COLUMN

කැන්ඩිවල ඉඳලා සූම් එකෙන්

Summary

ආගන්තුක වචන සිංහල භාෂාවට වැද්දගන්න විදිහක් තියෙනවා. යම් ආගන්තුක වචනයක් පිටස්තර ස්වරූපයෙන්ම තියෙනවා නම් ඒක සිංහල කරන්න “එක” හරි “වල” හරි එකතුකරන්න ඕන. ආගන්තුක ස්ථාන නාමයක් හඳුන්වද්දි තමයි “වල” එකතුකරන්නේ. ලන්ඩන්වල, නිව්යෝර්ක්වල, පෙයි-චිංවල, කැන්ඩිවල, නිගම්බුවල වගේ වචන පාවිච්චියට ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහට.

ආගන්තුක වචන සිංහල භාෂාවට වැද්දගන්න විදිහක් තියෙනවා. යම් ආගන්තුක වචනයක් පිටස්තර ස්වරූපයෙන්ම තියෙනවා නම් ඒක සිංහල කරන්න “එක” හරි “වල” හරි එකතුකරන්න ඕන. ආගන්තුක ස්ථාන නාමයක් හඳුන්වද්දි තමයි “වල” එකතුකරන්නේ. ලන්ඩන්වල, නිව්යෝර්ක්වල, පෙයි-චිංවල, කැන්ඩිවල, නිගම්බුවල වගේ වචන පාවිච්චියට ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහට.

කාර් එක, බස් එක, ෆෝන් එක, රේඩියෝ එක, සූම් එක, ඇප් එක, නයිෆ් එක, අන්ඩර්වෙයාර් එක, කිචන් එක වගේ වචනවලට “එක” එකතුකරලා තියෙන්නෙත් ඒ විදිහට.
වෙළෙඳසල්වලට දාන සමහර සිංහල නම්වලට වුනත් මේක වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. සරසවි එක, ගොඩගේ එක, රත්නමාලි එක, චන්දන එක වගේ යෙදුම් හැදිලා තියෙන්නේ ඒ විදිහට. මෙහෙම වෙන්නේ ඇයි කියන එක නම් හොඳින් හොයලා බලන්න ඕන.
සාමාන්‍යයෙන් සිංහල ස්ථාන නාම ඉවරවෙන්නේ සංවෘත “අ”, “එ” සහ “ඒ” ස්වරවලින්. කොළඹ, ගම්පහ, දඹදෙණිය, වග, පරපෙ, මඩිහෙ, සියඹලාපෙ, දෙණිකේ, මීමුරේ, හබරාදූව, හබරණ වගේ නම් දිහා බැලුවාම මේ කාරණය පැහැදිළිවෙනවා. මේ නම් එකකටවත් “වල” එකතුකරන්න ඕන නෑ. කලම්බු කීවොත් නම් කලම්බුවල, කලම්බුවලින් වගේ කියන්න වෙනවා. කලම්බු කියන්නේ පිටස්තර වචනයක් හින්දා තමයි එහෙම වෙන්නේ.
පිටස්තර ස්ථාන නම් සිංහල විදිහට කියන අවස්ථා තියෙනවා. දිල්ලිය, පැරීසිය වගේ යෙදුම් හැදිලා තියෙන්නේ ඒ විදිහට. රට ක්‍රමයටම ඒවා කියනවා නම් ඩිල්ලිවල, පැරිස්වල කියලා තමයි කියන්න වෙන්නේ.

අනිත් රටවල්වල නම් කියද්දි “ය” සහ “ව” අකුරුවලින් අවසන් කරලා සිංහල කරන්න පුළුවන්. ජපානය, චීනය, තායිලන්තය, බංග්ලාදේශය, ඉන්දියාව, කොරියාව, ඇමෙරිකාව, මියන්මාව, උගන්ඩාව, කියුබාව කියන නම් හැදෙන්නේ ඒ විදිහට. එහෙම සිංහල කළාම ඉන්දියාවේ, ජපානයේ, ඇමෙරිකාවේ වගේ වචන හදාගන්නත් අපිට පුළුවන්වෙන්නේ. එහෙම නැතුව, අමුවෙන්ම ගත්තොත් නම් කියන්න වෙන්නේ ඉන්ඩියාවල, ජැපෑන්වල, කැනඩාවල විදිහට.
ජොග්ගුව, කෝච්විය, බැංකුව, ලොරිය කියන විදිහට හදාගත්ත පිටස්තර වචන මහ ගොඩක් සිංහල භාෂාවේ තියෙනවා. ඉතින් ජග් එකේ, බෑන්ක් එකේ වගේ කතා කියන්නේ නැතුව ඒ වචනවලින් ජොග්ගුවේ, බැංකුවේ වගේ යෙදුම් හදාගන්න අපිට පුළුවන්.

ෆේස්බුක් කියන්නේ සන්නාමයක්. ඒක ඒ විදිහටම ගත්ත නම් අපිට නිතරම “එක” “එකෙන්” එකතුකරලා තමයි ඒ ගැන කියන්න වෙන්නේ. ඒ කියන්නේ ෆේස්බුක් එක, ෆේස්බුක් එකෙන් කියන විදිහට. ඒත් නිතර ම පාවිච්චිකරන වචනයක් මෙහෙම කියන එක මහ වාතයක්. ඉතින් අපේ අය ඒකට මූණුපොත කියලා කියනවා. එහෙම කියද්දි “එක” දාන්න ඕන නෑ. මේ දේ කරපු අයට පින්සිද්දවෙන්න මූණුපොත, මූණුපොතේ, මූණුපොතින් කියන විදිහට හරිම පහසුවෙන් ඒක වහරන්න දැන් අපිට පුළුවන්.

එතකොට සූම් එක? ඒකත් සන්නාමයක්. දැන් අපි උදේ හවස මේ නම පාවිච්චිකරනවා. ඉතින් ඒක ඒ විදිහටම ගත්තොත් අපිට හැම වෙලාවේම “එක” එකතුකරලා තමයි කතාකරන්න වෙන්නේ. ඉතින් ඒක අපේ කටට ගැලපෙන විදිහට වෙනස්කරන එක දඬුවම් ලැබිය යුතු වැරැද්දක් නෙවෙයි. ඒ වෙනුවෙන් මහන්සිවෙන කවුරුහරි ඉන්නවා නම් ඒ අයට ගර්හා කරන්න හොඳ නෑ. එහෙම මහන්සිවෙන අය දැනට හදලා තියෙන වචනය ගැලපෙන්නේ නැතිනම්, හොඳ නැතිනම් අපිට ඒ ගැන කියන්න පුළුවන්.

එක්තරා මහාචාර්වරයෙක් සූම් එකට “රූබණුව” කියලා නමක් හදලා. ඒ උත්සාහය අපි අගයකරන්න ඕන. ඒත් මේ නම ගැලපෙන්නේ නෑ කියන එක තමයි මගේ අදහස. මේ ගැන ලිපියක් මම ලිව්වා. (මේක බලන්න: https://m.facebook.com/story.php?story_fbid=554386082319018&id=100032428940455) ඉතින් අපි හැමෝටම පහසුවෙන් කියන්න පුළුවන්, ඇප් “එකේ” නමත් රැකෙන විදිහෙ නමක් හදන්න බලන්න ඕන.
ඉංග්‍රීසි සූම් කියන වචනයට “සූමය” කියලා හදපු යෙදුමක් අපේ ශබ්දකෝෂවල තියෙනවා. ඒක ඇරගෙන මේක කරනවා නම් වැඩේ වඩා ලේසි වෙයි. එහෙම වුනොත් සූමයෙන්, සූමයේ වගේ යෙදුම් හදාගන්න පුළුවන්. පොත් කියවලා ඔළු කුරුවලු කරගත්ත අපි වගේ පණ්ඩිතයන්ට මේවා හදන්න අමාරුයි. මේවාට නම් පටබඳින්න දක්‍ෂ තරුණ ළමයි. ඉතින් මේ වැඩේ පවරන්න ඕන එහෙම අයට. සුමිය, සුමියෙන් වගේ යෙදුම් වුනත් ඒ අය හදන්න ඉඩ තියෙනවා.

යටත්විජිත උරුමය ආරක්‍ෂාකරන රටක ඉන්න අපි මේ වගේ වැඩකරන්න ඕන නෑ කියලා තමයි අපේ සමහර උගත්තු කියන්නේ. “අපි අපේ ඉඩම් විකුණන්නෙත් ඉංග්‍රීසි නමක් දාලා. ඉතින් මොන මගුලකට ද ඉංග්‍රීසි සන්නාම සිංහල කරන්නේ? ‘නෝනා කිරි’ කියපු කාලෙට අපි යන්න හොඳ නෑ”. මෙහෙම තමයි ඒ අය කියන්නේ.

මේ ගැන කතාකරන්න සුමියෙන් රූමුළුවක් තියමු ද? එහෙමත් නැතිනම් සූම් එකෙන් වීඩියෝ කොන්ෆරන්ස් “එකක්” කරමු ද? මට නම් බෑ. ඔය ඔන්ලයින් රැස්වීම්වලට සම්බන්ධ වෙන හුඟක් එවුන් කැමරා “එක” (කැමරාව) ඕෆ් කරලා උන්ගේ වැඩ කරගන්නවා. ඉතින් මේ වගේ ඒවාට ගිහිල්ලා කාලේ නාස්ති කරගන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න එක මට වටිනවා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.