Editorial

ගොඨා සිවල් සමාජයේ රෙදි ගැලෙව්වේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටමයි

Summary

ඇත්තෙන්ම ගොඨාභය රාජපක්ෂ කාගේවත් රෙදි ගලවුයේ නැත. ඔහු කර ඇත්තේ රෙදි නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඩෙඟා නටපු සිවිල් සමාජය ඉදිරිපිට කැඩපතක් තැබීම පමණයි.

  • Save

මැතිවරණය කාලයේදීද , අනතුරුවද සිවල් සමාජය ගොඨාභය රාජපක්ෂ හඳුනාගත්ත, හඳුන්වල දෙන ආකාරයක් තිබිණ. අදටත් එලෙසමයි.  

‘ඒකාධිපතියෙක්. මිලිටරිකාරයෙක්. යුධවාදියෙක්. ප්රාතන්ත්‍ර විරෝධියෙක්. දරුණු බුවෙක්.’

දැන් මේ දරුණු පුද්ගලයා පුදුමාකාර තීන්දුවකට එළැඹ ඇති බව වාර්තා වේ. ඔහු සිවල් සමාජයේ රෙදි ගලවා ඇත. එයද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිද්ධ කිරීම විශේෂ කරුණකි.

එය සිදුවූයේ මෙලෙසයි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ‘ව්‍යවස්ථා මණ්ඩලය’ අහෝසි වී ඇති බැවින් ඉහල තනතුරු විෂයෙහි සිවල් සමාජයේ අදහස් විමසීමක් නොමැත.  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසිරුවන් ලෙස හය දෙනෙක්ගේ නම් ජනපති විසින් යෝජනා කර ඇත්තේ මේ තත්ත්වය තුලය. හය දෙනා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිටිති. විධායක බලතල භාවිතා කොට ජ්‍යෙෂ්ඨත්වය විහිළුවක් කරමින් කණිෂ්ටයින්ට උසස්වීම් ලබා දීමට කටයුතු කර නැත. නීතිපති දෙපාර්තුමේන්තුවේ කිසිවෙකු යොජානා කරද නැත. අධිකරණයේ ස්වාධීනත්වය උදෙසාම මෙම දරුණු ඒකාධිපතිවරයා කටයුතු කර ඇත.  

ඉතින් මෙයින් සිවල් සමාජයේ රෙදි ගැලවෙන්නේ කෙසේද?

මෙලෙසයි. 17 වැනි සහ 19 වැනි සංශෝධන වලින් ස්වාධීන කොමිසම් සභා ස්ථාපිත කරන ලද්දී විධායක ජනපති ධූරයේ බලතල සීමා කිරීමටය. විධායක බලතල අයුතු ලෙස භාවිතා කිරීම වැළකීමටය. පොලීසියේ, අධිකරණයේ, මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටය.

ගොඨා නම් වූ මේ දරුණු ඒකාධිපතිවරයා, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලත් බලතල භාවිතා කර ඇත්තේ සිවල් සමාජය හරි ඉහලින් වර්ණනා කළ ව්‍යවස්ථා මණ්ඩලය නොකෙරූ දෙයකි.  යෝජනා කර ඇත්තේ පක්ෂයට ලැදි අය නොවේ. යාලුවෝද නොවේ. නීතීඥවරුන් ලෙස කටයුතු කළ අවධියක තමා වෙනුවෙන් නඩු කතාකළ අයද නොවේ. ජ්‍යෙෂ්ඨ විනිසිරුවන්ම වේ.

සිවල් සමාජය වර්ණනා කළ ව්‍යවස්ථා මණ්ඩලයේ නෝනාවරු මහත්වරු යහපාලන ආණ්ඩුව යටතේ කලේ කුමක්ද? මුලින්ම එම මණ්ඩලයේ සංයුතිය සලකා බලමු. ව්‍යවස්ථා මණ්ඩලයේ ‘සිවල් සමාජ’ සභිකයින් සියලු දෙනාම පැවති ආණ්ඩුවේ හිතවතුන්. එම දේශපාලන කඳවුරේ අය. ඔවුන් එකතු වී විවිධ ‘ස්වාධීන’ කොමිසම් සභාවලට පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන හිතවතුන්. 2019 නොවැම්බර් මැතිවරණ පරාජයෙන් පසු සමහර අය තනතුරු වලින් ඉල්ලා අස්වීමෙන්ද මෙය ඔප්පු විය. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය ගැන ගැඹුරු හඬින් නන්  දෙඩවූ ඔවුන් කළේ යහපාලන ආණ්ඩුවේ ගජ මිතුරන් ඒ ඒ කොමිසම් සභා වලට පත් කිරීමයි. අධිකරණ පත්වීම් වලදී ද එලෙසමයි.  

සිවල් සමාජය දැඩි ලෙස අප්‍රිය කරන, ‘ඒකාධිපතියා’ කර ඇත්තේ ව්‍යවස්ථා මණ්ඩලයේ ඔවුන්ගේ සගයින් නොකරපු දෙය මයි: අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම.

ඇත්තෙන්ම ගොඨාභය රාජපක්ෂ කාගේවත් රෙදි ගලවුයේ නැත. ඔහු කර ඇත්තේ රෙදි නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඩෙඟා නටපු සිවිල් සමාජය ඉදිරිපිට කැඩපතක් තැබීම පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap