Opinion

කුලී විජ්ජාව

Summary

ඉතින් “scientific” කියන වචනය “විද්‍යාත්මක” කියලා පෙරැලීමත් එහෙම වැඩක්. ඒ වචනය පෙරැලෙන්න ඕන “ශාස්ත්‍රානුකූල” කියලා.

“මේ දක්වා ගතවෙලා තියෙන අවුරුදු දෙතුන් සීයක කාලය දිහා ආපහු හැරිලා බැලුවාම අපිට පෙන්නේ සුද්දෝ කරපු හපන්කම්. මහ ගොඩක් දේවල් හොයා ගන්න, නිර්මාණය කරන්න සුද්දන්ට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් සුද්දන්ට පින් සිද්ද වෙන්න අපිට සතුටින් සැනසිල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒත් සුද්දෝ කියන දේ අහන්නේ නැතුව විකාර වැඩ කරන හින්දා අපි දුක් විඳිනවා. සුදු මාර්ගයේ ගමන් කළාම තමයි සැබෑ නිවන සාක්‍ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ.”

මෙන්න මේ විදිහෙ කතා කියන්න පුළුවන් නම් අද මම ඉන්නේ මෙතැන නෙවෙයි. එහෙම නම් මට මේ වෙද්දි අපේ විජ්ජාඥයෝ අතර හරි හරියට වාඩි වෙන්නත් තිබුණා. ඒත් මගේ මෝඩකමට එහෙම හිතන්න මට අමාරුයි. ඉතින් කොහොම ද ඒ වගේ කතා කියන්නේ?

අප්‍රිකාව, ඇමෙරිකාව, ඉන්දියාව වගේ රටවල් හොයා ගන්නත් සුද්දන්ට පුළුවන් වුනා. ඒ විදිහට හොයා ගත්තේ ඔය කියපු බිම් විතරක් නෙවෙයි. ඒවායේ හිටිය මිනිස්සුත් හොයා ගත්තේ සුද්දෝ. ඇමෙරිකාවේ හිටියේ කිසිම වැදගම්මකට නැති මිනිස්සු කට්ටියක්. ඉතින් ඒ අයගෙන් මේ ලෝකයට වෙන්න පුළුවන් හානිය නැති කරන්නත් සුද්දෝ කටයුතු කළා. ඒ අය අයින් කරලා වැඩක් කරන්න පුළුවන් වහල්ලුත් උන්ගෙන් වැඩ ගන්න පුළුවන් සුදු මහත්තුරුත් ඇමෙරිකාවට ගෙනිච්චා.

සුද්දෝ ඉන්දියන් උප-මහාද්වීපයෙන් හොයා ගත්තේ කුලීකාරයෝ. උන් වහල්ලු නෙවෙයි. පොඩි ගතමනාවක් දුන්නාම සුද්දෝ වෙනුවෙන් කඹුරන්න උන් සූදානම් වෙලා හිටියා. ඉතින් ලෝකයේ තැන් තැන්වල යටත්විජිත හදද්දි ඒ බිම්වල පාරවල් කපන්න, කෝච්චි පාරවල් හදන්න, පතල් හාරන්න, වතු වගා කරන්න, කසල සෝධක වැඩ කරන්න විතරක් නෙවෙයි ලිපිකාර වැඩ කරන්නත් මේ කුලීකාරයෝ ඇරගෙන යන්න සුද්දන්ට පුළුවන් වුනා.

මේ කුලීකාරයෝ මහ අමුතු ජාතියක්. තුවක්කුවක් අතට දුන්නත් උන් වෙඩි ති‍බ්බේ තමන්ගේ එවුන්ටමයි. මේ තරම් අපූරු හොයා ගැනීමක් කරන්න පුළුවන් වෙයි කියලා සුද්දෝ හීනෙන්වත් හිතන්න නැතුව ඇති. උතුරු සහ දකුණු ඇමෙරිකාවලට වහල්ලු ගෙනිච්චාට අනිත් බිම්වලට ගෙනිච්චේ ඉන්දියානු කුලීකාරයෝ. ඉතින් අපේ රටට, මැලේසියාවට, දකුණු අප්‍රිකාවට, ෆීජිවලට මේ මිනිස්සු ගෙනියලා උන්ගෙන් වැඩ ගන්න සුද්දන්ට පුළුවන් වුනා.

මේ කීකරුකම හින්දා පළමුවැනි දෙවැනි ලෝක මහ යුද්ධවල දී සුද්දෝ වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කිරීමේ වරමත් ඉන්දියානු කුලී හමුදාවලට ලැබුණා. මේ කුලීකාරයන්ගෙන් සෑහෙන පිරිසකට හොඳින් ඉංග්‍රීසි කතාකරන්නත් පුළුවන්. සුද්දෝ විදිහට අඳින්න, කන්න බොන්න වුනත් මේ අය කැමැතියි. තමන් ළඟ තියෙන හොඳම ‍වචනවලින් සුද්දන්ට සළකන්නත් ඒ අය පෙළැඹුණා. ඉතින් ඒ අයටත් “සර්” පට්ටම් ලබාගන්නත් පින පෑදුණා.

සුද්දෝ තමන්ගේ දැනුමට “science” කියලා කියද්දි කුලීකාරයෝ ඒක හඳුන්වන්න පුළුවන් ගරු ගාම්භීර වචනයක් ඉස්සරහට ගත්තා. ඉතින් ඒ අය “science” කියන වචනය “විද්‍යාව” කියලා හඳුන්වන්න පටන් ගත්තා. “Scientia” කියන ලතින් වචනයේ තේරුම “දැනුම” කියන එකම තමයි. ඉතින් ඒක මුල් කරගෙන හැදිච්ච “science” කියන වචනයෙන් එක්තරා විධිමත් දැනුමක් ගැන කියනවා. ඉන්දියානු භාෂාවලින් “ශාස්ත්‍ර” කියන්නෙත් ඒ විදිහෙ විධිමත් දැනුමට තමයි. ඒත් සුද්දන්ගේ දැනුමට “ශාස්ත්‍ර” කියලා කිව්වාම නිකම් මොකක්ද මොකක්ද වගේ. ඉතින් ඒ හින්දා ඉන්දියානු කුලීකාරයෝ තමන් ළඟ තියෙන සුපිරි ම වචනයෙන් සුද්දන්ගේ ශාස්ත්‍ර හඳුන්වන්න තීරණය කළා. ඒ වචනය තමයි “විද්‍යාව”.

ඉතින් ඉන්දියානු කුලීකාරයෝ සුද්දන්ගේ ශාස්ත්‍රවල “විද්‍යාව” කියලා කියන්න පටන් ගත්තා. මුලින් ම කුලියට වැඩ කරන්න අකැමැති වුනත් මේ සිරි ලංකාවේ පිරිසකුත් ඒ වෙනුවෙන් පුරුදු පුහුණු කරවාගන්න සුද්දන්ට පුළුවන් වුනා. ඉතින් ඒ අයත් ඉන්දියානු කුලීකාරයෝ අනුගමනය කරලා සුද්දන්ගේ ශාස්ත්‍රවලට “විද්‍යාව” කියලා කියන්න ඉගෙන ගත්තා.

බෞද්ධයෝ “විද්‍යාව” කියලා කියන්නේ තමන් අවබෝධ කරගන්න අපේක්‍ෂා කරන පරමාර්ථ සත්‍යයට. ඒ කියන්නේ නිවනට. සුද්දන්ගේ ශාස්ත්‍රත් පරමාර්ථ සත්‍යය වගේ තමයි. ඉතින් ඒ ශාස්ත්‍රවලට “විද්‍යාව” කියලා කියන්නේ නැතිනම් ඒක සුද්දන්ට කරන අගෞරවයක්.
සුද්දන්ගේ වටිනාකම චීන්නුන්ට තේරිලා නෑ. ඉතින් උන් බුද්ධාගමේ කියැවෙන “විද්‍යාව” හඳුන්වන්නේ මිං (明, Ming) කියලා. ඒ මදිවට සුද්දන්ගේ “science” කියන වචනයෙන් කියැවෙන දැනුම් පද්ධතිය හඳුන්වන්නේ ක-ශුඒ (科学, Kexue) කියලා.

ඒ කියන්නේ,
ශාස්ත්‍ර (science) – Kexue
විද්‍යාව – Ming

Xue (学) කියන්නේ අධ්‍යයනය, ඉගෙනීම, දැනුම හඳුන්වන්න පාවිච්චි කරන පදයක්. ඉතින් මේ වචනය යොදාගෙන අලුත් ශාස්ත්‍ර හඳුවන්නත් චීන්නු කටයුතු කරලා. Shùxué – ගණිතය, Huàxué – රසායන ශාස්ත්‍රය, Wùlǐ xué – භෞතික ශාස්ත්‍රය, Zhéxué – දර්ශනය, Yīxué – වෛද්‍ය ශාස්ත්‍රය, Zhōng yīxué – චීන වෛද්‍ය ශාස්ත්‍රය, Lìxué – යාන්ත්‍රික ශිල්පය, Měixué – සෞන්දර්ය, Fóxué – බෞද්ධ අධ්‍යයනය, Fǎxué – නීතිය, Rén wénxué – මානව ශාස්ත්‍ර, Chuánbò xué – ජනමාධ්‍ය ශාස්ත්‍රය කියන විදිහට මේ වචන හැදිලා තියෙනවා.

මේ එකක්ටවත් මිං (විද්‍යාව) කියලා කියන්නේ නෑ. “විද්‍යාව” (මිං) කියන්නේ පරම සත්‍යය. මේ ශාස්ත්‍ර එකක්වත් පරම සත්‍යය නෙවෙයි. අද හරි කියලා පිළිගන්න දැනුමක් හෙට වරදින්න පුළුවන්.

ඉතින් “scientific” කියන වචනය “විද්‍යාත්මක” කියලා පෙරැලීමත් එහෙම වැඩක්. ඒ වචනය පෙරැලෙන්න ඕන “ශාස්ත්‍රානුකූල” කියලා. යම් විෂයයකට අදාළ මොකක් හරි අදහසක්, නිගමනයක්, හඳුනාගැනීමක් ශාස්ත්‍රානුකූල (scientific) ද කියලා අපිට අහන්න පුළුවන්. ඒත් අපි එහෙම අහන්නේ නෑ. එහෙම කළොත් සුද්දන්ගේ ශාස්ත්‍රවලට අගෞරවයක් වෙන්න පුළුවන්. ඉතින් අපි බුද්ධාගමත් scientific කියලා කියනවා. කොච්චර නම් ඉහළ වටිනාකමක් ද?

අපි සුද්දෝ නෙවෙයි. අපි සුද්දන්ගේ කුලීකාරයෝ. ඉතින් සුද්දන්ට ගරු කරලා කතා කරන එක, ගැලපෙන වචන පාවිච්චි කරන එක අපේ යුතුකමක්. ඉන්දියාවේ මිනිස්සු කරන්නෙත් එහෙම නම් අපි විතරක් මොකට ද වෙන වැඩ කරන්න යන්නේ? මේ ලිපියෙන් කියැවෙන අදහස scientific නෑ නේ ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *