Opinion

ගඩාෆිගේ චිත්‍රය

Summary

ඇත්තටම ගඩාෆි වැඩියෙන් ම සම්බන්ධකම් පවත්තලා තිබුණේ බටහිරත් එක්ක.
අන්තිමට බටහිර රටවල් එකතු වෙලා ලිබියාවට නෙලන්න පටන් ගත්තා.

  • Save

පොඩි කාලේ ඉඳලා ම මම ගඩාෆි ගැන අහන්න, කියවන්න ආසයි. ගඩාෆි කියන්නේ ලොකු වීරයෙක් කියලා තමයි මම හිතාගෙන හිටියේ. ගඩාෆිගේ “කොළ පොත” කියවලා ලබා ගත්ත දැනුමකුත් මට තියෙනවා.

මම ඉපැදෙන කොටත් ගඩාෆි ලිබියාවේ බලය අල්ලා ගෙන සති තුනක් විතර ගතවෙලා. ඉතින් 1969 සැප්තැම්බර් මාසයේ පළමුවැනි දා ඒ 27 හැවිරිදි තරුණයා කරපු හපන්කම ගැන පස්සේ කාලෙක (වයස අවුරුදු දහයේ දී විතර) මම දැන ගත්තත් ඒ සම්බන්ධයෙන් මටත් යම් ආකාරයක පොඩි බැඳීමක් තියෙන වැඩක් බවට හැඟීමක් මගේ හිතේ තිබුණා. 1976 දී ගඩාෆි ලංකාවට ආපු කතාවේ විස්තරවලිනුත් ගඩාෆි ගැන මම ඇඳගෙන හිටිය චිත්‍රය තව තවත් හැඩ වුනා.

ඒත් ගඩාෆි කියන්නේ මම හිතාගෙන හිටිය විදිහෙ බටහිර විරෝධියෙක් නෙවෙයි කියලා දැන ගත්තේ සෑහෙන කාලෙකට පස්සේ. ඇත්තටම ගඩාෆි වැඩියෙන් ම සම්බන්ධකම් පවත්තලා තිබුණේ බටහිරත් එක්ක.

රුසියාව එක්ක ළඟ සම්බන්ධකම් පවත්තන්න ඕනකමක් ගඩාෆිට තිබුණේ නෑ. චෙච්නියානු ප්‍රශ්නයේ දී, ගඩාෆි ගත්තේ බෙදුම්වාදීන්ගේ පැත්ත.

1982 අවුරුද්දේ තමයි ගඩාෆි අන්තිමට චීනයට ගියේ. ඊට පස්සේ තවත් අවුරුදු තිහකට කිට්ටු කාලයක් ගඩාෆි ලිබියාව පාලනය කළා. 2006 දී පවත්වපු චීන – අප්‍රිකා සමුළුවට අප්‍රිකාවේ රාජ්‍ය නායකයෝ 48 දෙනෙක් සහභාගි වුනා. ඒත් ගඩාෆි ඒකට ගියේ නෑ.

ලිබියාවේ තෙල්වලින් වැඩි හරියක් වික්කේ ඉතාලියට. ගඩාෆි ආයුධ මිල දී ගත්තේ ප්‍රංශයෙන්. එංගලන්තේ එක්කත් ගඩාෆිට ලොකු ඇයි හොඳැයියක් තිබුණා. ගඩාෆි තමන්ගේ පුත්‍රයාට ඉගැන්නුවෙත් එංගලන්තේ.

අන්තිමට බටහිර රටවල් එකතු වෙලා ලිබියාවට නෙලන්න පටන් ගත්තා. ඒත් තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා ඒක නවත්තන්න චීනය හරි රුසියාව හරි උත්සාහ කළේ නෑ.

අවසාන ප්‍රතිඵලය ගැන විස්තර කියන්න ඕන නෑනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap