Opinion

කොතලාවල පනත පරාජය කළ යුතුය…

Summary

කවර අඩුපාඩු මධ්‍යයේ වුව ලංකාවේ මහජනතාවගේ ගෙල පැළඳි මුතුහර දෙපටක් වන් නිදහස් අධ්‍යාපනයයේත් සෞඛ්‍යයයේත් “සමබිමත් ප්‍රමිතියත්” රැක ගත යුතුය.

අපේ රට දුප්පත් රටක් බව ඇත්තය. කවදා දියුණු වේදැයි කියන්නටත් බැරිය. හැබැයි මේ දුප්පත් රටේ ලෝකයේ දියුණුම රටවලටවත් හිතාගන්න⁣ට බැරි තරම් අපූරු පද්ධතීන් දෙකක් තිබෙයි. ඒ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත්ය. ඒකේ තේරුම නිදහස් අධ්‍යාපනයේත් සෞඛ්‍යයේත් අඩුපාඩු නැති බව නම් නොවෙයි. එහෙත් සංකල්පීය ලෙස නිදහස් සෞඛ්‍යයත් අධ්‍යාපනයත් පුදුමාකාර ය. ⁣ඒ පද්ධතීන් දෙකම පෝෂණය කර රැකගත යුතු බව වාදයක් නැත…එකඟය…

නිදහස් අධ්‍යාපනයේත් සෞඛ්‍යයේත් ඇති සුවිශේෂීම ලක්ෂණයක් නම් ලංකාවේ ඈත කොනක දුප්පත් ගමක ඉන්නා ඉගෙන ගන්න දක්ෂ දරුවෙකුටත් නගරයේ සැපපහසුවට ඉන්නා දරුවෙකුටත් එක හා සමාන අවස්ථාවක් ඉතිරි කරන එකය. කවර අඩුපාඩු මධ්‍යයේ වුව අදටත් ලෝකය පුරා තම තම විෂය ක්ෂේත්‍රයන්හි ජය දද නංවන බුද්ධිමතුන් බිහි කලේ ඒ නිදහස් අධ්‍යාපනයය. එහි ඇති සම අවස්ථාවය. ධනය, බලය, පප්පාගේ පට්ටම මත නොව ඉගෙනීමට ඇති දක්ෂකම මත විශ්වවිද්‍යාලයට තේරෙන්නට ඇති අවස්ථාවය. මේ මහැඟි ගුණය රකින ආයතනය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමය. ඒ ආයතනයට ඇති බලය ආරක්ෂා කළ යුතුය. එකඟය…

නිදහස් අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයයේ තවත් විශිෂ්ඨ ලකුණක් නම් රටේ අනිත් බොහෝ ක්ෂේත්‍ර ලෝකයට ගව් ගණනක් පිටුපස සිටිද්දී ප්‍රමිතිය රැකගන්නට සමත් වීමයි. කවර අඩුපාඩු මැද වුවද ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිලය, ඉංජිනේරු කවුන්සිලය වැනි ආයතන ඒ ප්‍රමිතිය රැකගන්නට සමත් වී ඇත. ඒ ප්‍රමිතිය රැක ගත යුතුය. ඒ ආයතනවලට ඇති බලය රැකගත යුතුය. එකඟය…

එහෙත්, කන්නන්ගර මැතිඳුන් දායාද කළ නිදහස් අධ්‍යාපනයෙන් අප රටක් වශයෙන් යා යුතුව තිබූ තැන්වලට ගොස් ඇතිද? රටේ ඉහළ තනතුරු හෙබවූ ⁣දැනුදු හොබවන නිලධාරී තන්ත්‍රය නිදහස් අධ්‍යාපනයේ “දරුවන්ය” . රටේ අද ඇති පරිහානියට දේශපාලකයා මතු නොව මේ නිලධාරි පැලැන්තියද වග කිව යුතුය. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් විපුල පල ලැබූ “දරුවන්” විශාල පිරිසක් පිටරටය. මේ රට කිසිදිනක හැදෙන බවක් නොපෙනෙන බව ඊට හේතුවක් විය හැකිය. ඒ වාගේම මේ “දරුවන්ගෙන්” බොහෝ දෙනෙක් අදටත් රටට ආදරේ බවද රටට උදව් කරන බවද ලියා නොතැබීම ගුණමකු කමකි.

තමන් ලඟට සේවය පතාගෙන එන අහිංසක දුප්පත් මහාජනයා තලන පෙළන නිලධාරීන්ද නිදහස් අධ්‍යාපනයේ “දරුවන්ය”. නිදහස් අධ්‍යාපනය ඉණිමගක් කරගෙන ඉහළ සමාජයට නැග ගත්තාට පසු තමන් මතු වූ සමාජයට ගරහන පිරිසක් බිහිවීම නිදහස් අධ්‍යාපනයේ කරුමයක් බඳුය. මේ ගඳගහන යතාර්ථය වෙනස් කළ යුතුය. එකඟය…

මේ කවර අඩුපාඩු මධ්‍යයේ වුව ලංකාවේ මහජනතාවගේ ගෙල පැළඳි මුතුහර දෙපටක් වන් නිදහස් අධ්‍යාපනයයේත් සෞඛ්‍යයයේත් “සමබිමත් ප්‍රමිතියත්” රැක ගත යුතුය. කොතලාවල පණතින් අනතුරේ හෙලන්නේ ඒ “සමබිමත් ප්‍රමිතියත්” ය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමටත් වෘත්තිය ආයතනවලටත් ඇති බලය නොසලකා හමුදා නිලධාරින්ට හමුදාවේ නොවන දේශීය විදේශීය තැනැත්තන්ට උපාධි පිරිනැමීමේ බලය හෝ එවන් උපාධි පිරිනමන ආයතන පිළිගැනීමේ බලය ලබාදීම රටේ අධ්‍යාපනයේ අනාගතය අඳුරේ හෙළීමකි. නොකළ යුතුය. එකඟ නැත…

බදුල්ලේ සාමාන්‍ය රජයේ සේවක⁣යන් දෙදෙනෙකුගේ දරුවෙකු වූ මට කොළඹ රාජකීය විද්‍යාලයට එන්නට ලැබුණේ, විශ්ව විද්‍යාලයට යන්නට ලැබුණේ, ලෝකයේ ඉහළම ගණයේ දන්ත වෛද්‍ය රෝහලක පුහුණු වන්නට ශිෂ්‍යත්වයක් ලැබුණේ නිදහස් අධ්‍යාපනයේ සමබිමත් සෞඛ්‍යයේ ප්‍රමිතියත් නිසාය…

ඒ සමබිමත් ප්‍රමිතියත් වෙනුවෙන් පෙනී සිටිමි…

ඒ වනසන්නට හදන කොතලාවල පනත තීරණාත්මකව පරාජය කළ යුතු යැයි කියමි…

මාතෘභූමියට ජය වේවා !

Leave a Reply

Your email address will not be published.