Opinion

චීනාට එරෙහිව සුද්දා වෙනුවෙන් අපේ දෙවන නිදහස් අරගලය

Summary

සුද්දාගේ කෙක්කෙන් බැරි නම් චීන කොක්කෙන් සුවය ලැබීමේ වරම චීනාට ඇත. එහෙත් ලංකාවේ සුවය ලැබීමට හැක්කේ සුද්දාගේ කොක්කෙන් පමණි.

චීනා සුද්දාගේ සමාජවාදයෙන් ද වැඩ ගත්තේය. චීනා සුද්දාගේ ධනවාදයෙන් ද වැඩගත්තේය. අපි සමාජවාදය නිසා තියෙන දේත් නැති කරගත්තෙමු. ධනවාදය නිසා ද එසේම කරගත්තෙමු.

මාඕ සමාජවාදයෙන් වැඩ ගත්තේය. ඩෙං සියාවෝ ධනවාදයෙන් වැඩගත්තේය.

චීනා සුද්දාගේ එන්නතෙන් ද වැඩගත්තේය. එන්නතට වෙළදපොළ හදන්නට සුද්දා බොහෝ සේ මහන්සි විය. අපේ රටේ දොස්තරලා ද බොහෝ සේ මහන්සි විය. කෙසේවුවත් ඒ චීනාගේ එන්නතට වෙළදපොළ හදන්නට නොවේ. සුද්දාගේ එන්නතට වෙළඳපොළ හදන්නටය. ඒත් අවසානයට සුද්දා හැදූ එන්තත් වෙළදපොළේ වෙළදපොළේ විකිණෙන්නේ චීනාගේ එන්නතය. සුද්දා හැදූ පීසීආර් වෙළදපොළට ද එය සිදුවිය. සුද්දා හැදූ ඔක්සිජන් වෙළදපොළේ ද විකිණෙන්නේ චීන ඔක්සිජන්ය.

මෙය එන්නත හෝ පීසීආර් සම්බන්ධයෙන් පමණක් සුද්දාට මුහුණ පාන්නට සිදුව ඇති ප්‍රශ්නයක් නොවේ. සුද්දා හැදූ යූටියුබ් වෙළදපොළේ ටික්ටොක් ද විකිණෙන්නට පටන් ගත්තේය. අන්තිමට තත්වය බැරෑරුම් වු නිසා ට්‍රම්ප් ටික්ටොක් තහනම් කළේය. අද සිදුවන්නේ සුද්දා බොහෝ සේ මහන්සි වී වෙළදපොළ හැදීම සහ ඉන්පසුව ඒ වෙළදපොලේ චීන බඩු විකිණීමය.

මා ඕ සේතුං නං චීනා මාක්ස්වාදයට මුල් තැන දුන් නමුත් චීනයේ දේශීය වෙදකම පැත්තකට දැම්මේ නැත. ඒ් නිසා චීනයේ ඉස්පිරිතාලවල සුද්දාගේ වෙදකම සමග චීනාගේ වෙදකමත් ඇත. ඒ නිසා සුද්දාගේ කෙක්කෙන් බැරි නම් චීන කොක්කෙන් සුවය ලැබීමේ වරම චීනාට ඇත. එහෙත් ලංකාවේ සුවය ලැබීමට හැක්කේ සුද්දාගේ කොක්කෙන් පමණි. දේශීය බෙහෙත් ඉස්පිරිතාලවල කුස්සියේවත් නැත. මෙය උත්තරීතර අධිකරණයේ නොව උත්තරීතර බටහිර වෛද්‍යවරුන්ගේ තීන්දුවකි.

චීන බඩු ලෝකය පුරා විකිණෙන නමුත් සුද්දා හදන හැම දෙයක්ම චීනා ගන්නේ නැත. අපි වැළදගෙන ඇති පේස්බුක් ආගම චීනය ගත්තේ නැත. චීනා තමන්ගේ භාවිතයට තමන්ගේ සමාජ මාධ්‍ය ජාලයක් චීනයේ හදාගත්තේය. පේස්බුක් ඉංග්‍රීසි නම අපට ප්‍රශ්නයක් නොවුණ චීන අකුරු අපට අරහංය.

අපට දුක අපේ තැන චීනා හිමිකරගැනීම නොවේ සුද්දාට හිමි තැන චීනා හිමිකරගැනීමය. අප අප වෙනුවෙන් කෙසේ වුවත් සුද්දා වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන්නට සූදානම් ය. අපට අප නැතිවී ගොස් බොහෝ කල්ය. ඒ වෙනුවට ඒ තැන ඉන්නා සුද්දා නැතිකරගැනීමට අපට කොහෙත්ම නොහැක. ඒ නිසා චීනා සමග අපේ ගැටුම මාරාන්තිකය. සුද්දා වෙනුවෙන් චීනාට එරෙහිව අපේ දෙවන නිදහස් අරගලය දැන් ඇරඹී තිබේ.

සුද්දා ලංකාවේ කොටි ප්‍රශ්නය හැදුවේ ද සුද්දාට වාසි ගන්නටය. සුද්දාට මේ රටේ ඇති ඉඩකඩ වැඩිකරගැනීමටය. එහෙත් ඉන් වූයේ ද සුද්දාට තිබූ තැනත් අහිමිවී ඒ තැනට චීනා රිංගීමය. කොටි ආයුධවලට මුහුණ දෙන්නට ආයුධ ගැනීමට සිදුවූයේ චීනයෙනි. අන්තිමට සුද්දා හැදූ යුද්ධය නිසා ලංකාව චීනාගේ ආයුධ වෙළදපොලක් බවට පත්විය. සුද්දා හැදූ හිලෙන් චීනා රිංගා ගත්තේය. අවසානයේ හම්බන්තොට වරායත් පෝට්සිටියත් අයිති කරගත්තේය. ලෝකය අල්ලාගන්නට සිතා සුද්දා කරන හැම දෙයක් ම චීනාගේ වාසියට පෙරළෙන ස්වභාවයක් ලෝකයේ තිබේ.

සුද්දාට දැන් දුවන්නට තැනක් නැත. ඉස්සරහට දිව්වොත් පසුපසින් ඇවිත් චීනය සුද්දාව පසුකර යයි. පසුපසට ගියත් ඒත් ඇත්තේ චීනයයි. චීනය බොහෝදුරට සම්ප්‍රදායික දැනුම හා සංස්කෘතිය ආරක්ෂා වී ඇති හෙයිනි.

ඉස්සර කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලක් තිබිණි. ජේවීපීය බිහිවුණේ එයිනි. ජේවීපීයේ සම්භවයට ද චීනය දායක වී ඇත්තේ එලෙසිනි.

කෙසේවුවත් චීනා ටිබෙටයේ බුද්ධාගමට කළ දේ ගැන නම් මගේ හිතේ කහටක් ඇත. කෙසේවුවත් චීනා කළ ඒ අගනා මෙහෙවර ගැන අපේ රටේ නිරාගමිකයන්ට සතුටුවීමට හැකිය.

කෙසේවුවත්චීනා සුද්දාට වඩා මෝඩය. සුද්දා පෝට් සිටිය වැනි මුහුද ගොඩකර අමුතුවෙන් රටවල් හදන්නට උත්සාහ කළේ නැත. තිබෙන දූපත් හා මහාද්වීප යටත් කරගත්තේය. එහෙත් චීනා මුහුදගොඩකර අලුතෙන් දූපත් හදා තමන් සතුකරගනියි. ඒ අතින් චීනා සුද්දාට වඩා මෝඩය.

චීනාට සුද්දාට වඩා චීනා විශ්වාසය. ඒ නිසා චීනා චීනාගේ වැඩත් කෙළ් චීනාට ඕනෑ විදිහටය. සුද්දාගේ වැඩත් කළේ චීනාට ඕනෑ විදිහටය. අපට අපට වඩා සුද්දා විශ්වාසය. ඒ නිසා අපි අපේ වැඩත් කළේ සුද්දාට ඕනෑ විදිහටය. අපි සුද්දාගේ වැඩත් කළේ සුද්දාට ඕනෑ විදිහටය.

අපට සුද්දාගෙන් ද චීනාගෙන් ද ඉගෙනගන්නට බොහෝ දෑ තිබේ. ඒත්ඒ වෙනුවට අපි කරන්නේ සුද්දාවද චීනාවද අනුකරණය කිරීමය. ඉගෙන ගැනීම වෙනුවට අනුකරණය කිරීම බුද්ධිය හා ප්‍රඥාව ලෙස අපි සිතා සිටිමු. ඇත්තට අද අපේ බුද්ධිය අනුකරණය හා දීනත්වයයි. ඒ නිසා සුද්දාට එරෙහිව අපේ නිදහස නොව සුද්දාට අපේ ඇති යටත්වීම තහවුරු කිරීම චීනාට එරෙහි අපේ ක්‍රියාකාරීත්වයේ පදනම වී ඇත. එය අවසන් වනු ඇත්තේ සුද්දා ද චීනාට යට වීමෙනි. ඒ සමග අප ද චීනාට යටවීමෙනි.

Leave a Reply

Your email address will not be published.