Opinion

කොණ්ඩෙ බැඳපු චීන්නු හා කොණ්ඩෙ කපපු චීන්නු

Summary

සර් කෙනෙක් ජනාධිපති වෙයි කියන එකත් අපි කවදාවත් හිතුවේ නැති දෙයක්.

හිතාගන්න බැරි වෙන්න ලියන්න අපට බෑ ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න වගේ අපි පළවෙනි වචනෙ ලියනකොටම අපි ලියන්න යන්නෙ මොකක්ද කියලා හිතාගන්න පුලුවන්.

මරණ බයට වඩා කෝවිඩ් බය අපට දැනෙනවා. ඒ්කට හේතුව මරණ බය සංකල්පයක් පමණක් විමත් කෝවිඩ් බය ඇත්තක් වීම.

කෝවිඩ් බය වගේ වචනයක් අසූඅට අසූනමයෙ තිබුණා. ඒකට කිව්වේ භීෂණය.

විජේවීර කියන වචනයට වඩා ටී 56 කියන වචනෙ ජනප්‍රිය වෙලා තිබුණ කාලයකුත් තිබුණා.

ඊට පස්සෙ අනූනමය දෙදාහ පහු වෙනකොට ‘මගතොට කොයිවෙලාවෙද කියන්න බැරි’ යුගයක් ආවා. ඒක කෝවිඩ් බය නෙමෙයි බෝම්බ බය. සූට්කේස්, බෑග්, බස්, කාර්, ලොරි, මිනිස් බෝම්බ.

මනුස්සයන්ගෙන් වෙන්න පුළුවන් හානි ගැන අපි හොදට දැනගත්තා. ඒත් අමනුස්සයන්ගෙන් වෙන්න පුළුවන් හානි ගැන අපට කොහෙත්ම කල්පනා වුණේ නෑ. දැන් ඒ යුගය ඇවිත් තියෙනවා. කෝවිඩ් 19 වෛරසය කියන්නේ මනුස්සයෙක් නෙමෙයි.

දැන් සිනමා නිළියන්ට, ටෙලි නාට්‍ය නිළියන්ට, දේශපාලනඥවරියන්ට වඩා ජනප්‍රිය අයත් ඉන්නවා. එහෙම යුගයක් ගැනත් අපිට හිතිලා තිබුණේ නෑ.

සර් කෙනෙක් ජනාධිපති වෙයි කියන එකත් අපි කවදාවත් හිතුවේ නැති දෙයක්.

සීයේට ගණන් අතරින් වැදගත් ම ගාන සියේට තුන වෙයි කියන එකත් ලක්ෂ ගණන් අතරින් වැදගත් ම ගාන හැට නම ලක්ෂය වෙයි කියන එකත් අපි කවදාවත් හිතුවෙ නැති දේවල්.

සරත් නම් කොතන හරි ඇන ගනියි කියලා හිතිලා තිබුණා. ඒත් මෙහෙම වෙයි කියලා හිතුණෙ නෑ.

ලංකාවට නැවක් ඒම, බැසිල් මහතා ඇමරිකාවට යාම, ගෝල්පේස් එකෙන් චීනය මතුවීම, මෝදි රජීව් ගාන්ධි කෙනෙක් වීම, විජය කුමාරයා ආ රට වෙනුවෙන් විජයදාස හඩා වැටීම, කොණ්ඩෙ බැදපු චීන්නුන්ට හිනාවුණ අපි කොණ්ඩෙ කපපු චීන්නු හමුවේ අනාථ වීම අපි කවදාවත් නොසිතපු දේවල්.

මූණ හංගාගැනීම නම් අපට කොහොමත් පුරුදු දෙයක්. ඒත් රෙදි කෑල්ලක් අස්සෙ මූණ හංගගන්න වෙයි කියන එක අපි නොහිතපු දෙයක්.

ප්‍රවෘත්තිවලට කියන දේවල් බලන්නෙ නැතිව අනුමාන කරන්න පුළුවන් යුගයක් එයි කියන එකත් කවදාවත් අපි නොහිතපු දෙයක්. කියන්න කලින් අපි දැන් ප්‍රවෘත්ති දන්නවා.

රට හදන එක ගොවියාගෙන් ම පටන් ගනියි කියන එක ගොවියාවත් හිතපු නැති දෙයක්. ගොනාට තණකොළ වගේම ගොයම් ගහට පෝරත් ඔ්නෑ.

ගොඩ තියෙන ප්‍රශ්න මදිවට මුහුදිනුත් ප්‍රශ්න එයි කියලා ගෝටා මහත්තයා කවදාවත් හිතුවේ නෑ.

ධනපති නිර්ධන කියලා ගානක් නැති වෛරසයක් කඩාපාත්වීමත් සමාජවාදීන් බලාපොරොත්තු නොවුණ දෙයක්.

ජනප්‍රිය කියන වචනෙට වඩා ජනයි ප්‍රියයි ජනප්‍රිය වෙයි කියලා කවදාවත් ජනප්‍රිය කියන වචනෙ හිතන්නත් නැතිව ඇති.

පට්ට කියන වචනෙට වඩා රැට්ට පට්ට වුණ එකත් ඒ වගේ දෙයක්. තාමත් ඒක එහෙම ද කියන එකත් පට්ට ප්‍රශ්නයක්.

යූටියුබ් එකෙන් වස්තියක් කරගන්න පුළුවන් වෙයි කියන එකත් කවදාවත් කවුරුවත් නොහිතපු දෙයක්.

කරුණාසේන ජයලත් මහත්තයගේ හෝ වෙනත් ලේඛකයන්ගේ පොත්වලට අතවත් නොතියා පේස්බුක් පොත පමණක් කියවීමෙන් අපට මනස දියුණු කරගෙන සතුටින් සැනසිල්ලෙන් ඉන්න පුලුවන් කියන එකත් අපි නොහිතපු දෙයක්. ගෝටාබය මහත්තයත් ජයලත්ගෙ තබා ඉංග්‍රීසි නවකතාවක් හැරෙන්න ළගදී කිසිම සිංහලනවකතාවක් කියවලා නැතිව ඇති. එතුමාගේ අනුගාමිකයනුත් එහෙම තමා. සාහිත්‍ය කන්නද කිව්වා කියලා ජේආර්ට බනින අය ජේආර්ටත් අන්තයි. ගෝටාබය මහත්තයාට ලෝකෙ ලොකුම සාහිත්‍යකාරයා කිංස්ලිවීම පුදුමයක් නෙවෙයි.

හිරේ වැටුණ ගමන් ජනතාවට රංජන්ව අමතක වෙයි කියන එක රංජන්වත් කවදාවත් නොහිතපු දෙයක්. සමන්ලාලුත් කවදාවත් තමන්ට රංජන් මතක් වෙයි කියලා හිතන්නත් නැතිව ඇති.

ආයේ ජීවිතේ කවදාවත් ලේලන්ඩ් බස් එකක යන්ඩ වෙයි කියලා මාලිවත් චන්දිමාල්වත් හිතලා තියෙන්න නැතිව ඇති. ඒත් ලේලන්ඩ් එකේ තියෙන ආතල් එක වෙන කිසි ම වාහනේක නෑ. එතනදි ඉන්දියාව චීනෙට ඉහළින් ඉන්නවා. එහෙම නැතිනම් ලේලන්ඩ් එක අපට ඉන්දියාවේ වාහනයක් කියලා හිතෙන්නෙ නෑ. අපි ඒ තරමට ඒ එක්ක බැදිලා. මේ විදිහට මේ කතාව ලේලන්ඩ් බස් එකකින් අවසන් වෙයි කියලා මංවත් හිතුවෙ නෑ. ඒත් කතාවක් රසවත් තැනකින් නවත්තන්න ඕනෑ.

Leave a Reply

Your email address will not be published.