Opinion

ගඟ නොපෙනෙන මානයෙන් පැලක් අටවා ගන්න…

Summary

සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ ඔබ ඔය හිතන් ඉන්නා එක නම් නොවේය..වැඩක් නැති වෙලාවට පරණ ඉතිහාස කතාවක් සාහිත්‍ය කෘතියක් කාව්‍ය සංග්‍රහයක් කියවලා බැලුවහොත් ඇත්ත සිංහල සංස්කෘතියේ හැඩතල අල්ලාගන්ට බැරිවෙන එකකුත් නැත….

මං හිතාගෙන උන්නේම මේ ඇඳුම් සංගදිය ගැන නම් නොලියන්නය. එහෙත් බුකිය තුල පාටියට ගිය නිලියන්ගේ සහ නිරෑපිකාවන්ගේ ඇඳුම් ඇතිකල කැලඹිල්ල අවුරුදු තුනකට පසුවද එහෙමම වාගේ හින්දාද එය ඇදගෙන යන මානයන්ගේ පරිමිතිය දැක්කාම ඒ ගැන මට හිතුන හැටි ගැන ලියූ හැටි නැවත දැමුවාට කමක් නැතැයි මට සිතුණි.

මුලින්ම කියන්නට ඕනෑ ඇඳුම කියන්නේ සමහර අයට විලිවහගන්නට අඳින එකක් වුනාට හැමෝටම එහෙම නැති බවය. ඇඳුම තමන්ගේ පෙනුම වැඩිකරන්නට, නැති පෙනුම ඇතිකරගන්නට, පෞරුෂය වැඩිකරගන්නට, නැති පෞරුෂ හදාගන්නට කොටින්ම කිව්වොත් තමන්ගේ “වටිනාකම” හදාගන්නට හෝ වැඩිකරගන්නට පාවිච්චි කරන දෙයක්ය. ඉතින් අපි හැමෝම තම තම හැකි පමණින් ඕක කරනවා නේදැයි පැත්තකට වෙලා හිතලා බැලුවොත් තේරෙනවා ඇතිය.

අපි කරන රස්සාවල හැටියට එදිනෙදා ඇන්දාට අපි හැමෝම තුල අර ලස්සන විලාසිතා කරන්නට ආසා කරන සතා හැංගිලා ඉන්නවා නො⁣වේදැයි තේරෙන්නේ මගුලකට කාරිය යන්නට වෙච්ච වෙලාවටය. හැබැයි ඉතින් කෙයාර්පොයින්ට් ගෙනිච්චාට කබල් මොරිස් මයිනර්වලට BMW පෙනුම එන්නේ නැති බව තේරෙනකොට මගුල්ගෙදර නැකතත් පහුවෙලාය…ඒ කෙසේවෙතත් ඒ මොන මගුලටත් අපි යන්නේ දන්න සෙල්ලම් ඔක්කෝම දමලාය. ඒ මිනිස්සුන්ගේ හැටිය….මෙය පිරිමි පාර්ශ්වය අඩුවටත් ⁣කාන්තා පාර්ශ්වය වැඩියටත් කරන්නේ යැයි යමෙක් කව්වද එහිද වැරැද්දක් නැත….

ඒ සාමාන්‍ය පෘතග්ජන අපිය…අපි වැඩි දෙනා ඇඟ මේන්ටේන් කරන්නේ නැත..පිලිවෙලට අඳින්නේද නැත…ඒ නැත්තේ හත්වලාමේ ඔව්වාට ආසා නැතිව නොවේය..වෙලාවක් නැතිකමය..කම්මැලිකමය.

අප වාගේ බඩතඩියන් බොඩිෆිට් ඇන්දාම අවුල්ය..හැබැයි ඇඟ හදාගෙන ඉන්නා ස්මාර්ට් කොල්ලන් ඒවා ඇන්දාම හැඩය…තමන්ගේ සරීර කූඩුව ලස්සනට සිහින්වට තියාගෙන ඉන්නට මෙලෝ උවමනාවක් නැති බත් ගෙඩි ගිල දමදමා ඔපීසිවල මේස පුටු රත්කරනා නංගිලා සහ ඇන්ටිලාට හැඩට අඳින්ට ඕනෑ වුනත් අඳින්ට බැරිය. ..හැබැයි ඉඟසුඟ ගත හැකි මිටින වගේ ඉන්නා යුවතියන් ඔව්වා ඇන්දාම හැඩය…

කාන්තා ශරීරය රස ගඟුලක්ය…මොන පිරිමියාත් ලස්සන කාන්තාවන් හැඩට ඇඳලා ඉන්නවා දකින්නට කැමතිය…මොන ආගමික සදාචාර බයිලාවල් කිව්වත් ඇත්ත කතාව ඕකය…ඒ හින්දා හැඩට ඇඟ හදාගෙන ලස්සනට ඇඳලා කරලා ඉන්නා මිනිස්සුන්ට ඉරිසියාවෙන් කුහකකමින් ඉන්නවාට වඩා තමන්ටත් තියෙන්නේ ගෙදර වටේටවත් පැය බාගයක් ඇවිදින එකය…බත් ගෙඩිය ටිකක් අඩුවට කන එකය…තමන්ගේ අතේමිටේ තියෙන හැටියට ලස්සන ඇඳුමක් ඇඳලා හිතේ සතුටින් ඉන්නා එකය..

ඒ සාමාන්‍ය මිනිස්සුන් වන අපි ගැනය…දැන් මේ නලුනිලියන්ගේ විලාසිතාවන් ගැනද ඇඳුමේ දිග පලල ගැනද රණ තිසරුන් පේනවාද නැද්ද යන එක ගැනද දඟ යුග්මයන් පේනවා වැඩිද නැද්ද යන එක ගැනද සාරගර්භ විවාද පවත්වන රැඩිකල් හෝ සදාචාර සම්පන්න බුකි නෝනා මහත්වරුන්ටත් මේ ටික ලියා තබන්නෙමි.
මේ පාටියට ගිය බොහෝ අය නිලියන්ය…නිරෑපිකාවන්ය..ඔවුන් අත්‍යන්තයෙන්ම සුන්දරය…ඒ සුන්දරත්වය ඔවුන් සතු ධනයය..ඔවුන්ගේ වත්කමය…ඉතින් අනිත් ඕනෑම වෘත්තියකම වාගේ ඔවුනුත් තම වෘත්තින්හි දිදුලන්නේ තම තමන් සතු වත්කමි නිසාය..ඒ සුන්දරත්වය දකින්නට විඳින්නට සෝවාන් සිත් නැති පෘතග්ජන අපි කැමතිය…ලංකාවේ විතරක් නොවේ ලෝකයේම හැටි එහෙමය…

ඔබ ඇඳුමේ යාර ගණනින් කාන්තාවකගේ පිරිසිදුකම චරිතවත් කම මනින්නේ නම් ඒක ඔබේ ප්‍රශ්නයක් මිස වෙන මුකුත් නම් නොවේය. එහෙම ඇන්දා කියා නිලියක් ගොනෙක්, ගණිකාවක් හෝ වේසියෙක් කියලා ඔබට හිතෙනවා නම් ඒක ඔබේ සංස්කෘතියේ අවුලක් මිසක් වෙන මුකුත් නම් නොවේය..

සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ ඔබ ඔය හිතන් ඉන්නා එක නම් නොවේය..වැඩක් නැති වෙලාවට පරණ ඉතිහාස කතාවක් සාහිත්‍ය කෘතියක් කාව්‍ය සංග්‍රහයක් කියවලා බැලුවහොත් ඇත්ත සිංහල සංස්කෘතියේ හැඩතල අල්ලාගන්ට බැරිවෙන එකකුත් නැත….

මහත්වරුනි,
සංස්කෘතිය කියන්නේ ප්‍රවාහයක්ය…ගලන ගඟක් වාගේය..එය සමහර තැන්වලදී හඬක් නොනගා නිසොල්මනේ ගලා යයි…සමහරුන්ට ඒක ලස්සනය…ඒකට කැමතිය…තව තැන්වලදී ගල් උඩින් ගලයි…තව තැන්වලදී උස් කඳු මුදුන්වලින් මහ හඬින් ඇද වැටෙයි…මනහර රටා මවයි….සමහරුන් ඒවාට කැමතිය…ඉවුරුතලාගොස් ගම් නියම් ගම් වට නොකරනා තාක් ගඟ මේ කොතැනදීත් එක එක විදිහට ලස්සනය…

ඒ විවිධත්වයට සුන්දරත්වයට ගරු කරන්නට විඳින්නට ඉගෙන ගන්න…හැදිච්චකම කියන්නේ ඒකටය…බැරිම නම් ගඟට සාප නොකර ගඟ නොපෙනෙන මානයෙන් පැලක් අටවාගන්න…

ප.ලි – අවුරුදු තුනකට කලින් මේ දවස්වල මාතෘකා වන චරිත කිහිපයක මෝස්තර නිරූපණ ගැන සමාජයේ ඇති වූ කතාබහට අපේ එකතුව

One thought on “ගඟ නොපෙනෙන මානයෙන් පැලක් අටවා ගන්න…
  1. I think we’ve had a more open culture during the Kings’ days. I read Sujith Akkarwaththe’s ‘Sivagiriyen Sigiriyata’ which has been written after spending many years investigating and researching about Sigiriya and King Kassapa’s life. Sounds like people have had quite a ‘athal’ life those days. More free actually. They’ve been doing everything from spending time with many women to having a lot nightlife activities etc.. which we reject now thinking that they aren’t a part of the sinhalese culture. We lost all that to some silly Victorian shit.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *