COLUMN

ගමේ පාලනය ගමට ම – 10 වැනි කොටස

Summary

ගැමියන් විසින් සිදු කළ යුත්තේ ගමට අදාළ පාලනය ය. ග්‍රාමීය ජනතාවට අදාළ මූලික සමාජ – ආර්ථික කටයුතු ගැමියන් විසින් ම කරගැනීම එයින් අදහස් කෙරෙයි. ශාසනික කටයුතු, ග්‍රාමීය පරිපාලනය, ප්‍රාථමික අධ්‍යාපනය, මූලික සෞඛ්‍ය අවශ්‍යතා, කෘෂිකර්මය, ග්‍රාමීය කර්මාන්ත, වෙළෙඳාම, ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සහ ඒ ආශ්‍රිත පාලනය මෙහෙයවීම ගැමියන් හට කළ හැකිය. ඒ සඳහා උචිත පාලන ක්‍රමයක් හඳුන්වාදීම බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් වගකීමකි.

බෞද්ධ ජනරජ ප්‍රවාදය – 10 වැනි කොටස

ජනතාවගෙන් දුරස්ථ වූ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ද? නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පාලනය ජනතාවගෙන් ඈතට ගෙන යෑම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කිරීමකි. නිවෙසක පාලනය නිවැසියන් අතින් සිදුවන අයුරින් ම ගමක පාලනය ගැමියන් හට සිදු කළ හැකිය. (නාගරික බිම් මට්ටමේ පාලනය ද මෙයට අනුරූප වෙයි. පහසුව සඳහා ග්‍රාමීය පාලනය ගැන පමණක් මෙහි දී සාකච්ඡා කෙරෙයි). රටට ම අදාළ පොදු නීති රීතිවලට අනුකූලව බිම් මට්ටමේ පාලනය සිදුවන්නේ නම් එයින් රාජ්‍යයේ ඒකීයභාවයට සහ භෞමික අඛණ්ඩතාවට හානියක් සිදු නොවේ.

ගැමියන් විසින් සිදු කළ යුත්තේ ගමට අදාළ පාලනය ය. ග්‍රාමීය ජනතාවට අදාළ මූලික සමාජ – ආර්ථික කටයුතු ගැමියන් විසින් ම කරගැනීම එයින් අදහස් කෙරෙයි. ශාසනික කටයුතු, ග්‍රාමීය පරිපාලනය, ප්‍රාථමික අධ්‍යාපනය, මූලික සෞඛ්‍ය අවශ්‍යතා, කෘෂිකර්මය, ග්‍රාමීය කර්මාන්ත, වෙළෙඳාම, ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සහ ඒ ආශ්‍රිත පාලනය මෙහෙයවීම ගැමියන් හට කළ හැකිය. ඒ සඳහා උචිත පාලන ක්‍රමයක් හඳුන්වාදීම බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් වගකීමකි.

මෙම කාර්යය උදෙසා පිහිටුවනු ලබන ආයතනය “ගම් සභාව” ලෙසින් හැඳින්වෙයි. (නාගරික බිම් මට්ටමේ පාලනයට අදාළව පිහිටුවනු ලබන ආයතනය “නාගරික සභාව” ලෙසින් හැඳින්වෙයි. පහසුව සඳහා “ගම් සභාව” පිළිබඳව පමණක් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙයි). ඉහත සඳහන් ග්‍රාමීය සමාජ – ආර්ථික කාර්යයන්ට අදාළ විධායක කාර්යයන් ඉටුකිරීමේ වගකීම “ගම් සභාව” වෙත පැවරෙයි.

ගමක විශාලත්වය, ජනගහනය යන කරුණු මත පදනම් වී ගම් සභාවක් සඳහා තෝරා පත්කර ගත යුතු සභිකයන්ගේ ප්‍රමාණය තීරණය වෙයි. 1985 අංක 7 සහ 1988 අංක 26 දරන පනත්වලින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිදාල පනතෙහි සඳහන් ශිෂ්‍ය සංගම්වලට අදාළ විධිවිධාන ඇසුරෙන් ද ගම් සභාවක් සඳහා වන මූලික විධිවිධාන සම්පාදනය කරගත හැකිය. එකී විධිවිධානවලට අනුව ශිෂ්‍ය සංගමයක් සඳහා සභිකයන් තෝරා පත්කර ගනුයේ දේශපාලන පක්‍ෂ හෝ කණ්ඩායම් හෝ අනුව නොවේ. එම සංගම්වල සභාපති, උප සභාපති, ලේකම්, සංස්කාරක, කණිෂ්ඨ භාණ්ඩාගාරික සහ අනෙකුත් සාමාජික තනතුරු වෙනුවෙන් පවත්වන නිලවරණවලට අපේක්‍ෂකයන් ඉදිරිපත් විය යුත්තේ තනි තනිව ය.

විශ්වවිද්‍යාලවල ශිෂ්‍යගහනය වසරින් වසර වෙනස්වන බැවින් ද නවක සිසුන් ඉතා පහසුවෙන් බාහිර බලපෑම්වලට ගොදුරුවීමේ ඉඩක් පවතින බැවින් ද ශිෂ්‍ය සංගම්වල ස්වාධීන බව නැති වී තිබේ. එනමුදු ගම්වල ස්වභාවය එයට හාත්පසින් ම වෙනස් ය. පොදුවේ ගත් කල ගැමියෝ දීර්ඝ කාලයක් එහි රැඳී සිටිති. එ මෙන් ම, ඔවුහු එකිනෙකා හොඳින් හඳුනති. එහෙයින් බාහිර බලපෑම්වලට යට නොවී ගම් සභා පවත්වා ගෙන යෑමේ ක්‍රමයක් හඳුන්වාදීම අපහසු කාර්යයක් නොවේ.

සම්මුති ගම්මානය අනුව හෝ ග්‍රාම නිලධාරී කොට්ඨාශය අනුව හෝ ගම් සභාවක පාලන සීමාව නිර්ණය කළ හැකිය. ජනගහනය, ජන ඝනත්වය, භූමියේ ප්‍රමාණය සහ භූමියේ ස්වභාවය යන කරුණු මේ සඳහා පාදක කරගත යුතු වේ. එ ලෙසින් හඳුනාගන්නා ගම් සභා භූමියක් කොටස් කර ඒ ඒ කොට්ඨාශයෙන් නියෝජිතයන් පත් කරගැනීම කළ හැකිය. මෙ ලෙස ගැමියන් විසින් ගම් සභාවට තෝරා පත්කර ගන්නේ තම තමන් අතර ම ජීවත්වන අයවළුන් ය. ඔවුහු එකිනෙකාගෙන් දුරස්ථ අය නොවෙති. තම අසල්වැසියන් කවුරුන් ද යන වග සහ ඔවුන් සතු හැකියාවන් පිළිබඳ අවබෝධයක් ගැමියන් තුළ තිබේ. එහෙයින් බාහිර බලපෑම් නොතකා සුදුසු අය ගම් සභාවට තෝරා පත්කර යැවීමේ අවස්ථාව ඔවුන්ට හිමි වේ.

ගම් සභාවක සභිකයන් සඳහා මාසික වැටුප් ගෙවිය යුත්තේ ග්‍රාමීය අරමුදලෙනි. (සෑම ගම් සභාවක් විසින් ම පවත්වා ගෙන යා යුතු “ග්‍රාමීය අරමුදල” ගැන ඉදිරි ලිපියකින් විස්තර කෙරෙයි). කෙසේ වුව ද, ගම් සභාවක සභිකයකු හට ලබා දෙන මාසික වැටුප අදාළ ගම්මානයේ වැසියන්ගේ ඒක පුද්ගල ආදායමෙහි සිව් ගුණය නො ඉක්මවන එකක් විය යුතු ය. ඒ අනුව ගම් සභාවක සභිකයන්ගේ වැටුප් වැඩිවීම් ගැමියන්ගේ ඒක පුද්ගල ආදායම ඉහළ යෑමට සමානුපාතිකව සිදු වනු ඇත. ඒ තුළින් ගම් සභාවක ඵලදායි ක්‍රියාකාරීත්වය තහවුරු කෙරෙයි.

මෙ ලෙසින් ස්ථාපිත කරනු ලබන “ගම් සභාව” බෞද්ධ ජනරජයේ මූලික ම පාලන ඒකකය බවට පත්වෙයි. ගම්වල අවශ්‍යතා හඳුනාගැනීම, පවතින ගැටලු සහ එම ගැටලුවලට පදනම් වී ඇති හේතු හඳුනාගැනීම, පවතින සම්පත් ප්‍රශස්ත ලෙසින් භාවිතා කර අදාළ අවශ්‍යතා සපුරාගැනීම සහ පවතින ගැටලු විසඳීම, අවශ්‍ය වූ විට තමන්ට ඉහළින් ඇති ආයතන සමඟ ගනුදෙනු කිරීම සහ උපකාර ලබාගැනීම ගම් සභාවල වගකීම වෙයි. මෙම පාලන ඒකකවල කටයුතු නියාමනය කිරීම එයට ඉහළින් ඇති කරනු ලබන ආයතනවල ප්‍රධාන වගකීමකි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.