COLUMN

ගමේ අරමුදල – 26 වැනි කොටස

Summary

මෙම ක්‍රම දෙක ම සාර්ථක කරගත හැක්කේ ඒ වෙනුවෙන් මැදිහත් විය හැකි වගකිව යුතු පාර්ශ්වයක් ගම් මට්ටමින් සිටින්නේ නම් පමණකි. මෙම ප්‍රවාදයෙන් යෝජිත ගම් (සහ නාගරික) සභාවලින් උක්ත මැදිහත්වීම ලබාගත හැකි ය. ග්‍රාමීය ආර්ථික කටයුතුවලට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලබාදෙන බිම් මට්ටමේ කොටස් ආයෝජනයට මැදිහත්වීම සහ ග්‍රාමීය ආයෝජන අරමුදල පවත්වාගෙන යෑම ගම් සභාවට කළ හැකි ය.

බෞද්ධ ජනරජ ප්‍රවාදය

අමතර ආදායමක්, තමන් සතු අතිරික්ත මූල්‍ය වත්කමක් ආයෝජනය කිරීමට අදාළ දැනුමක් ගම්වල වාසය කරන බොහෝ දෙනකු තුළ නොමැත. තව ද සැලසුම් සහගත අයුරින් එය කිරීමට අවස්ථා ද නොපවතී. එහෙයින් තමන් අතට අමතර මුදලක් ලැබුණු විගසින් කුඩා වෙළෙඳසලක් ඇරැඹීමට හෝ සක්විති, දඩයම් ආකාරයේ පොන්සි ආයෝජන ක්‍රමවල පිහිටපැතීමට ගැමියෝ යොමුවෙති.

අවශ්‍ය ව්‍යවසාය හැකියාව නොමැතිව අරඹන වෙළෙඳ ව්‍යාපාර ඉතා ඉක්මනින් බිඳ වැටෙයි. පොන්සි ක්‍රමවල ආයෝජනයට යොමුවන්නෝ කෙටි කාලයක් තුළ තම මූල්‍ය වත්කම් අහිමි කරගනිති. වඩා ආරක්‍ෂිත බැංකු ඉතිරිකිරීම් සඳහා ගැමියන් යොමු නොවන්නේ ඒ තුළින් වැඩි ප්‍රතිලාභයක් අත්පත් කරගත නොහැකි බැවිනි. තව ද බැංකු තුළ ඇති ආගන්තුක පරිිසරයට ද ඒ හා බැඳුණු සංකීර්ණ ක්‍රියාදාමයට ද ගැමියෝ ප්‍රිය නො කරති.

කලින් කලට ගැමියන් වෙත ලැබෙන අමතර මූල්‍ය අරමුදල් ඉතා ක්‍රමවත් අයුරින් ගම් මට්ටමේ ව්‍යවසායන් තුළ ම ආයෝජනය කළ නො හැකි ද? ඒ වෙනුවෙන් අදාළ කරගත හැකි ක්‍රමවේද හඳුන්වාදිය නො හැකි ද?

ගම් මට්ටමින් උපදින අමතර මූල්‍ය අරමුදල් නාගරික බැංකුවල තැන්පත් කර, ග්‍රාමීය ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා විශාල පිරිවැයක් සහිතව ඒවා නැවතත් ගම්වලට යොමුකිරීම ඉතාමත් අකාර්යක්‍ෂම ක්‍රමවේදයකි. බැංකු ණය වශයෙන් එම අරමුදල් ලබාගන්නා අය ඒවා නිසි පරිදි අදාළ ව්‍යවසාය වෙනුවෙන් යොදවන්නේ ද, එම කාර්යයන්ගේ ප්‍රගතියක් තිබේ ද, ඒවායින් අපේක්‍ෂිත ප්‍රතිලාභ ලැබෙන්නේ ද යනාදී කරුණු දුරස්ථව අධීක්‍ෂණය කළ නො හැකි ය. නිසි අධීක්‍ෂණයක් නැති කල්හි අදාළ ව්‍යාපාරික කටයුතු බිඳවැටීමේ විශාල ඉඩක් පවතින බැවින් ලබාදුන් ණය මුදල් ආපසු අය කරගැනීම ද විශාල ගැටලුවකි. ඒ වෙනුවෙන් දැනට යොදාගනු ලබන අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා ද අමතර පිරිවැයක් දැරීමට සිදුවෙයි.

අතිරික්ත මූල්‍ය අරමුදල් ගම් මට්ටමේ දී ම එකතු කර ඒවා එම ප්‍රදේශයේ ම ආර්ථික කටයුතු සඳහා යෙදවීමෙන් මෙම ගැටලු විසඳාගත හැකි ය. ගම් මට්ටමේ දී ම මෙම කාර්යය සිදුකිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේද දෙකක් පවතී. බිම් මට්ටමින් අරඹන ආර්ථික කටයුතුවල කොටස් හිමිකම ගම් වැසියන්ට ලබාදීම මේ වෙනුවෙන් අනුගමනය කළ හැකි පළමු ක්‍රමවේදය වේ. ග්‍රාමීය ආයෝජන අරමුදල් ඇති කර ඒවායෙහි ආයෝජනයට ගැමියන් පොළොඹවා ප්‍රදේශයේ ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සැපැයීම දෙවැනි ක්‍රමවේදය යි.

මෙම ක්‍රම දෙක ම සාර්ථක කරගත හැක්කේ ඒ වෙනුවෙන් මැදිහත් විය හැකි වගකිව යුතු පාර්ශ්වයක් ගම් මට්ටමින් සිටින්නේ නම් පමණකි. මෙම ප්‍රවාදයෙන් යෝජිත ගම් (සහ නාගරික) සභාවලින් උක්ත මැදිහත්වීම ලබාගත හැකි ය. ග්‍රාමීය ආර්ථික කටයුතුවලට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලබාදෙන බිම් මට්ටමේ කොටස් ආයෝජනයට මැදිහත්වීම සහ ග්‍රාමීය ආයෝජන අරමුදල පවත්වාගෙන යෑම ගම් සභාවට කළ හැකි ය.

උක්ත කාර්යයන් දෙකට අදාළ ගිණුම් කටයුතු විශේෂ කැපවීමකින් කළ යුතු වෙයි. එහෙයින් ඒ වෙනුවෙන් ම කැපවිය හැකි ගිණුම්කරුවකු පත් කරගැනීමට ගම් සභා සහ නාගරික සභාවලට සිදුවෙයි. මෙම පත්කිරීම් සඳහා ද අදාළ කටයුතු විගණනය වෙනුවෙන් ද මැදිහත්වීම කෝරළ සභාවල වගකීමකි. මෙම කාර්යය සඳහා අවශ්‍ය කෙරෙන ගිණුම් ක්‍රම හඳුන්වාදීම සහ අදාළ නීති අණපනත් සම්පාදනය ජාතික මට්ටමින් සිදුවිය යුත්තේ ය. මේ සඳහා වන වගකීම් පැවරිය යුත්තේ උත්තරීතර උපදේශක සභාවට සහ ජාතික ව්‍යවස්ථාදායක සභාවට ය.

බිම් මට්ටමෙහි අවශ්‍යතා සහ පවත්නා සම්පත් හඳුනාගෙන අදාළ ආර්ථික කටයුතු සැලසුම්කිරීමේ කාර්යයට මැදිහත්වීම ගම් සභා සහ නාගරික සභා විසින් කළ යුතු ය. මෙයින් අදහස් කරනුයේ අදාළ ආර්ථික කටයුතු එම පාලන ආයතන විසින් සිදු කළ යුතු බව නොවේ. සම්පත් හඳුනාගැනීම තුළට අදාළ වනුයේ ප්‍රදේශය සතු භූමිය, ජලය ඇතුළු ස්වභාවික යෙදවුම් හඳුනාගැනීම පමණක් නොවේ. තම ප්‍රදේශයෙහි වසන ව්‍යවසායක, කළමනාකරණ, වෙළෙඳ සහ වෙනත් අදාළ හැකියාවෙන් යුතු අය හඳුනාගැනීම ද සම්පත් හඳුනාගැනීමේ කාර්යයට අයත් වේ.

මෙම මැදිහත්වීම්වල දී අකටයුතුකම් සිදුකිරීම බිම් මට්ටමේ පාලන ආයතන වෙත ආර්ථික ඉලක්ක ලබාදීම තුළින් වැළැක්විය හැකි ය. අදාළ ඉලක්ක සම්පූර්ණ කරගැනීමට නම් තම උපරිම ශක්තියෙන් සහ වගකීමෙන් ක්‍රියාකිරීමට එම පාලන ආයතනවල නියෝජිතයන්ට සිදු වේ. මෙම නියෝජිතයන් ද ගැමියන් ම වන බැවින් එකිනෙකා කෙරෙහි ඇති බැඳීම් ද මේ සඳහා උපකාරී වනු ඇත. ඒ අනුුව, මෙම ක්‍රමය තුළින් ඇතිවන්නේ ඉහළින් මෙන් ම පහළින් ද අධීක්‍ෂණය කෙරෙන ප්‍රාග්ධන සම්පාදන වැඩපිළිවෙළක් බව පැහැදිළි ය. එහෙයින් කෝරළ සභා, රජය සහ වෙනත් සංවිධාන විසින් බිම් මට්ටමට ලබාදෙන මූල්‍ය සම්පත් ද මෙම අරමුදලට ම බැර කළ හැකි ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.