යොමු වී ගෙවීගිය වසර දෙසීයක පමණ කාලයකදී සොබාදහමට කල විනාශය ඔවුන් හැඳින්වූයේ සංවර්ධනීය දියුණුවක් ලෙසිනි.
කපා හෙලන ලද වනාන්තර හා පෙරලන ලද පාංශු තට්ටු අනුව ආර්ථිකමය දියුණුව ලෙස සැලකින.
විද්‍යාත්මක නව සොයාගැනීම් ජීවිතය පහසුකලාක් මෙන්ම බොහෝවිට එම පහසුව යොදාගනු ලැබුයේ සොබාදහමට එරෙහිව ක්‍රියා කිරීමටය. එය වීරත්වයක් ලෙස සැලකින. නිරන්තර උත්සාහය වූයේ සොබාදහම ඉදිරියේ අධිපතියෙක් ලෙස හා ඇගෙන්ම උපයා සපයාගත් ධනය ඉදිරියේ වහලෙකු ලෙස හැසිරීමය.
මෙම තත්වය පිළිබඳව ලෝකයේ රටවල් හෝ රාජ්‍යයන් හෝ පාඩම් ඉගෙන ගනීවිද? වස්තු තණ්හාවෙන් ධනය හා වෙනත් සුඛෝපභෝගී භාණ්ඩ රැස්කර ගැනීමේ ඒකායන අරමුන කරගත් ඔවුන් එය වෙනස් කර ගනීවිද?

මෙම වසන්ගත තත්වය ආරම්භයට මාස කිහිපයකට පෙර ලෝකයේ පෙනැහැල්ල ලෙස සැලකූ ඇමේසන් වනාන්තරයේ අක්කර ලක්‍ෂ ගණනාවක් ගින්නෙන් විනාශ කර දැමූහ. එතනින් නතර නොවින. කොන්ගෝ වනාන්තරය හා ඕස්ට්‍රේලියා භූමිය පුරා ගින්න ඇවිලී ගියේය.
එයින් පැහැදිළිවන්නේ විශාල ජන ඝනත්වයක් සහිත ඝර්මකලාපීය ප්‍රදේශය වඩවඩාත් කාන්තාර වෙමින් මිනිස් වාසයට නුසුදුසු තත්වයට පත්වීම හා එම භූමියෙන් ලබාගත් ආහාර, පාරිසරික වටිනාකම් හා වෙනත් සම්පත් විනාශ වී යන බවයි.

එපමණක් නොව ද්‍රව ආශ්‍රිතව පවතින හිමකඳු දියවීම හේතුවෙන් සාගරය, ගොඩබිම ආක්‍රමණය සිදුවනු ඇත. එවිට ගොඩබිම පටුවිම හා කුඩා දූපත් ඇතු ̈ව යම් ප්‍රමාණයක් අහිමිවීම සිදුවේ. අවසනායේ මිනිස් වාසයට සුදුසු භූමිය අහෝසිවී යෑම වැලක්විය නොහැකිය.
ලෝක ප්‍රජාව එසේ ගමන් කරද්දී ඊට සමාන්තරව ශ්‍රී ලාංකික ප්‍රජාවටද එම ආක්‍රමණශීලී රැල්ලෙන් ගැලවිය නොහැකිවිය.
ඒ වනවිටත් ලාංකික ප්‍රජාව වැඩවසම් පාලනයකට යටත්ව සිටියත්, ඔවුන් සොබාදහමට ලැදිව ඊට අනුගතවෙන්මින්, විශේෂ වූ පාරිසරික පද්ධතීන්ට පුද පූජා පවත්වමින් එම වස්තූන් අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කරගැනීමට උත්සුක වූහ. එවැනි විශේෂ පාරිසරික පද්ධතියක් වූ කඳුකර වැසි වනාන්තරය ආක්‍රමණිකයින් විසින් විනාශකර වැවිලි ආර්ථිකය ආරම්භ කිරීමත් සමඟ ලාංකීය භූ පද්ධතියේ පෙනහැල්ල සිදුරු කෙරින.
වතු වගාවෙන් ආර්ථිකමය ප්‍රථිලාභ ලබාගත්තද, අහිමි වී ගිය, මිලකල නොහැකි පාරිසරික වටිනාකම් නැවත ලබාගත නොහැකිවාක් මෙන්ම, එමඟින් අනාගතයට ඉතිරිකර තැබූ උවදුරු හා ආගන්තුක වූ ගැටළු වලින් විවිධ පීඩාවන්ට ගොදුරු වී ඇත.
එපමණක් නොව මුළු දිවයිනටම බලපාන දේශගුණික හා කාලගුණික තත්වයන් අවුල් සහගතවී
ජාතික ආදායම්ද ක්‍ෂයවෙමින් ඇත.

සෑම ජීවියෙක්ම විශේෂයෙන් මිනිසා තම මව් කුසේ දස මසකට ආසන්න කාලයක් ගෙවා මෙලොවට බිහිවන්නේ සොබාදහම් මාතාවගේ තුරුලටය. එසේ බිහිවන මොහොතේ තමා වැදූ මවගේ දෙතන උරා බීමට පෙර ජීවය පවත්වා ගැනීමට පෙනහළු පුරවාගන්නා වායුව සපයා දෙන්නේ කවුරුන්ද ?
එපමණක්ද ?..නැත. උපතේ සිටම අවශ්‍ය ජලය, ආහාරපාන, ඇඳුම් පැලඳුම්, යාන වාහන ඇතුළුව සියළු දේ සඳහා අවශ්‍ය මූලික ද්‍රව්‍ය සපයාදී ඇත්තේ සොබාදහම විසින් බව අමතක කරති.
එහෙත් ඒවා අයිතිකර ගැනීමේ මිලේච්ඡ මංකොල්ලයෙහි අසීමාන්තික බව නිසා ඇය කෝප ගන්වා ඇත. එම ප්‍රතිඵලයෙහි බියකරු බව මිනිසුන් හඳුනා ගනීවිද ?
මෙම තත්වය යටතේ ලෝක ප්‍රජාව මෙන්ම ශ්‍රී ලාංකිකයින් වශයෙන් ජන සමූහයක් හැටියට අපගේ අනාගත අරමුණු හා ඒ කරා යනගමන් මඟ නිරවුල් කරගත යුතුව ඇත.
ලාංකිකයින් වශයෙන් මෙතෙක් ආ මඟ විශේෂයෙන් නිදහසින් පසු ගෙවීගිය දශක හතක කාලය ගතකර ඇත්තේ එක්තරා නිදැලි ක්‍රමයකටය. පැහැදිලි අරමුණක් නොවීය.

ලාංකිකයින් වශයෙන් අපගේ අරමුණ කුමක් වියයුතුද ? දේශපාලකයින් කියන්නාක්මෙන් දුප්පත්කම තුරන් කිරීමද? පොහොසත් රටක් කිරීමද? යහපාලනයද? සෞභාග්‍යයයේ දැක්මද? කලින් කලට මෙවැනි පොරොන්දු ප්‍රකාශ ඉදිරිපත් කලද වැඩක් නොවීය. අවුරුදු හැත්තෑවක් තිස්සේ කියාපාන්නා වූ දේවල් ඉටුකිරීමට කිසියම් වැඩ සැලැස්මක් ඉදිරිපත් කර තිබේද?
අලංකාර වචන යෙදූ පොරොන්දු පත්‍ර හැරුණ විට ගතයුතු දෙයක් තිබේද ?
කිසිවක් නැත.
අන්තිමට ඉතිරි වන්නේ සුළඟේ පාවෙන වචන හා කසලගොඩට එකතුවන කොල කෑලි පමණය.
පාලකයින් හා ඔවුන්ගේ ගැත්තන් කෝටිපතියන් වන අතර ජනතාව වල පල්ලටය. ලෝක රාජ්‍යයයන්ගේ අරමුණු මීට වෙනස් වූයේ අල්ප වශයෙනි. කුමන කඳවුරකට අයත්ව සිටියත් ඔවුන් සියල්ලෝම උත්සාහ කරමින් සිටින්නේ පොදු සම්පත් අයිතිකර ගැනීම හා විවිධ වූ ආර්ථික මූලයන් පමණක් නොව යුධමය මර්මස්ථාන අයිතිකර ගැනීමේ අරගලයකය. එහි අවසාන ප්‍රතිඵලය මානව හා පාරිසරික සංහාරයයි.
සමාජවාදය හා කොමියුනිස්ට් ක්‍රමය ගොඩනගන්නට උත්සාහගත් රටවල් පවා ලෝක ප්‍රජාවට ආදර්ශයක් නොවී ධනවාදී රටවල් පරයා ඔවුන් කරන දේම කරමින් වෙළෙඳපල හා යුධමය මර්මස්ථාන අත්පත් කර ගැනීම හැර මානව සංහතියේ අනාගතය සුරක්‍ෂිත කිරීමට අදහසක් අරමුණක් නොවීම සිය ̈ සත්වයින් මුහුණදෙන ඛේදවාචකයක් බවට පත් කර ඇත.

විද්‍යාත්මක සොයාගැනීම් හෝ තාක්‍ෂණය අතින් කොතෙක් ඉහලට ගියත් මානව චින්තනය වල්වැදී ඇතිබව ලෝකය පුරා සිදුවන සිදුවීම් කියාපායි.

ඒ වගේම වර්තමානයේ බොහෝ දෙනා වහරන “දියුණුව ̃ හා “සංවර්නය ̃ යන වචන පිළිබඳව නිරවුල්ව නිර්වචනය කර ගැනීමෙන් මෙතෙක් ආ ගමන් මගෙහි යා යුතු දිසාව – හැරිය යුතු මං සන්ධිය හඳුනාගැනීමට හැකිවෙනු ඇත. මෙතෙක් අත්දැක ඇති ඊනියා, සංවර්ධනය කරායන ගමන අන්කිසිවක් නොව මානවයා ඇතුළු අනිකුත් ජීවීන්ගේ මිනීවල හෑරීම මිස වෙනත් සුරලොවක් දැකිය නොහැකිය.
මේ වනවිටත් මිනිස් සිරුර පමණක් නොව මිනිසා ආශ්‍රයේ ගැවසෙන සතුන්ද, ගංඟා, ඇල, දොලද ඇතු ̈ මුළු මහත් පරිසරයම වස විෂෙන් නැහැවී ඇත. කොරෝනා කියන්නෙත් එම සංවර්ධන මාර්ගයෙන් උරුම වූ දයාදයන්ය. එයින් නතරවේද ?
නැත. වස විසෙන් නැහැවී ඇති භූ තලය මත සිදුවන රසායනික ක්‍රියා හා ප්‍රතික්‍රියා නිසා කොරෝනාවලටත් වඩා දරුණු වෛරසයින් ඇතිනොවේයැයි කිව හැක්කේ කාටද ?
බටහිර චින්තනය හා ඊට සමාන්තර ඇතැම් ඉගැන්වීම් වලින් ප්‍රකාශ වන්නේ විද්‍යාව හා නවීන
තාක්‍ෂණය උපයෝගී කරගෙන සොබාදහම හා විශ්වය ජයගත හැකිය යන ආකල්පයයි. මානවයා සොබාදහමට ඉහලින් තබා අධිපතියෙක් බවට පත්කර ඇත. එම ආකල්පයෙන් මිදෙනතාක් කල් සොබාදහම විසින් දඬුවම ලබාදෙනු ඇත. එමඟ අප අත්හල යුතුය.

එහෙත් ආසියාතික චින්තනය අපට ඉගැන්වූයේ සොබාදහම සමඟ සහජීවනයෙන් යුතුව මානවයාගේ පැවැත්ම තහවරු කර ගැනීමටය. එහි අරුත මෙබිම පුරා පැතිරී ඇති වාපී ශිෂ්ඨාචාරයේ නටබුන් මඟින් පහදා ගත හැකිය. ඒ අනුව අප සොබාදහමෙහි අධිපතියෙකු නොව සේවකයෙකු යටත් වැසියෙකු මෙන්ම සහායකයෙකු වීම මානව සංහතියට අවමානයක් නොවෙනු ඇත.
මානවයා පමණක් නොව අනිකුත් ජීවීන්ගේ මෙන්ම මුළු මහත් පාරිසරික පද්ධතියේම නීරෝගී පැවැත්ම තහවරු වන්නේ යහපත්වූත්, සමබරවූත් ස්වභාවික පරිසරයක් තුල බව මොහොතකට හෝ අමතක නොකල යුතුව ඇත.
අප එම අරමුණු කරා ලඟාවීමට නම් ඊළඟ පියවරේ දී ඊට අනුගතව ආර්ථික ප්‍රතිපත්ති සකස් කර ගනිමින් ඒ සඳහා වූ “ජාතික ආර්ථික සැලැස්මක් ̃ පිළිබඳව අවධානය යොමුකොට එමඟින් පාරිසරික තත්වය පමණක් නොව මෙතෙක් හා වැරදි ගමන් මාර්ගයේ දී අත්කරදුන් අපව වෙලාගෙන, අපව පෙලන්නාවූ සියළු අර්බුදයන්ගෙන් නිදහස් වන ක්‍රමයක් ස්තාපිත කර ගත යුතුය.
“ඛේදවාචකය එය නොවේ”
කොතෙක් හොඳ ආකල්ප, යෝජනා, සැලසුම් හා වැඩ සටහන් පැවතියත් ඒවා ක්‍රියාවට නගන්නේ කෙලෙසකද? කවුරුන්ද? කවුරුන් ලවාද? යන්නයි. මේ අන්දමට නොවුනත් රට ප්‍රපාතයට ඇද වැටුණු තත්වයන් පැවතින. ඒ හැම අවස්ථාවකදීම ප්‍රජාව අපේක්‍ෂා කලේ හොඳම විසඳුම ඒ ඒ කාලවල සිටින පාලකයින් අතින් එලිදකීවීය යන සිහිනයයි. නමුත් එවැන්නක් කිසිවිටෙකත් දැකිය නොහැකිවිය.
නැවත නැවතත් සිදුවූයේ බලය ලබාගත් පිරිස පරණ පුරුදු පාරේම ජනතාවට වෙට්ටු දමමින් තව තවත් රැවටීම් අත් කරමින් තම තමන්ගේ වුවමනාවන් ඉටුකර ගැනීමය.

එබැවින් මෙරටේ දැනුවත් පුරවැසියන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇත. සියළු භේදයන් හා පටු ආකල්ප පසෙකලා පුළුල් සංවාදයක යෙදෙමින් රටේ ජනතාවගේ ගමන් මඟ පිළිබඳව නිරවුල් අවබෝධයක් ඇතිකර ගැනීම වැදගත්ය. ඒ සඳහා වූ කාලය නිකරුනේ ගෙවීයමින් පවතින්නේය.
රටකට පැහැදිලි අරමුණක් තිබිය යුතුය. එම අරමුණ ලඟාකර ගැනීමට සැලසුමක් තිබිය යුතුය. එසේ නොමැතිව නිදැල්ලේ යෑමෙන් සෙතක් නොවනු ඇත. දශක හැත්තෑවක් තිස්සේ වමට-දකුණට හැරෙමින් යෑමට සැලස්වූයේ නය කාරයින්ගේ තුරුලටය.
තත්වය මෙසේ පවතිද්දී අප මුහුණපාන්නා වූ සමස්ථ අර්බුදයට ගැලපෙන විසඳුම් දේශපාලකයින් වෙතින් තවදුරටත් බලාපොරොත්තුවීමම අනුවනකමකි. ඒ බර පැටවී ඇත්තේ මෙරටේ දැනුවත් පුරවැසියන් මතය.
එබැවින් යටත් වැසි දේශපාලන වහල් මානසිකත්වයෙන් මිදී පුරවැසියන් ලෙස තම සවාමිත්වය හා ජනතා පරමාධිපති බලය හසුරුවාගත හැකි ක්‍රමවේදය පිළිබඳව අවබෝධයකින් යුතුව තම නියෝජිතයින් වෙතින් පොදු කාර්‍යයන් ඉටුකර ගැනීමට සූදානම් විය යුතුය.
ඒ වගේම සොබාදහම රැකගනිමින් ඊට අනුගතව සරල ජීවිතයක ඇති වටිනාකම කියාදුන්
කොරෝනා……පාඩම එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *