Opinion

චීනා හදන මතවාද අපේ රටට එන්නේ කවදාද?

Summary

අපට ඕනෑ ඕනෑ විදිහට පාවිච්චි කළ හැකි, කුඩා ළමුන්ට සෙල්ලම් බඩු මෙන් වැඩිහිටියන්ට භාවිතා කළ හැකි ඉතා විචිත්‍රවත් අලංකාර සිත්ගන්නා දෙයක් සුද්දා අපට හදා දී තිබේ. ඒ මතවාද ය. ඒවායින් වට වූ ඉතා සුන්දර වූ අලංකාර වූ විචිත්‍රවත් වූ ලෝකයක අපි ජිවත් වෙමු.

  • Save

අපි බොහෝ දෙනා යම් මතවාදයක් නියෝජයන කරන්නෙමු. එහෙත් එසේ ඒ මතවාදය නියෝජනය කරන්නේ ඒ මතවාදය සාක්ෂාත් කිරීම උදෙසා නොවේ. ඒ මතවාදය මගින් අප ගෙවනු ලබන වර්තමාන ජිවිතය සාධාරණීකරණය කරනු ලබන නිසා ය. ම

මතවාදයක් විසින් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත අරමුණු තිබේ. එහෙත් ඒ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා අප ක්‍රියාත්මක නොවන්නෙමු. ඒ වෙනුවට සිදුවන්නේ අප දැනට ගෙවනු ලබන ජීවිතය සාධාරණීකරනය කරගැනීම උදෙසා මතවාදය පාවිච්චි කිරීම පමණි.

අප යම් යම් හේතු නිසා අද අප ගෙවන ජීවිත තත්වයට පත්ව සිටිමු. එය වෙනස් කරගැනීමේ මාර්ගයක් ද අපට නොපෙනේ. නොඑසේනම් මේ වන විට ඒ ජීවිතය වෙනස් කරගැනීම උදෙසා වන අධිෂ්ඨානය හෝ අවශ්‍යතාව අප තුළ ඉතිරි වී නැත. එවිට අපට ඉතිරිවන විකල්පයක් තිබේ. එනම් තමන් මේ ගෙවන්නේ, තමන් මේ ජීවත් වන්නේ ජීවත් විය යුතු හොඳම විදිහ බව අපට පවසන මතවාදයක් තෝරාගැනීමය. හදාගැනීමය. සංස්කරණය කරගැනීමය. එවිට වැඩි මහන්සියකින් තොරව මෙන් ම අඩු සිත් රිදවාගැනීම්වලින් යුතුව අප මේ ගෙවන ජීවිතය ම ගෙවීමේ හැකියාව අපට ලැබේ. මතවාද මිනිසාට ‘මෛත්‍රී’ කරන්නේ ඒ අර්ථයෙනි. මතවාද සියලු සත්වයන් දුකින් මුදවාලන්නේ ඒ් අර්ථයෙනි. මතවාද සියලු සත්වයන් සුවපත් කරන්නේ ඒ අර්ථයෙනි. මතවාද මගින් අප ගෙවන ජීවිතයට යම් අස්වැසිල්ලක් සැනසිල්ලක් උදාකරනු ලැබේ. අප මතවාද සමග තදින් බැදෙන්නේ ද ඒ නිසා ය. අපේ ජීවිතයේ අස්වැසිල්ල අපේ මතවාදයයි. අපේ ජීවිතයේ සැනසීම අපේ මතවාදයයි.

මතවාද දරන්නන් අතර දරුණු වාදවිවාද ඇතිවීමට ද මෙය හේතුවක් විය හැකිය. එහිදි විවිධ මතවාද දරන්නන් නැගී සිටින්නේ ස්වකීය මතවාදය ඔප්පු කිරීමට වඩා තමන් ගෙවන ජීවිතය සාධාරණීකරණය කරගැනීමටය. එය මාරාන්තික වාදයක් බවට පත්වන්නේ ඒ නිසා ය. මතවාදය පැරදීම යනු ජීවිතයේ ද තමා පරාජිතයෙකු බවට පත්වීමකි. තමන් ගෙවනු ලබන ජීවිතය වෙනස් කරගැනීමට ශක්තියක් තමා තුළ ඉතිරි ව නැති බව පිළිගැනීමකි.

මතවාදය බිඳවැටීම යනු ජීවිතය බිඳවැටීමකි. මතවාදය වෙනුවෙන් සමහර විට උමතුවෙන් මෙන් සටන් කරන්නේ ඒ නිසා ය.

ඇත්තටම එසේ මතවාද වෙනුවෙන් සටන් කරන්නට අවශ්‍යතාවක් නැත. මෙතන ඇත්තේ තමන් ගෙවන ජීවිතය පිළිගැනීමට නිරහංකාර නොවීම පිළිබද ගැටලුවකි. කිසිදු ජීවිතයක් හෝ සාර්ථක නැත. ජයග්‍රාහී නැත. ඒ බුදු බණයි. ඒ නිසා තමන්ගේ ජීවිතයේ තමන් දකින අඩුපාඩු මතවාදයක් මගින් වසා ගැනීම නොඑසේනම් ඒවා ජයග්‍රහණ බවට පත්කරගැනීම අවශ්‍ය නොවේ.

මතවාද වෙනුවෙන් ක්‍රියාත්මක වූ කාල ද තිබිණි. ඒ තරුණා කාලයයි. ඒ කාලයේ අපි මතවාද වෙනුවෙන් පෝස්ටර් ඇලවීම, පිකටින් කිරීම වැනි විවිධ ක්‍රියාකාරකම්වල යෙදුනෙමු. සමහර විට ජීවිතය ද පූජා කළෙමු. එහෙත් තරුණ වීය පසු කර ජීවත් වන්නට සිදුවුවහොත් ඒ යුගය අනිවාර්යෙන් අවසන් වේ. ඉන්පසුව අපට මතවාද අවශ්‍ය වන්නේ ඒ මතවාද සාක්ෂාත් කරගැනීම උදෙසා නොව අප ගෙවනු ලබන ජීවිතය සාධාරණීකරණය කරගැනීම උදෙසා පමණි. ඒ උදෙසා අපි තරුණයන් ද කඩේ යවමු. එනම් අපේ මතවාද පිළිගන්නා තරුණ පිරිසක් සිටීමෙන් අපට අපේ මතවාද නිවැරදිය යන මායාවක් ද ඇතිවන හෙයිනි. ඒ නිසා අප ගෙවන ජීවිත වඩා විශ්වාසයෙන් සාධාරණීකරණය කරගැනීමේ හැකියාව අපට ලැබේ. තරුණ පරපුර අප ගෙවන ජීවිතයේ ගොදුරක් බවට පත්වන්නේ එසේය.

අනෙක් අතට මතවාද තුළ ඇති දෑ කිසිදා සාක්ෂාත් කරගත නොහැක. ඒ මතවාදවල ස්වභාවයයි. කිසිවක් සාක්ෂාත් කරගැනීමෙන් තොරව තමන් ගෙවන ජීවිතය සාධාරණීකරනය කරගැනීමට මතවාද යොදාගැනීමට හැකිවන්නේ ද ඒ නිසාය. තමන් තුළ සාක්ෂාත් කරගත හැකි නිවන, ධර්මය මගින් පමණක් දක්වනු ලැබේ. නිවන පසුපස යාම මතවාද පසුපස යාමට වඩා මඳක් හෝ අර්ථවත් වීමට ඉඩ ඇත්තේ ඒ නිසා ය. දෙවියන් වහන්සේ ද සාක්ෂාත් කිරීමට නොහැක. විශ්වාස කළ යුතුය. එහෙත් දොස්තයෙවස්කි දක්වන්නට හදන්නේ දෙවියන් වහන්සේ තමන් තුළ සාක්ෂාත් කරගත යුතුය වැනි අදහසක් විය හැකිය යන්න එතුමාගේ කෘති කියවීමේ දී මා තුළ ඇති වූ අදහසකි. කෙසේවුවත් සෙසු ආගම් ගැන මගේ දැනුම දුර්වලය.

අනෙක් අතට අප දරන මතවාදවල පොඩි පොඩි වෙනස්කම් ඇත. ඒ අප ගෙවන ජීවිතවල ඇති සුළු සුළු වෙනස්කම් ඇති නිසාය. ඒ සුළු සුළු වෙනස්කම්වලට අනුව අපි අපේ මතවාදවලද සුළු සුළු වෙනස්කම් ඇතිකරගනිමු. ඒ අප ගෙවන ජීවිතය සාධාරණීකරගැනීම උදෙසාය. එකම මතවාදය දරන අය අතර වුව ද සුළු සුළු මතවාදී වෙනස්කම් ඇති වන්නේ ඒ නිසාය. මතවාදය යනු අනුන් වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් පවතින දෙයක් බව ද මේ අනුව පැහැදිලි වේ. එනම් මතවාද පරාර්ථය නොව ආත්මාර්ථය මත පදනම් වේ. මතවාද එතරම් ම ජනප්‍රිය ද ඒ නිසා ය. එනම් මතවාද මගින් අප තුළ පවතින ආත්මාර්ථයට අභියෝග නොකරන බැවිනි.

කෙසේවුවත් මතවාද මතුපිටින් පමණක් පරිහරණය කරන අය ද සිටිති. කියන්නන් වාලේ කියවීමට වඩා ඊට වඩා මතවාද ජීවිතයට ළංකර නොගැනීමට ඔවුහු පරිස්සම් වෙති. එනම් ඔවුන් මතවාද පාවිච්චි කරන්නේ හදවතේ රුධිරය හා සමානව නොම කමිසයක් පරිද්දෙනි. ඒ කමිසය හරි නොගියොත් වෙන කමිසයක් පාවිච්චි කිරීමට හැකි බව ද ඔවුහු දනිති. එහෙත් එකම කමිසිය හෝ එකම ස්ටයිල් එකේ කමිසය දිගටම ඇදීමට ද ඔවුහු කැමැත්තක් දක්වති. එය ඔවුන්ගේ විනෝදාංශයයි. ජිවිතේ විලාසිතාවයි. මෙවැනන්න් ජීවිතය සාර්ථක කරගත් අය අතර එනම් ධනවතුන් අතර දැකගත හැකිය.

තවත් අය මතවාද පරිහරණය කරන්නේ ඒවා ඉගෙන ගෙන නොවේ. ඔවුන් ද අවංකය. මතවාද නිසා ඔවුන්ගේ ජීවිත ද එතරම් අසාර්ථක වීමක් සිදු නොවේ. එනම් ඔවුන්ගේ ජීවිතය තුළ ම පවතින ගුණාංග සඳහා ඔවුන් මතවාද ආදේශ කරගනිති. එනම් තමන්ගේ ජීවිතය තුළ ම පරාර්ථය ඇති අය එය මාක්ස්වාදය යැයි සිතති. එයට වඩා මාක්ස්වාදය ගැන දන්නා දෙයක් ඔවුන් තුළ නැත. කෙසේවුවත් ඔවුන් මාක්ස්වාදය වෙනුවෙන් සමහර විට යුද වැදීමට වුවත් සූදානම් ය. තමන් තුළ පවත්නා පරාර්ථකාමී හැඟීම නිවැරදි බව ඔවුන් දන්නා හෙයිනි. මෙවැන්නන් ඉතා දුර්ලභය. ඔවුන් අහිංසක මෝඩ මිනිසුන්ය. ඔවුන්ගේ ජීවිත ද මතවාද නිසා අසාර්ථක නොවේ.

ඊළග කරුණ මතවාදී ගැටුම් හෝ තර්ක විතර්ක හේතුවෙන් තමන්ගේ මතවාදී ස්ථාවරය වෙනස් වීමට ඇති ඉඩ ද ඉතා අඩු බවය. එයට හේතුව එය මතවාදයට වඩා තමන් ගෙවනු ලබන ජීවිතය එක්ක රැඳී තිබීමය. එසේ මතවාදී ගැටුම්වල දී වෙනස් නොවුණු බොහෝ අයගේ මතවාද හදිසියේ වෙනස් ව ඇති අයුරු සමහර විට දැකිය හැකිය. ඒ ඔවුන්ගේ ජීවිත වෙනස් ව ඇති නිසා ය. මේ අනුව අප මතවාද පාවිච්චි කරන්නේ ද අපට ඕනෑ විදිහටය.

අපට ඕනෑ ඕනෑ විදිහට පාවිච්චි කළ හැකි, කුඩා ළමුන්ට සෙල්ලම් බඩු මෙන් වැඩිහිටියන්ට භාවිතා කළ හැකි ඉතා විචිත්‍රවත් අලංකාර සිත්ගන්නා දෙයක් සුද්දා අපට හදා දී තිබේ. ඒ මතවාද ය. ඒවායින් වට වූ ඉතා සුන්දර වූ අලංකාර වූ විචිත්‍රවත් වූ ලෝකයක අපි ජිවත් වෙමු. අපේ ජීවිතයේ ප්‍රිතිය ප්‍රමෝදය උත්සවය අර්ථය ජීවය මතවාදයි. නොකා නොබී සිටිය හැක. එහෙත් මතවාද නැතිව නොහැක. හුස්ම ගෙන සිටිය නොහැක. එහෙත් මතවාද නොමැතිව නොහැක. සුද්දා දක්ෂය. චීනා ද මතවාද හදන්නට පටන්ගත් දාට සුද්දාට ද වඩා දක්ෂ වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap