Opinion

කුසල් මදි කුසල්

Summary

ඒ කාලේත් ක්‍රිකට්ර්ස්ලා ස්කෝර් කළාම ඒ ලකුණු වෙන උන් දා ගත්තා.

කාලයකට පසු මිතුරෙක් නිවසට ගොඩ වැදුනේ ආරාධනා පත්‍රයක් ද සමගිණි. එය මොරටුවේ අප ජීවත්වන ඉසව්වෙ නම් දැරෑ පන්සලක ගමේ වැඩක්යැයි මිත්‍රයා කීවේය. බෝධි පූජාවට සහ බෝජන සංග්‍රහයට සමාරාධනා යනුවෙන් එහි සඳහන් විය.
“මේ මොනකක්ද?”
බෝධිපූජා මිසක් ඊට සමගාමී සංග්‍රහ ගැන අසා නැති බැවින් මම වික්ෂිප්ත වීමි.
“එහෙම තමයි සියලු දේ කාලයත් සමග වෙනස් වෙනවනෙ. දැනට ලැබුණු චූටි ජය සමරන ගමන් අපි වැඩිපුර කුසල් ටිකක් රැස් කරගන්නත් ට්‍රයි එකක් දෙනවා” මිතුරා විශ්වාසයෙන් යුතුව කීවේය.
“දැන් මොකක්ද ඔහේලා ලබපු පුංචි ජයග්‍රහණය?” කිසිත් නොතේරැණු මම ඇසීමි.
“රටම දන්නවා කුසල් අන්තිම ඉනිමෙදි ලකුණු 15ක් ගත්තා කියලා. ඔයා දන්නෙ නෑ?” මිතුරා චෝදනා කළේය.
“අම්මපා ඒක නම් පාර්ටියක් දාන්න වැඩක් තමයි. එතකොට බෝධි පූජාව අහවල් එකකටද?”
“කුසල්ට කුසල් රැස් කරලා දෙන්න” මිතුරා නොපැකිල කීවේය.
“ලංකාවෙ බෝධි පූජා තියෙන තරමට පිං රැස් වෙනවනම්, මේක දැන් පිං කෙතක් වෙලා,  ඒ පිං කෙතේ වී වවලා, ලොකෙටම බත් කන්න දෙන්න තිබුණ ඕයි” මම මිතුරාට දොස් කීවෙමි.
“එහෙම හැම දේ දිහාම සැකෙන් බලන්න එපා. දන්නවද ඒ නමේම තියෙන බලගතු කම? දෙමව්පියෝ ළමයින්ට නම් දාන්නෙ ඒ නම කියෙවෙන කියෙවෙන වාරයක් ගානේ ඒ නමේ ශක්තිය ළමය⁣ට ලැබෙන්න” මිත්‍රයා බෝධි පූජාවෙ සීමාවෙන් එපිටට ද සිය විශ්වාසය ව්‍යාප්ත කළේය.
“ඒක නම් වෙන්න බෑ. දැන් මුලු රටම කුසල් කුසල් කියන ප්‍රමාණෙ හැටියට එහෙනම් මිනිහගෙ කුසල් ඕවර් ෆ්ලෝ වෙලා, ඒ කුසල් ග්රවුන්ඩ් එකෙනුත් එළියට ගිහිල්ලා පාරෙ යන උන්ටත් සෙන්චරි ගහන්න පුලුවන් වෙන්න ඕන” මම කීවෙමි.
“අපි කියලා ඉතිං එයා වෙනුවෙන් වෙන මොනවා කරන්නද? හැබැයි නම කුසල් වුණාට වාසගම මෙන්ඩිස් නිසා අපි දෙන මේ පිං අපතේ යනවද දන්නෑ?” මිත්‍රයා එවර විසුලු ආගමික න්‍යායක් ගෙනාවේය.
“අම්මට සිරි! දැන් ඒකට මොකද කරන්නෙ?” සර්ව ආගමික පිරිත් සජ්ජායනාවක් පවත්වමු යැයි ඔහු යෝජනා කරතැයි මම සිතීමි.
“එහෙම නම් පල්ලියට ගිහිල්ලා පව් සමා කරගන්න වෙයි නේද?” මිතුරා අවිශ්වාසයෙන් ඇසීය.
” බලපු අපිද නැත්තන් ගහපු ඌ ද?” මම ඇසීමි.
“ඒකත් බරපගල ප්‍රශ්නයක් තමයි. මිනිහව නම් කොහේවත් වැදගත් තැනකට යවන්න බයයි. ‘ඔයාට ක්‍රිකට් තේරෙන්නෙ නෑ’ වගේ ටෝක් එකක් දෙවියන්ට දුන්නොත් එහෙම? දෙය්යො අනිත් උන් ටිකත් බිංදුවට යවාවි” මිතුරා දුකින් කීය.
“බිංදුවට අවුට් වෙන එක ඕන මැට්ටෙකුට තේරෙනවනෙ බං. ඔන්න දෙකයි දශම පහට විතර අවුට් වුනා නම් අපිට තේරෙන්නෙ නෑ”
“ඇත්තටම දෙක තුන හකර පහ වගේ ඕන තරම් ඉලක්කම් තියෙද්දි ඇයි මේකා බිංදුවටම අවුට් වෙන්නෙ?” මික්‍රයා දැන් මගෙන් ප්‍රශ්න විමසීමට ගත්තේය.
“දෙය්යො තමයි දන්නෙ” මම ඔහුගේම න්‍යාය කුලියට ගතිමි.
“මෙච්චර ෆේල් වෙලත් සිලෙක්ටරිස්ලා එයාව ටීම් එකට ගන්න එක පිටිපස්සෙ අපිට නොතේරෙන රහසක් ඇති නේද?” ඔහු තවත් පැණයක් යොමු කළේය.
“අනිවාර්යෙන්ම. මිනිස්සු නම් කියන්නෙ මැච් එක ගහන බෝලේ කුසල්ගෙ කියලා. ඒකනෙ කුසල් අයින් කරනවා කියපු ගමන් සිලෙක්ටරැත් අයින් වෙන්නෙ. බෝලෙ නැතුව මැච් එක ගහන්න බෑ කියලා මිනිහ දන්නවනෙ” මම කීවෙමි.
“ක්‍රිකට් පුහුණුවට අමතරව මෙයා සරත්ගෙ හමුදා පුහුණුවටවත් යැව්වොත් මොකද?” මිතුරා ප්‍රායෝගික අදහසක් ගෙනාවේය.
“එතකොට නම් හොඳයි. මිනිහා බෝලෙයි තුවක්කුවයි දෙකම ගෙදරින් අරන් ඒවිනෙ. අනික දැන් කොන්ත්‍රාත් එකෙනුත් අයින් කරපු හින්දා වෙන ජීවනෝපායකුත් ඉගෙන ගන්න එක හොදයි . ක්‍රිකට් නවත්තපු දවසක රොබරියක් දීලා හරි ජීවත් වෙන්න බැරිය” මම එකඟ වීමි.
“පන්සලේ හාමුදුරැවෝ කුසල්ට සුබ පතන්න මැච් එක අතර කෝල් එකක් ගත්තලු. එතකොට අර කාඩ් ගහ ගහ හිටපු එකෙක් කිව්වලු “පොඩ්ඩක් ලයින් එකේ ඉන්න හාමුදුරුවනේ කුසල් බැට් කරන්න ගියා දැන් එයි” කියලා” මිතුරා සුසුම් හෙළීය.
“ඒ කාලේ කොහොම තිබ්බ ටීම් එකක්ද?”
මිතුරා දුක් වුණේ කුසල් ගැන වෙන්නට බැරි යැයි ම⁣ට සිතුණි.
“ඒ කාලේත් ක්‍රිකට්ර්ස්ලා ස්කෝර් කළාම ඒ ලකුණු වෙන උන් දා ගත්තා. ෆයිනල් ආවම කප් එක දෙන්න ගියාට, ගහට සාත්තු නොකර හැමදාම ගෙඩි කන්න බෑනේ. වෙන්න යන දේ දැකලා සිස්ටම් හදන්න මහේල වගේ එකෙක් අදහස් ගෙනාවම ඌ නවත්න්නෙ ජාති ද්‍රෝහියෙක් වෙලා. ඒ නිසා මම නම් කියන්නෙ ක්‍රිකට් ටීම් එකත් පොඩි ගාණකට චීනෙට දුන්න නම් උන් හදලා ගනියි”
බෝධි පූජාවට ප්‍රමාද වන බැව් පවසමින් මිතුරා ෆයින් ලෙග් කලාපයෙන් ඇවිද ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *