Opinion

කොරෝනා එක්ක සූදු කෙළින Brandix සහ බැරිබැරියාව හැදුණු ආණ්ඩුව

Summary

ලංකාවේ සමාගම් සංස්කෘතිය කියන්නෙ විශාල සුදු රෙද්දකින් වහපු කුණු කන්දක්. මේ සුදු රෙද්දට රැවටෙන හැමෝම මේ කුණු කන්ද චෛත්‍යයක් කියලා හිතලා වන්දනා කරනවා.

දෙවැනි කොරෝනා රැල්ල සම්බන්ධයෙන් වගකීම ගන්න ඕනෙ කවුද කියන කාරණය ගැන රටේ ලොකු සංවාදයක් ගොඩනැගෙමින් තියනවා. ඒ සංවාදය කොරෝනා වසංගතයට ප්‍රතිකර්මයක් නොවුණත් මේක ඇතුළෙ ලංකාවේ ආණ්ඩුව ගැනත් ව්‍යාපාර සංස්කෘතිය ගැනත් ලොකු කතාවක් කියැවෙනවා.

මේ දරුණු වසංගත තත්ත්වය තුළ ඉන්දියාවේ ඉඳලා ලංකාවට සේවකයන් 60ක් ගෙන්වා ගැනීම සහ ඔවුන් නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම ගැන Brandix ආයතනයට හතර අතින් චෝදනා එල්ල වෙනවා. ඒක කිසිසේත්ම සුළු කොට තකන්න බැරි චෝදනාවක්. ඒකට පිළිතුරු දුන්නු බ්‍රැන්ඩික්ස් ආයතනය කිව්වේ මේ ගෙන්වපු සේවකයන් සියලු දෙනා ම රජයේ නිරෝධායන ක්‍රියාවලිය සියයට සියයක් අනුගමනය කළා ය කියලා. අපි මොහොතකට ඒ කතාව ප්‍රශ්න කරන්නෙ නැතුව බාර ගත්තා කියලා හිතමු.

ඒත් ඇත්ත ප්‍රශ්නය තියෙන්නෙ එතැන නෙවෙයි. සැප්තැම්බර් මාසයේ අන්තිම සතියේ ඉඳන් කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගීන් දිගින් දිගට ම වාර්තා වෙනකොටත් Brandix ආයතනය ඒ ගැන වගකිවයුතු පියවරක් නොගත්ත එක. ඒ සම්බන්ධයෙන් ‍රජයේ සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න කටයුතු නොකරපු එක. උණ සහ ශ්වසනාශ්‍රිත රෝගවලින් පෙළෙන සේවකයන්ට නිවාඩු දීලා අනිත් සේවකයන්ගෙන් ඈත් කරලා තියන්න කටයුතු නොකරපු එක. ලෝකය ම වසංගතයක් එක්ක පොරබදන කාලෙක ලංකාවේ ලොකු ම සමාගමක් තමන්ගේ සේවකයන්ගේ සෞඛ්‍යය සහ සුරක්ෂිත බව එක්ක සූදු කෙළින එක සුළුවෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.

මේ වගකීම් විරහිතබව සම්බන්ධ ප්‍රශ්නය ලස්සන වචනවලින්වත්, සීරුවට ලියපු මාධ්‍ය නිවේදනවලින්වත් වහන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමාගමක ඇත්ත සමාජ වගකීම තියෙන්නෙ අවුරුද්ද පුරා කරන ප්‍රදර්ශනාත්මක ව්‍යාපෘතිවලවත්, annual report වල පිටු පුරා ලියන පුරාජේරුවලවත් නෙවෙයි. ව්‍යාපාරයක් තමන්ගෙ සේවකයන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ගන්න පියවර මොනවද, ව්‍යාපාරයක් තමන්ගෙ සේවකයන්ගෙ සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් කොයිතරම් දුරක් යන්න ලෑස්ති ද, ව්‍යාපාරයක් සමාජ අර්බුදයක් ඇතුළෙ දි මොන තරම් දුරට ඒකට සංව්දී වෙලා වගකීම් සහගත විදියට හැසිරෙනවද කියන කාරණා ඇතුළෙ තමයි ඇත්ත සමාගමික සමාජ වගකීම (corporate social responsibility) රැඳිලා තියෙන්නෙ. මේ දෙවැනි කොරෝනා රැල්ල සම්බන්ධ ප්‍රශ්නයෙදි දැනට අපට පේන්න තියෙන්නෙ Brandix ඉතාම දරුණු විදියට ෆේල් කියලා විතරයි.

ලංකාවේ සමාගම් සංස්කෘතිය කියන්නෙ විශාල සුදු රෙද්දකින් වහපු කුණු කන්දක්. මේ සුදු රෙද්දට රැවටෙන හැමෝම මේ කුණු කන්ද චෛත්‍යයක් කියලා හිතලා වන්දනා කරනවා. මේ වගේ වෙලාවක සමාජයට පොදුවෙ බල කෙරෙනවා මේ සුදු රෙද්ද අයින් කරලා කුණු කන්ද දිහා ටිකක් යථාර්ථවාදීව බලන්න. එතකොට ඒක අපිට සුද්ද කරන්න අමාරු වුණත් අඩුම තරමේ චෛත්‍යයක් කියලා හිතලා වන්දනා නොකර ඉන්න පුළුවන්.

අනෙක් පැත්තෙන් මෙහෙම ප්‍රශ්නෙක දී රජයකට පැවරෙන වගකීම මොකද්ද කියන ප්‍රශ්නෙත් පැන නගිනවා. රටක ආණ්ඩුවක් තියෙද්දි වසංගතය ටිකක් තුරන් වෙනකොට අඬ බෙර ගහලා, කටවුට් දාලා ඒකෙ ගෞරවය අයිති කරගෙන වැඩේ දෙල් වේගෙන එද්දි ඒ වගකීම ජනතාවට පවරලා බණ දේශනා කරන්න නෙවෙයි. මේ වගේ වෙලාවක සමාජයේ හැම තලයක ම සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන එකත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලවා ඒ වැඩේ හරියට වෙනවද කියලා බලන එකත් ආණ්ඩුවෙ වගකීමක්.

කොරෝනා දෙවැනි රැල්ල ගැන මුළු ලෝකය ම අවධානයෙන් ඉන්නකොට අපේ රටේ ආණ්ඩුව කළේ කොරෝනා පරද්දපු උද්දාමයෙන් මුසපත් වෙලා තමන්ගෙ ආත්මාර්ථකාමී බල අරමුණු පස්සෙ දුවපු එක. දෙවැනි රැල්ලක් එන්න කලින් පරීක්ෂණ ධාරිතාව වැඩි කරගන්න එක, ව්‍යාපාර ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කරගන්න අවශ්‍ය එක වගේ ම ආර්ථික අර්බුදයෙන් එළියට එන්න පාරක් හොයාගන්න එකත් ආණ්ඩුවේ වගකීම. මේ කිසිම දෙයක් ආණ්ඩුව පැත්තෙන් ඉෂ්ට වෙලා නෑ කියන එක විතරයි මේ වෙලාවේ පේන්න තියෙන්නෙ.

මේ වතාවේ අපි මුහුණ දෙන කොරෝනා අනතුර වඩාත් භයානක වෙන්නේ හැම පැත්තකම දකින්න ලැබෙන මේ වගකීම් විරහිතකම නිසා. මොන තරම් ලොකු විනාශයක් මේ වසංගතය නිසා සිද්ධ වුණත් අඩුම තරමෙ ඒකට උත්තර දෙන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ. ඒක රටකට අත් වෙන්න පුළුවන් අතිශය ඛේදනීය ඉරණමක්. මේ නිසා පුරවැසියන්ගෙ පළමුවෙනි යුතුකම වෙන්නේ ආණ්ඩුවට, Brandix එකට වගේ ම අනික් හැම පාර්ශ්වයකටමත් මේ තීරණාත්මක මොහොතේ තමන් කරපු වැරදිවලට වගකියන්න බල කරන එක.

Leave a Reply

Your email address will not be published.