Opinion

ගුරු සටන

Summary

ගුරුවරු සටනක් පටන් ඇරගෙන. මේ සටනට හේතුවෙලා තියෙන්නේ වැටුප් විසමතාව පිළිබඳ කාරණයක්ලු. මේක 1997 අවුරුද්දේ ඉඳලා තියෙන ප්‍රශ්නයක් කියලත් කියනවා. ඒ කියන්නේ අඩුම ගණනේ අවුරුදු 23 ක් පරණ ප්‍රශ්නයක්.

ගුරුවරු සටනක් පටන් ඇරගෙන. මේ සටනට හේතුවෙලා තියෙන්නේ වැටුප් විසමතාව පිළිබඳ කාරණයක්ලු. මේක 1997 අවුරුද්දේ ඉඳලා තියෙන ප්‍රශ්නයක් කියලත් කියනවා. ඒ කියන්නේ අඩුම ගණනේ අවුරුදු 23 ක් පරණ ප්‍රශ්නයක්.

මේ සටන සම්බන්ධයෙන් යම් යම් විවේචන තියෙනවා. මමත් මේ ගැන යම් යම් අදහස් පළ කළා. මම මගේ අදහස් පළකරන්නේ කාරණා දෙකක් පදනම් කරගෙන. ඒ අතරින් මුල් කාරණය (ඉගැන්වීම් වර්ජනය) මේ සටනට විතරක් අදාළ එකක් නෙවෙයි.

මොනම අංශයක වුනත් කරන වැඩවර්ජනවලට මගේ කැමැත්තක් නෑ. වැඩවර්ජනය කියන්නේ හොඳ සටන් ක්‍රමයක් කියලා මම හිතන්නේ නෑ. වැඩවර්ජනය කරද්දි තමන්ගේ සේවා අංශය තවත් පිරිහෙනවා. ඒ හේතුවෙන් රටත් පිරිහෙනවා. රට පිරිහුනාම අන්තිමට පීඩාවට පත්වෙන්නේ මිනිස්සුමයි. ඉතින් ඒ හින්දා වර්ජනය වෙනුවට විකල්ප සටන් ක්‍රම හොයාගන්න ඕන කියලා මම හිතනවා.

“විකල්ප සටන් ක්‍රම හොයාගන්න” කියන මේ යෝජනාවෙන් අදහස් කෙරෙන්නේ සටන් කරන්න එපා කියන එක නම් නෙවෙයි. ප්‍රශ්නයක් තියෙනවා නම් සහ ඒක හොඳින් කියලා විසඳගන්න බැරි නම් සටන් කරන්න ඕන. වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් කරන එකේ වැරැද්දක් නෑ.

විශ්වවිද්‍යාලයට යන කාලේ මමත් ශිෂ්‍ය සටන්වලට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි අපි කවදාවත් පංති වර්ජන මෙහෙයවන්න ගියේ නෑ. අපි අපේ අදහස් හොඳින් ප්‍රකාශ කෙරෙන විදිහට පෝස්ටර් ගැහුවා, විරෝධතා රැස්වීම් තිබ්බා, පෙළපාලි ගියා. මේ එකකින්වත් ප්‍රතිඵලයක් නොලැබුණාම අපි අන්තිම උපක්‍රමය විදිහට මාරාන්තික උපවාසය තෝරගත්තා.

මේ කියන්නේ මෑතක ඉඳලා කරන මැරතන් උපවාස ගැන නෙවෙයි. මේ විදිහේ සිෆ්ට් ක්‍රමයට කරන මැරතන් උපවාස පටන්ගත්තේ 1993 අවුරුද්දේ ඇතිවෙච්ච රාජගිරිය ආයුර්වේද ශිෂ්‍ය අරගලයේ දී. ඒ උපවාසය මාසයක් දෙකක් ඇදුණු බව තමයි මගේ මතකය. ඒ වෙද්දි අපිත් විශ්වවිද්‍යාලයේ හිටිය හින්දා රාජගිරියට ගිහිල්ලා පෝස්ටර් එහෙම ඇඳලා දීලා, රෑ කාලයේ එතැන ඉඳලා අපිට පුළුවන් විදිහට ඒ සටනට උදව් කළා.

1989 අවුරුද්දෙන් පස්සේ සීසී කඩ විසිරිච්ච “ජවිපෙ සහෝදරවරු” එකතු කරන කඳවුරක් ඒ මැරතන් උපවාසය පසුබිමේ පවත්වපු බවක් පස්සේ ආරංචි වුනා. ඒක වෙනම කතාවක්.

අපි මේ විදිහේ මැරතන් උපවාස කළේ නෑ. අපි කළේ මාරාන්තික උපවාස. ඒ උපවාස උපරිම විදිහට ගත්තොත් දවස් තුනෙන් අවසන් වුනා. ඒ හැම සටනක් ම අපි ජයගත්තා. විභාග පටිපාටිය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නය මුල් කරගත්ත මාරාන්තික උපවාසයට මමත් වාඩිවුනා. කිසිම කෑමක් බීමක් නැතුව (වතුර බින්දුවක්වත් නැතුව) මමත් පැය 53 ක් ඒ උපවාසයේ යෙදිලා හිටියා. ඒක අපූරු අත්දැකීමක්. මේ විදිහට අපේ ශිෂ්‍ය සංගම් මෙහෙයවපු තවත් උපවාසයකට මම උදව් කරලා තියෙනවා.

නිර්මාණාත්මක විදිහට හිතනවා නම් තවත් විකල්ප සටන් ක්‍රම හඳුනාගන්න පුළුවන් වෙයි. කොහොම වුනත් වර්ජනය කියන්නේ හොඳ සටන් ක්‍රමයක් නෙවෙයි.

වෛද්‍යවරු, හෙදියෝ සහ ගුරුවරු කරන වර්ජන මහ අමනුස්ස වැඩ කියලා මම හිතනවා. ලෙඩක් හැදිලා පිහිටක් ඉල්ලගෙන එන ලෙඩෙක්ට බෙහෙත් නොදී ඉන්නේ කොහොම ද කියලා මට හිතාගන්න බෑ. අසරණ වෙච්ච ලෙඩ්ඩුන්ට අවශ්‍ය හෙද සේවා ලබා නොදී ඉන්නේ කොහොම ද කියලා මට හිතාගන්න බෑ. තමන්ගේ දරුවෝ වගේ ඉන්න, රටේ අනාගතය බවට පත්වෙන ශිෂ්‍යයන්ට උගන්නන්නේ නැතුව ඉන්නේ කොහොම ද කියලා මට හිතාගන්න බෑ.

දැන් කරන්නේ ඉගැන්වීම් වර්ජනයක් නොවන බවත්, ස්වේච්ඡාවෙන් අතින් වියදම් කරගෙන කරපු මංගත ඉගැන්වීම නැවැත්වීමක් බවත් මේ සටනට සම්බන්ධ සමහරු කියනවා. ඒක ඇත්ත කියලා මම හිතනවා. මේ මංගත ඉගැන්වීම්වලට ආණ්ඩුවෙන් ඩේටා හරි වෙනත් සහනයක් හරි දුන්න බවක් මම දන්නේ නෑ.

මේ වැඩවල දී ආණ්ඩුව කාර්යක්‍ෂම නෑ. මේ ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් යෝජනා කරන්න ඕන අපේ රටේ ඉන්න උගත්තු. රටේ තියෙන ආර්ථික ශක්තිය, අනෙකුත් සම්පත් ගැන සළකලා තමයි මේ යෝජනා සම්පාදනය කරන්න ඕන.

තියෙන සම්පත්වලින් වැඩගන්න ක්‍රමයක් තමයි අපිට ඕන. මංගත අධ්‍යාපන ක්‍රමය එහෙම එකක් කියලා මම හිතන්නේ නෑ. ඒක නැති සම්පත්වලින් කරන්න හදන වැඩක්. හුඟත් ළමයින්ට ජංගම දුරකථන සහ ටැබ් නෑ. ගුරුවරුන්ට ඩේටා නෑ. මේ ඔක්කොම තිබුණත් අවශ්‍ය සංඥා ලැබෙන්නේ නෑ. ඉතින් සමහර ළමයි ගස් උඩ නැගලා පංති යනවා කියලත් කියනවා. නැති සම්පත්වලින් විසඳුම් හොයද්දි මේ වගේ වැඩ වෙනවා.

කෝටි ප්‍රකෝටි ගණන් වැය කරලා රට පුරාම හදපු ඉස්කෝල ගොඩනැගිලි පාළුවට ගිහිල්ලා. පන්සල්, පල්ලි වගේ තැන්වලත් පංති පවත්වන්න පුළුවන්. ඊට අමතරව රට පුරාම ගුරුවරු ඉන්නවා. ඒ අයට පඩිත් ගෙවනවා. ඉතින් මේවා තමයි අපිට තියෙන සම්පත්. අපි මේ තියෙන සම්පත්වලින් වැඩක් ගන්න ඕන.

මේක කරන්න හැම ළමයෙක් ම තමන්ගේ ම පාසලට යන්න ඕන නෑ. මේක කරන්න හැම ගුරුවරයෙක් ම තමන්ගේ ම පාසලට යන්න ඕන නෑ. තාවකාලික වශයෙන් ළඟ ම පාසලේ දී මේක කරන්න පුළුවන්. අඩුම ගණනේ විෂයයන් කීපයකට හරි මේක කරන්න පුළුවන්. ඒ සම්පත් ඔක්කොම පැත්තක දාලා නැති සම්පත්වලින් විසඳුමක් හොයන එක විකාරයක්.

හොඳම විසඳුම එක දවසින් හොයාගන්න බැරිවෙයි. ඒත් මෙහෙම වැඩක් පටන්ගන්න පුළුවන්. ඒ හරහා ප්‍රශ්න ඇතිවෙද්දි ඒවා විසඳන ක්‍රම ගැනත් හිතන්න පුළුවන්. මම හිතන්නේ මේ විදිහට.

මංගත පංති පවත්වන්නම ඕන නම්, ගුරුවරුන්ට ඩේටා නැතිනම් සහ ඒ වෙනුවෙන් වියදම් කරන්න බැරි නම් ඒ සඳහා මැදිහත්වීමක් කරන්න දෙමව්පියන්ට පුළුවන්. Zoom පංතියකට සිය දෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්කෝලේ පංති දෙකක් එකට දාලා මේ යටතේ උගන්නන්න පුළුවන්. මේ විදිහෙ පැයක පංතියකට මෙගා බයිට් 810 ත් ගිගා බයිට් 2.4 ත් අතර ඩේටා ප්‍රමාණයක් වැයවෙනවා කියලා කියනවා. මේ සඳහා වැයවෙන මුදල අනූවෙන් (90 න්) බෙදුවොත් මහ ලොකු ගණනක් වෙයි කියලා මම හිතන්නේ නෑ. ඉතින් ඒ විදිහෙ සාමූහික මුදල් අය කරන ක්‍රමයක් වුනත් මේ සඳහා හඳුන්වාදෙන්න පුළුවන්.

මෙහෙම කියද්දි “එහෙම නම් ආණ්ඩුවක් මොකට ද?” “මහත්තයා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ද?” “ඔබතුමා වාඩිවෙලා ඉන්නේ මොළේ උඩ ද?” වගේ ප්‍රශ්න මගෙන අහනවා. පහුගිය දවස් කීපයේ මම මෙහෙම කතා ගොඩක් ඇහුවා. “තවත් මහින්ද පතිරණ කෙනෙක්” කියලත් සමහරු කිව්වා. මෙහෙම බැන්නා, දොස් කිව්වා, ආඩපාලි කිව්වා කියලා මම කම්පා වෙන්නේ නෑ. මේ ගතවෙන්නේ හැම දේට ම හැම කෙනෙක්ට ම බනින කාලයක්. මේ මරුගසං වර්ෂාවට තෙමෙන්නේ නැතුව ඉන්න මට විතරක් පුළුවන්කමක් නෑ. ඉතින් කැමැති තරම් බනින්න. මම කියන්නේ වැඩේ කෙරෙන ක්‍රමයක් ගැන.

දැන් මම මගේ විවේචනයට අදාළ දෙවැනි කාරණය කියන්නම්. ඒ තමයි වැටුප් විසමතාව ගැන කාරණය.

ගුරුවරුන්ට ඉහළ වැටුප් දෙන්න ඕන කියලා මම පිළිගන්නවා. ඉහළ වැටුප් ලැබෙනවා නම් තමයි දක්‍ෂ අය මේ සේවයට බැ‍ඳෙන්නේ. වතාවක් මේ ගැන හරිශ්චන්ද්‍ර විජේතුංග මහත්තයා කරුණු කිව්ව අවස්ථාවකුත් මට මතක් වෙනවා. මේ සේවයට ලැබෙන පඩි මදි හින්දා දක්‍ෂ අය හැමෝම වගේ වෙනත් රැකියා හොයාගෙන යනවා කියලා එතුමා පෙන්නලා දුන්නා. රටේ අනාගතය නිර්මාණය කරන්නේ අධ්‍යාපනය විසින්. ඉතින් ඒ සඳහා කැපවෙන්න පුළුවන්, හැකියාව තියෙන දක්‍ෂ ගුරුවරු අපිට ඕන. මේ කියන්නේ දැන් ඉන්න හැම ගුරුවරයෙක් ම අදක්‍ෂ අය කියන එක නම් නෙවෙයි. අපිට හුඟක් දක්‍ෂ ගුරුවරු ඉන්නවා කියලා මම හිතනවා.

ගුරුවරුන්ට පඩි වැඩි කරනවා නම් මම පුද්ගලිකවත් කැමැතියි. මගේ තාත්තාත් ගුරුවරයෙක්. දැන් තාත්තා ජීවතුන් අතර නෑ. ඒත් අපේ පවුලට සම්බන්ධ ගුරුවරු මහ ගොඩක් ඉන්නවා. අපේ නැන්දලා මාමාලා අතර, ඒ අයගේ දරුවෝ අතර, ඒ අයගේ බෑනලා ලේලිලා අතර ගුරුවරු මහ ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අයගේ පඩි වැඩිවෙන එක ඉතාමත් හොඳ දෙයක්.

ඒත් දැන් තියෙන ආර්ථික වාතාවරණය ඇතුළේ මේ වැටුප් වැඩිකිරීම කරන්න පුළුවන් වැඩක් ද? රජයට මුදල් ලැබෙන්නේ බදු ආදායමෙන්. හොඳ බදු ආදායමක් උපදින්නේ රටේ ඉතාමත් ඉහළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් සිද්දවෙනවා නම් විතරයි. ඒත් දැන් එහෙම එකක් සිද්දවෙනවා ද?

පහුගිය කාලය පුරාම මේ රට පාලනය කරපු ආණ්ඩු හැම එකක්ම වගේ මහ විශාල අය-වැය හිඟයක් තියාගෙන තමයි තමන්ගේ වැඩ කළේ. මේ ප්‍රශ්නය විසඳගන්න ආණ්ඩුවලට බෑ. මේ සඳහා විසඳුමක් යෝජනා කරන්න ඕන මේ රටේ ඉන්න උගත් පිරිස විසින්. ඒත් එහෙම කරන පාටකුත් නෑ. ඉතින් අපේ රටේ ආර්ථිකය දවසින් දවස මහා ප්‍රපාතයකට ඇද වැටෙනවා. දැන් තරමක කාලයක ඉඳලා පුනරාවර්තන වියදම පියවාගන්න පුළුවන් තරම්වත් ආණ්ඩුවේ ආදායම ප්‍රමාණවත් නෑ.

දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ ආණ්ඩුව දුවන්නේ ණයවලින්. මේ වෙද්දි රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් විදිහට 101 ක් විතර වෙලා. ඉතින් මෙහෙම තියෙද්දි ආණ්ඩුව සේවක පඩි ගෙවන්නේ කොහොම ද? ආණ්ඩුවේ පුනරාවර්තන වියදමින් සියයට 80 කට වඩා ප්‍රමාණයක් සේවක පඩි. ඉතින් පිළිවෙළට පඩි ගෙවන්න නම් ඉවරයක් නැතුව සල්ලි අච්චු ගහන්න වෙනවා. දැනටත් එහෙම කරනවා කියලා තමයි කියන්නේ. මේක මහ භයානක තත්ත්වයක්.

මේ වාතාවරණය යටතේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළොත් මොකද වෙන්නේ? තව තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. එහෙම වුනොත් අධි-උද්ධමන (Hyperinflation) තත්ත්වයක් ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. සිම්බාබ්වේ ඇතිවෙච්ච අධි-උද්ධමන තත්ත්වයට අදාළ කතන්දර ගොඩක් පහුගිය දවස්වල මූණු පොතේ සංසරණය වුනා. මේ අදහස් සංස්රණය කරපු අය කිව්වේ ඇත්ත කියලා මම දන්නවා. මේක සෙල්ලමක් නෙවෙයි.

සමහර භාණ්ඩවල මිල අපිට නොපෙනීම අහස උසට නගින්න පටන් ඇරගෙන. මීට මාස අටකට කලින් මම රුපියල් 16,000 ක් දීලා වානේ පොත් අල්මාරියක් ගත්තා. දැන් ඒ අල්මාරියේ මිල රුපියල් 24,000 යි. ගෙවල් හදන්න ගන්න කම්බියක මිල රුපියල් 500 ඉඳලා රුපියල් 900 දක්වා ඉහළ ගිහිල්ලා කියලා මගේ යාළුවෙක් කිව්වා. දැනට මේ මිල වැඩිවීම වෙන්නේ අපිට නිතර පේන්නේ නැති තැන්වල. තව ටික දවසකින් මේක අපේ එදිනෙදා අවශ්‍යතාවලටත් අදාළ වුනොත් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න.

එහෙම වුනොත් ඔය වැඩි කරගන්න පඩි විතරක් නෙවෙයි බැංකුවල තියෙන සල්ලි පවා නිකම්ම නිකම් ඉලක්කම් බවට පත්වෙනවා. ඉතින් අපි මේ ගැන හිතන්න ඕන.

“අපි පටි තදකර ගන්න කලින් දේශපාලනඥයෝ එහෙම කරන්න ඕන නේ ද?” කියලා කාට හරි කියන්න පුළුවන්. “උන් වාහන ගෙන්නද්දි අපිට පටි තද කරගන්න කියන්නේ ඇයි?” කියලත් ඒ අය අහන්න පුළුවන්.

දැන් අපි එහෙම කිව්වා කියලා, අපි බැන්නා කියලා දේශපාලනඥයෝ පටි තදකර ගනියි ද? එහෙම කරන නායකයෝ ඉන්නවා නම් මෙහෙම වෙනවා ද? ප්‍රශ්නය පාලනය කරගන්න බැරි වුනොත් ඔය සෙට් එක මාරුවෙලා යන්න යයි. අපි යන්නේ කොහෙද? අන්තිමට දුක් විඳින්න වෙන්නේ අපිට ම නෙවෙයි ද? අපි අපේ පණ බේරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අපි හිතන්න ඕන. දේශපාලනඥයෝ ඇවිල්ලා අපේ පණ බේරයි කියලා හිතනවා නම් ඒක ලොකු හීනයක්.

ඒ හින්දා මේ වෙලාවේ අපි කරන්න ඕන මොනවා ද කියලා අපි අපිම හිතලා බලමු.

 වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *