Editorial

කාලි වරම සහ කාලකන්නි වරම

Summary

‘පැණිය හැදුවේ මම…දීපිය තොගේ වාහනය, දීපිය තොගේ ක්‍රෙඩිට් කාඩ් එක (PIN එක සමග), දණ ගපිය, වැඳපිය මට!’

කාලි මෑණිගෙන් වරමක් අපට ලැබී නැත. දේවාශිර්වාදයෙන් කොරෝනා වයිරසය නසන බෙහෙත් වට්ටෝරුවක් ලැබී නැත. එවන් දෙයක් කාට හෝ ලැබී ඇත්නම්, ඒ හරහා කොවිඩ් හෝ වෙන ඕනෑම ආබාධයක් සුව කළ හැකිනම් ඒ ගැන අහිතක් අපට නැත.  

ධම්මික බණ්ඩාරට එවන් වරමක් ලැබී ඇතැයි ඔහු පවසන්නේය. ඔහු නිපදවා ඇති පැණියෙන් කොවිඩ් සුව වෙනවා යැයිද ඔහු සපථ කර සිටින්නේය. එය එසේමැයි කියමු. ඒ අනුව, එනම් කොවිඩ් සුවකරන ඔසුවක් නිපදවන්න දේව බැල්මක් තමාට ලැබීම, සිතු පැතු සියල්ල තමා සතු කර ගැනීමට අයිතිවාසිකමක් ද?

‘පැණිය හැදුවේ මම….දීපිය තොගේ ඉඩම!’

‘පැණිය හැදුවේ මම…දීපිය තොගේ දුව!’

‘පැණිය හැදුවේ මම…දීපිය තොගේ වාහනය, දීපිය තොගේ ක්‍රෙඩිට් කාඩ් එක (PIN එක සමග), දණ ගපිය, වැඳපිය මට!’

මේ ‘කාලි මෑණි වරම ලැබීම’ මෙවැනි දේ කීමට, ඉල්ලීමට, ලබාගැනීමට අවසරයක් ද?

ධම්මික බණ්ඩාර පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේට උස් හඬින් කියා සිටින්නේ මෙයයි.

ලෙඩ සුව කරන හෙළ වෙදදුරන් ගැන අප අසා ඇත. උණ සෙම්ප්‍රතිශ්‍යාව පමණක් නොව, පිලිකාවන්ද සුව කර ඇති වෙදදුරන් ගැන අසා ඇත. ඔවුන් පුරසාරම් දොඩවන්නේ නැත. ඇඩ් දමන්නේද නැත. ‘අඩෝව් දැනගනින්…මම අහවල් දේ කරපු පොරක්…මට අරක් දීපිය මේක දීපිය…’ යනාදී වදන් ඔවුන්ගේ මුවගින් පිට වූ බැව් අසා නැත.  

කාලි වරම. අපි ඒ ගැන නොදන්නෙමු. ඒ කෙසේ වෙතත් ශ්‍රී මහා බෝධිය අභියස හෝ වෙන කොතැනක හෝ ධම්මික බණ්ඩාරට අඩි හප්පන්න අයිතිවාසිකමක් තිබේ නම් එය කාලකන්නි වරමක් ම විය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *