Opinion

චොකා මල්ලිලාගේ සනත් නිශාන්තලාගේ නීතිය සහ වැරදි පාරට හරවපු තුනෙන් දෙකේ බස් එක

Summary

එක පැත්තකින් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසන කොට තවත් පැත්තකින් මේ ආණ්ඩුවෙම දේශපාලනඥයන්ගෙ අනුදැනුමෙන් මේ රටේ ජාතික උරුමයන්, වනාන්තර සහ තෙත් බිම් විනාශ කෙරෙනවා.

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදියට දිවුරුම් දීපු ප්‍රවෘත්තිය ජාත්‍යන්තර මාධ්‍යවලින් ලොකුවට අරගෙන යනවා.

ලෝකයේ හොඳ නරක කියන දේවල් පොදුවෙ ගත්තම සාපේක්ෂ වුණත් සාමාන්‍යයෙන් ශීලාචාරකම අගයන කිසිම රටක් සිදු නොකරන දෙයක් තමයි මිනීමැරුමක් නිසා මරණ දඬුවමක් නියම වූ අපරාධකරුවෙක් පාර්ලිමේන්තුවට ගෙනත් මන්ත්‍රී කෙනෙක් කරන එක. මේ ලෝක ඉතිහාසයේ මෙහෙම දෙයක් සිදු වුණු පළමු වෙනි වතාව. මේකත් සමග ලෝකයට යන එක ම පණිවිඩය තමයි ලංකාව කියන්නෙ නීතියක් යුක්තියක් නැති, අශීලාචාර රටක් කියන එක. ඒ කියන්නෙ ලංකාව ලෝක සිතියමේ ගර්හිත රාජ්‍යයක් බවට පත් කරන්න අවශ්‍ය හැමදේ ම මේ ආණ්ඩුව කරමින් ඉන්නවා.

නීතියෙන් දඬුවම් නියම වූ අපරාධකරුවෙක් ඒ අපරාධයේ ස්වභාවය අනුව නිශ්චිත කාල සීමාවක් යන තුරු පොදු සමාජයෙන් වෙන් කොට තබන්නේ ඔහුගේ අපරාධකාරී මානසිකත්වය සමාජයේ අන් අයට තර්ජනයක් විය හැකි නිසා. ඒ අනුව අපරාධකරුවන් ඒ සඳහා ම විශේෂයෙන් වෙන් වුණු නිලධාරීන් පිරිසකගේ අධීක්ෂණය ‍යටතේ නිශ්චිත කාලසටහනකට අනුව ඒ දඬුවම් කාල සීමාව ගෙවනවා. එතකොට මිනිහෙකුට කරන්න පුළුවන් දරුණුම අපරාධය වන තවත් මිනිසෙකු මරා දැමීම කියන වරදට ලැබෙන්න තියෙන උපරිම දඬුවම ලැබුණු කෙනෙක් අද රටේ නීති සම්පාදකයෙකු විදියට දිවුරුම් දීලා තියනවා. මේක නිවැරදි කරන්න බැරි විදියෙ අවුලක්.

මීට ටික වෙලාවකට කලින් පාර්ලිමේන්තුවේ කතා කරපු විපක්ෂ නායකතුමා කථානායකවරයාගෙන් ඇහුවෙ ප්‍රේමලාල් ජයසේකරට දිවුරුම් දෙන්න ඉඩ දීලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 වැනි ව්‍යවස්ථා උල්ලංඝණය කළේ ඇයි ද කියලයි. විශේෂයෙන් ම 80 දශකයේ දී හිටපු කථානායක බාකීර් මාකාර් මැතිතුමා මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් දී තිබිය දී කථානායකවරයා මේ වෙලාවේ අත්තනෝමතිකව ක්‍රියා කළේ ඇයි ද කියන ප්‍රශ්නය ඔහු කෙළින් ම ඇහුවා. නමුත් ඒකට කථානායකවරයා දුන්නේ ඉතා ම දියාරු උත්තරයක්. අධිකරණයෙන් ලැබුණු තීන්දුවට අනුව තමන් ක්‍රියා කළා මිස ඒ ගැන වැඩි වග විභාගයක් කරන්න නොගිය බව කථානායකවරයා ඒ වෙලාවේ කිව්වා. මේක කථානායකවරයෙකු සිදු නොකළ යුතු අන්දමේ වගකීම් විරහිත කතාවක්.

එක පැත්තකින් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසන කොට තවත් පැත්තකින් මේ ආණ්ඩුවෙම දේශපාලනඥයන්ගෙ අනුදැනුමෙන් මේ රටේ ජාතික උරුමයන්, වනාන්තර සහ තෙත් බිම් විනාශ කෙරෙනවා. ප්‍රේමලාල් ජයසෙකර ලා, සනත් නිශාන්තලා, එස්.එම්. චන්ද්‍රසේනලා අප්‍රිකාවේ ගෝත්‍ර නායකයො කරනවා වගේ තම තමන්ගෙ දිස්ත්‍රික්කවල වෙන ම පාලනයක් ගෙනියන්න උත්සාහ කරන බව පේනවා. ඒ අයගේ බල ප්‍රදේශවලට රැම්සා තෙත් බිම් සම්මුතීන්, යුනෙස්කෝ ලෝක උරුම වගේ දේවල් අදාළ වෙන්නෙ නෑ. පුත්තලමේ තියන එක ම නීතිය තමයි සනත් නිශාන්තගේ නීතිය. “එක රටක් එක නීතියක්” කෙසේ වෙතත් රටේ දැනට තියන නීතිවත් හරියට ක්‍රියාත්මක කරගන්න බැරි අසමත්, ෆේල්, විහිළුකාර ආණ්ඩුවක් දැන් මේ රට විශාල වියවුලකට තල්ලු කරමින් තියන බව පේනවා.

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ පොහොට්ටුවට  චන්දෙ දුන්නු නාගරික මධ්‍යම පංතිය දැකපු හීනයක් තමයි ගෝඨාභය මහත්තයගෙ ආණ්ඩුවක් යටතේ ලංකාව මාර පිලිවෙළ, නීට්, අලුත් සිස්ටම් තියෙන, ස්මාට් රටක් වෙයි කියලා. මේ හීනෙ තදට ම දැකපු අය පහුගිය මහමැතිවරණෙ දි පොහොට්ටුවට තුනෙන් දෙකක බලයකුත් දුන්නා. එහෙම දීලා අඩු තරමේ මැතිවරණ උණුසුමවත් යන්න කලින් ගෝත්‍රිකයන් ඉන්න රටකවත් සිදු නොවන විදියෙ දේවල් කරලා ලංකාව ලෝකය ඉදිරියේ විහිළුවක් බවට පත් කරන්න ආණ්ඩුව සමත් වෙලා තියනවා. ඡන්දෙට කලින් විද්වත් සංවිධාන හදාගෙන නිර්මාණය කරපු නාට්‍යය පට්ටපල් බොරුවක් කියලා ඇස් පනා පිට අනාවරණය වෙමින් පවතිනවා.

අපි මේ වෙලාවෙ අමතක කරන්න හොඳ නැති වැදගත් ම දේ තමයි තාමත් තුනෙන් දෙක ලැබිලා මාසයක් විතරයි කියන එක. යාන්තම් මාසයක් යද්දි ආණ්ඩුවට චන්දෙ දුන්න හෘදය සාක්ෂියක් තියන කෙනෙකුට පාරට බහින්න බැරි තත්ත්වයක් උදා වෙලා තියනවා නම් අවුරුදු පහක් මේ ආණ්ඩුව තිබුණොත් රට කොයි තරම් දුරට පාදඩකරණය වෙයිද කියන එක හිතාගන්න අමාරු නෑ. මේ නිසා ඇත්තට ම රටට යහපතක් කරන්න හිතාගෙන පොහොට්ටුවට ඡන්දෙ දුන්න අයට දැන් ආපහු හැරෙන්න වෙලාව ඇවිල්ලා තියනවා. විශේෂයෙන් ම බස් එකක් වැරදි පාරට හැරෙව්වට පස්සෙ කරන්න පුළුවන් හොඳ ම දේ තමයි ළඟම තියෙන හෝල්ට් එකෙන් බැහැගන්න එක.

[සමගි සංදේශය නමින් රසික ජයකොඩි මුහුණු පොතේ ලියන 21වන ලිපිය]

Leave a Reply

Your email address will not be published.