Opinion

කොච්චර කිව්වත් අපි ජාතිවාදියි

Summary

ඒ කොච්චර වුණත් මට අර විදිහෙ සිතිවිල්ලකුත් ඇතිවුණා. මේ මුස්ලිම් දරැවෝ කියලා. ඒ ජනගහණෙ පාලනය වෙන එක හොදයි කියලා. ඒකයි මං කියන්නෙ කොච්චර වුණත් අපි ජාතිවාදියො කියලා.

  • Save

කොච්චර කිව්වත් අපි ජාතිවාදියි. සමාජවාදියෝ ධනපතියො මැරෙන කොට කම්පා වෙන්නේ නෑ. ඒ වගේම ජාතිවාදියා දුක් වෙන්නේ තමන්ගෙ ජාතියෙ උන් මැරෙන කොට විතරයි.

නෑ මේකමට මං ගැන ම ඇතිවුණ ප්‍රශ්නයක්. ගලේවෙල පුංචි ළමයි තුන් දෙනෙක් නැතිවුණා. සෙල්ලම් කරන්න ඇලට ගිහින්. අපි පොඩි කාලෙත් ඇලේ ඔයේ නාන්න යන්නෙ කොච්චර ආසාවෙන් ද? අනිත් එක එකම පවුලෙ සහෝදරසහෝදරියො. වෙන්න ඇත්තේ මල්ලි හරි නංගි හරි ගිලෙන්න යන කොට අනිත් අය බේරගන්න ගිය එක. එහෙම නැතිනම් ගිලනුම හොයන්න ගිය එක. ඒක සහෝදර කැක්කුම. ඒකෙන් තුන්දෙනාම මැරැණා. ඇලේ දොලේ මිහිරියාව හොයාගෙන ගිය ගමනක්. සිනාවෙන් සතුටෙන් ඉතිරි ඉතිරි ලෝකෙටම ඇහෙන්න කෑ ගහ ගහ හිනාවෙවී ඇල දිගේ ගිය ගමනක්. කෙළවර වුණේ එහෙමයි. දරුවන්ට වෙච්ච දේ. මව්පියන් කොහොමද ඒ දුක දරාගන්නේ. දරැවො තුන්දෙනාම. අහිංසකකම මූණෙන් උතුරන දරැ පැටව්.

ඒත් ප්‍රවෘත්තිවලට මුස්ලිම් ඇදුමින් හිටපු ඒ ළමයිගේ කළින් අරන් තිබුණු පොටෝ වගයක් පෙන්නන කොට ම මගේ හිතට හිතිවිල්ලක් ආවා. නිකං දුක නැතිවුණා වගේ හැගීමක් ආවා. මුස්ලිම් මිනිස්සු දරැවෝ වැඩියෙන් හදනවා. ඔය විදිහට හරි පාලනය වෙන එක හොදයි කියන සිතිවිල්ල එක පාරටම හිතට ආවා. ඒත් ඒ හිතිවිල්ල මං අමතක කෙරැවා. මට කල්පනා වුණා අපිත් පොඩි කාලෙ ඇලේ ඔයේ සෙල්ලම් කරන්න ගියෙ ඔය විදිහටම නේද කියලා. අපේ පොඩි කාලෙයි මේ ළමයි අතරයි වෙනසක් නෑ කියලා මට කල්පනා වුණා. අපේ දරැවොයි මේ දරැවොයි අතර වෙනසක් නෑ කියලා මට කල්පනා වුණා. පොඩි එවුන් පොඩි කාලේ සතුට විනෝදය පරිසරය ඇලදොල ගහ කොළ හොයාගෙන යනවා.

ඒ කොච්චර වුණත් මට අර විදිහෙ සිතිවිල්ලකුත් ඇතිවුණා. මේ මුස්ලිම් දරැවෝ කියලා. ඒ ජනගහණෙ පාලනය වෙන එක හොදයි කියලා. ඒකයි මං කියන්නෙ කොච්චර වුණත් අපි ජාතිවාදියො කියලා.

අපි කියන්නෙ අපි ජාතිවාදී නෑ. අපි කරන්නේ අපේ රටේ අනන්‍යතාව රුකගැන්න එක විතරයි කියලා. යුද්ධෙදි අපි කිව්වා අපි දෙමළ ජනතාවට විරැද්ධ නෑ. ඒත් රට බෙදන්න දෙන්න බෑ කියලා. අපට දෙමළ හෝ මුස්ලිම් ජනතාව එක්ක ප්‍රශ්නයක් නෑ අපට ඕනැ ඒකීය රට විතරයි කියලා. ඒ කොහොම කිව්වත් ඒ විදිහට ශාස්ත්‍රීයව ප්‍රශ්නේ විග්‍රහ කළත් මේ සංවාදෙ මතවාදෙ ඇතුළෙ ජාතිවාදෙත් අපේ ඇග ඇතුළට රිංගලා. එහෙම නැතිනම් ඒ දරැවන්ගෙ අවාසනාවන්ත මරණයේ දී එහෙම සිතිවිල්ලක් ඇති වෙන්න කොහොමද?

අපි ආඩම්බරෙන් කතා කරන ජාතිකත්වය එතරම් ම අහිංසක නෑ. නැතිනම් අපිට ඒක පරිහරණය කරන්න තේරෙන්නේ නෑ. කොහොම නමුත් මේක සිංහල බෞද්ධයා පිළිබද ප්‍රශ්නයක් හැටියට දකින්න මං කැමති නෑ.

ඒක ඊට වඩා මතවාද පිළිබද ප්‍රශ්නයක්. මතවාද මගින් මිනිස් මනසේ ඇති කරන විපරීතභාවය පිළිබද ප්‍රශ්නයක්. සමාජවාදය කියන සිතිවිල්ල ඇතුළෙ අපිට තවත් මිනිසෙකුට ධනවාදියා කියන ලේබල් එක ගහලා ඔහුව කම්පාවකින් තොරව මරන්න හයිය ලබා දෙනවා. ධනපතියෙකු මැරුණා ම දුක් නොවී ඉන්න සමාජවාදය කියලා දුන්න. අනාගතයේ බිහිවෙනවා කියන සමාජවාදයක් වෙනුවෙන් තමන් දන්න හදුනන තවත් මිනිස්සු වුණත් මරන්න පුලුවන් දරුණු කමක් සමාජවාදෙ අපිට දුන්නා.

සමාජවාදියො විතරක් නෙමෙයි ලංකාවේ හිටපු සාමවාදියො ගැන කතාවත් ඒකයි. සාමවාදියෝ ඉතා අහිංසකයි. ඒ අයට තිබුණෙ උත්තරීතර හදවත්. ඒත් ලංකාවේ හමුදාවේ සෙබලු මැරෙන කොට ඒ අය සතුටු වුණා. එල්ටීටීඊ වීරයන් මැරෙන කොට දුක්වුණා. ඔවුන් දුක්වීම තීරණය වුනේ සටන් බිමේ මැරී සිටින අයගේ ඇදුම යුනිපෝම් එක අනුව. එල්ටීටීඊ යුනිපෝම් එක දකින කොට ඔවුන්ගෙ දුක ඇවිලුනා. හමුදාවේ යුනිපෝම් එක දකින කොට සාමවාදීන්ගෙ සතුට ඇවිලුනා.

අර ළමයින්ගෙ ඇදුම එක්ක මටත් වුණේ ඒ වගේ දෙයක්. අර සාමාවාදීන් කුරිරැ සාමවාදීන්. ඒ වගේ ම මගෙ ඇග ඇතුළෙත් කුරිරැ ජාතිවාදියෙක් ඉන්නවා.

හැත්තෑ එකේදී ධනපති ලේබලය ගහලා තමන් දන්න හදුනන අය මිනිස්සු මරාදැමීමේ හයිය තරැණයන්ට ලබාදුන්නා. අසූඅටේදීත් ඒක වුණා.

මෛත්‍රීය අනුකම්පාව එක්ක අපේ අද ගනුදෙනුවක් නෑ. අපි ගනුදෙනු කරන්නෙ මතවාද එක්ක. අපිට මෛත්‍රීයක් අනුකම්පාවක් උපදින්නෙ අපේ  මතවාදය දරන එකෙකුට විපත්තියක් වුණාම විතරයි. ඒක තමයි ඇත්තටම අපට තියෙන එකම මතවාදය. ඔය මතවාදවල වෙන කිසිම ශාස්ත්‍රීය භාවයක් නෑ. මනුස්සකම නැති කරන මතවාද. මේ වගේ මතවාද සංස්කෘතියක තමයි ජාතිකත්ව මතවාදය එහෙම නැතිනම් ජාතිවාදය වැඩිලා තියෙන්නෙත්. නැත්නම් කොහොමද අර පුංචි අහිංසකයන් ගැන මගෙ හිතේ එහෙම හිතිවිල්ලක් ඇති වෙන්නෙ.

මතවාද මිනිස්සුන්ව කුරිරැ කරනවා. මතවාදය කියන්නෙ ඇත්තටම තමන් වෙනුවෙන් පවතින එකක්. ආගම කියන්නෙ ලෝක සත්වයා වෙනුවෙන් පවතින එකක්. සිංහල බෞද්ධයා කාගෙ වුණත් දුකේ දී කම්පා වුණා. ඒත් ජාතිකත්වවාදියා එහෙම නෑ.

එහෙම ගත්තාම ජාතිකත්ව මතවාදයත් අපේ අනන්‍යතාවට තර්ජනයක්. අපේ සිංහල බෞද්ධකමට තර්ජනයක්. අපේ ජාතිකත්වය විනාශ වෙන්නෙ මුස්ලිම් අන්තවාදය සාමවාදය සමාජවාදය පශ්චාත් නූතනවාදය ලිබරල්වාදය නිසා විතරක් නෙමෙයි ජාතිකත්ව මතවාදය නිසත් අපේ ජාතිකත්වය විනාශ වෙමින් යනවා. එහෙම නැතිනම් මගෙ හිතට අර පැටව් ගැන මොහොතකට හරි එහෙම සිතිවිල්ලක් ආවෙ කොහොමද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap