Opinion

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යනු කුමක්ද ? ජාතික වනෝද්‍යනයක් තුලට ගවයන් ඇතුලු කිරීමේ ඇති වරද කුමක්ද ?

Summary

අවම අවි බලයක්, පිරිස් බලයක් සහිතව ලංකාවේ සමස්ථ භූමි ප්‍රදේශයෙන් 14% ආරක්ෂා කරන, නමට කවි ගී නොලියවෙන මිනිස්සු ඉන්න තැනක් තමයි වනජීවි දෙපාර්තමේන්තුව.

ඡායාරූපය – රජීව් වැලිකල

1984 වර්ෂයේදි එතෙක් මෙතෙක් නොදුටු විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. අතිවිශාල භුමි ප්‍රමාණයක් මානවකේන්ද්‍රීය කටයුතු සඳහා යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අවතැන්වන වන සතුන් සඳහා (ප්‍රධාන ලෙසම අලි ඇතුන්) වාසභූමියක් ඇතිකිරීමට සහ තවත් සුවිශේෂි කාරණා ගනනාවක් හේතු කොටගෙන 1984 අගෝස්තු 07 දින අංක 309/4 දරණ ගැසට් පත්‍රය මඟින් ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්වෙනවා.

මේ ජාතික උද්‍යානයට ‘ජල ගැලුම් නිම්න’ ජාතික වනෝද්‍යානය කියලා කියන්නෙ මහවැලි ගඟ වාර්ශිකව සිදුවන පිටාර ගැලීමෙන් ඇතිවන ජලස්කන්ධය යොමුවෙන පිටාර තැන්න මේ ප්‍රදේශය වීම. මහවැලි ගඟේ පිටාර ජලය අවශෝෂණය කරගන්නා විල්ලු සහිත තෙත්බිම් පරිසර පද්ධතියක් මේ අවට දකින්න පුළුවන්.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ තිබෙන අනෙක් සුවිශේෂී කාර්යභාරය තමයි වස්ගමුව ජාතික උද්‍යානයේ සිට සෝමාවතිය දක්වා යන අලි කොරිඩෝව ලෙස ක්‍රියාත්මක වීම. අලි ඇතුන් කියන්නෙ නිරන්තරයෙන්ම සංචරණයේ යෙදෙමින් ආහාර සොයා යන සතුන්. සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් කැබලිකරණය වන වනාන්තර තුල සිරවීමෙන් වැලකීම සඳහා තමයි මේ වගේ කොරිඩෝවන් පිහිටන්නෙ විවිධ ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින්. සෝමාවතිය සහ වස්ගමුව අතර කොරිඩෝව මෙන්ම අංගමැඩිල්ල, මින්නේරිය, කවුඩුල්ල සහ ත්‍රිකෝණ මඩු රක්ශිතය ආදි රක්ශිත සහ ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් වන සතුන් හුවමාරු වන ඔවුනට හව්හරණක් සපයන ස්ථානය තමයි ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය.

දැන් ඔය ඊයේ දවසේ ඩෙඟා නටපු ඇමතියෙක් නැමැති මී ගවයා සහ පොළොන්නරුව පුදේශයේ තවත් ඇමතියෙක් කියාගන්න එළ ගවයෙක් උත්සහා කරනවා මේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුලින් (වනොද්‍යානය පිහිටුවීමට පෙර පැවති) දිවෙන මාර්ගයක් නැවත ආරම්භ කිරීමට. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරන්න ඇවිත් තමයි මී ගවයා වන ජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට මැරකම් පෙන්වන්නේ ගම්වාසීන්ට වනොද්‍යානය තුලට හරක් ඇතුලු කිරීමට ඉඩ ලබාදෙන්න කියාගෙන. පාර ගැන කතාව පැත්තකින් තියලා මේ හරක් කතාව පැහැදිලි කරොත් වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ 5 වන වගන්තියට අනුව අවසරයකින් තොරව ජාතික වනෝද්‍යානයක් තුලට ඇතුලු වීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත්වෙනවා. එම ආඥා පණතේම 6 (2) ( අ) වගන්තියට අනුව ජාතික වනොද්‍යානයකට සතුන් ඇතුලු කිරීම තහනම් වෙනවා. එම ආඥා පණතේම 6(3) වගන්තිය අනුව ‘කිසිම තැනැත්තෙකු විසින් ගෘහාශ්‍රිත සතෙකු යම් ජාතික රක්ශිත භූමියකට දක්කාගෙන යාම හෝ එබඳු සතෙකුට එවැනි භූමියක දඩාවතේ යාමට ඉඩදිම නොකල යුතුය ලෙස ප්‍රකාශ කෙරෙනවා. මෙි සියළු වරදවල් ඇප ලබා දිය නොහැකි සංඥේය වරදවල් (cognizable offences) ලෙස 67 වගන්තිය සඳහන් කරනවා.

දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගවයෙකු දිගේලි කිරීම වගේ ⁣සතෙක්ට කන්න බොන්න දෙන්න ඔය අක්කර දාස් ගානක් තියෙන ඉඩම් පොඩ්ඩක් භාවිතා කරාට ඔච්චර දඟලන්න දෙයක් තියෙනවාද ?, පණතකින් මොකටද ඔච්චර දඬුවම් දෙන්නෙ ඒ වගේ දේකට ? මාර නීතිනෙ මේවා වගේ ප්‍රශ්න. ඒකට උත්තරය මෙහෙම දෙන්නන්. ලංකාවේ හැම අභය භූමියකටම, ජාතික වනෝද්‍යානයකටම, රක්ශිතයකටම තියෙනවා නිර්ණායකයක් ඉසිලුම් ධාරිතාව කියලා (carrying capacity). ඉසිලුම් ධාරිතාව සරලව විස්තර කරොත් ඒකෙන් කියවෙන්නේ යම්කිසි භූමි ප්‍රමාණයක් හායනයට ලක්නොවී නඩත්තු කල හැකි සමස්ථ ජීවින් සංඛ්‍යාව. X කියන ප්‍රදේශය ගත්තොත් x ප්‍රදේශයට නඩත්තු කරන්න පුළුවන් උපරිම අලි ඇතුල් සංඛ්‍යාවක් සිටිනවා. අපි හිතමු මේ x ප්‍රදේශයට එකම ආහාර වලින් නඩත්තු වන ආගන්තුක ජීවින් ප්‍රමාණයක් ඇතුලත් කලාය කියලා. එහෙම වුනාම වෙන්නෙ ආහාර සඳහා අනවශ්‍ය තරඟයක් ක්‍රියාත්මක වීම සහ අවසානයේදි x භූමි ප්‍රදේශයේ තිබෙන ගුණාත්මක බව වියැකි ගොස් අවසානයේදි තරඟයේ යෙදුන ජීවින් සියල්ලටම අනුචිත ස්ථානයක් බවට පරිවර්තනය වීම. දැන් මේ අපි කතා කරන ජල ගැලුම් නිම්නය හෝ උඩවලව, යාල, වස්ගොමුව වගේ ස්ථාන සලකා බැලුවත් ඇතුල් කරන ගවයන් සංඛ්‍යාව දුසිමක් දෙකක් වගේ කුඩා ප්‍රමාණයක් නෙවෙයි. දස දහස් ගානක් වු ගවයන් මේ භූමිවලට ඇතුල් කරනවා. ප්‍රතිඵලය තමයි අවසානයේදි කන්න නැතුව ඉල ඇට පෑදි ගිය අලි ඇතුන් ආහාර සොයා ගම්වැදීම.

ලංකාවේ ජාතික වනොද්‍යානවල ඉසිලුම් ධාරිතාවන්ට විශාල අභියෝගයක් තියෙනවා ගඳපාන වැනි ආගන්තුක ආක්‍රමණික ශාඛ හේතුවෙන්. මේවා පැතිරි යාම නිසා දැනටමත් වන සතුනට අවශ්‍ය තෘණ භූමි ආහාරයට ගැනීමට නොහැකි ගඳපාන යායවල් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එවැනි අභියෝගයක් දැනටමත් ක්‍රියාත්මක වන විට තවත් පාරිසරික පීඩනයක් ගවයන් ඇතුල් කිරීම මඟින් සිදුවෙද්දි රක්ශිත ඇතුලෙ තිබෙන පාරිසරික සමතුලිතතාවට සිදුවෙන අයුතු බලපෑමේ තරම ඔබට හිතාගන්න පුළුවන් වෙයි.

ගවයන් ඇතුලු කිරිමෙන් ඉසිලුම් ධාරිතාවට හානි සිදුවනවා පමණක් නොව ආක්‍රමණික ශාඛ ප්‍රචාරණය සඳහා උපකාර මාධ්‍යක් බවටත් ගවයන්ගෙ තණ උලා කෑම උපකාරී වෙනවා. දැන් ඔය ගඳපාන වගේ ශාඛවලින් නිකුත්වන බීජ පාංශු ස්ථරතුල තැන්පත් වුනාම ඒවාට හිරු එළිය නොලැබෙන තාක් වර්ධනය වීම වැලකෙනවා. තෘණ පත් ඉතා කෙටි වෙන්නම උලා කෑමෙන් පස්සෙ හිරු එළිය පාංශු ස්ථර මතට ගමන් කිරීමට උපකාරී වෙනවා. ප්‍රතිඵලය තමයි ඊලඟ වර්ෂාවත් එක්ක වන සතුන්ගෙ ආහාර වන තණපත් වෙනුවට ගඳපාන හටගෙන තිබීම.ගවයන් ඇතුල් කිරීමෙන් පසුව හටගන්න තවත් ගැටලුවක් තමයි කොටි වැනි මාංශ භක්ෂක සතුන් ගවයන් පහසු ගොදුරක් බවට පත්කර ගැනීම. ජාතික උද්‍යාන ඇතුලෙ කියලා නෑ කොටි හරක් මැරුවොත් ඊලඟ තාර්කික පියවර බවට පත්වෙන්නෙ මිනිස්සු විසින් කොටි මරණ එක. ඊට අමතරව ගවයන් බැලීමේ නියායෙන් ජාතික උද්‍යාන තුලට දඩයක්කරුවන්ට ඇතුලු වීමට පහසු වීම. නිකන් ටිකට් එකක් දුන්නා වගේ වැඩක් ඒක.

ඔය ඉහත කිව්ව කාරණා ⁣සහ තවත් හේතු විශාල ප්‍රමාණයක් නිසා තමයි ආඥා පණතේ ප්‍රතිපාදන පෙරකී ලෙස සටහන් වෙලා තියෙන්නෙ. ඉතින් අර මී ගවයා වනජීවි නිළධාරීන්ට තර්ජනය කරනවා මිනිස්සුන්ට හරක් ඇතුල් කරන්න ඉඩ ලබාදෙන්න කියලා. වර්ගයා වෙනුවෙන් පෙනී සිටිම ඉතාමත් හොඳ දෙයක් වුනත් රටේ නීතිය නොදැන සිටීම මී ගවයෙක්ට වුනත් පාර්ලිමේන්තුවේ ඉන්නවානන් එච්චර හොඳ මදී කියලයි මට හිතෙන්නෙ. එක්කො 6 වගන්තිය ඉවත් කරන්න ඕන නැත්තන් ජල ගැලුම් නිම්නය ජාතික වනෝද්‍යාන ගොන්නෙන් ඉවත් කරන්න ඕන. හැකිනම් දැඩි රක්ශිතයක් ලෙස නම්කල යුතු ජල ගැලුම් නිම්නය එහෙම ජාතික වනෝද්‍යාන ගොන්නෙන් ඉවත් කරත් ඉදිරියේදි පුදුම වෙන්න දෙයක් නෑ.

දැන් ගව පාලනය වෙනුවෙන් වනජීවි ඇමති පෙනී හිටියට ඇත්තටම ඔතන තියෙන ගැටලුව ගවයන් නෙමෙයි (ඒක එක ගැටලුවක් පමණයි). 1984 වනෝද්‍යානය නම් කිරිමට ප්‍රථම පැවති මාර්ගයක් නැවත විවෘත කරවා ගැනීම තමයි ඔතන තියෙන අරමුණ. මනම්පිටිය පාලම ලඟ ඉඳන් මහවැලි ගඟට සමාන්තරව ගිහින් ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ සහ නුවරගලට යන පාරක් තිබුනා. වනෝද්‍යානය නම් කිරීමත් එක්ක මේ පාර වහලා අදාල ගම්මාන වලට විකල්ප මාර්ග ලබා දීලා තියෙනවා. සිරිපුර හරහා වැටිලා තියෙන පොළොන්නරුව මහියංගනය මාර්ගය ඒකට දීලා තියෙන විකල්ප මාර්ගය. මේ මාර්ගය ඉතාමත් හොඳ තත්වයේ කාපට් පාරක්.දැන් කතාව මෙහෙම තියෙද්දි අවුරුදු 40 කට ආසන්නව භාවිතා නොවුන වල් වැදුන මාර්ගයක් කාපට් අතුරලා සකස් කරගන්න එක ගම්වැසියාගේ දුක්ක දෝමනස්සයක් ලෙස මේ අය එලියට ගේන්නෙ ඇයි ? මහැවැලි ගං ඉවුරු ඉහත්තාවලින් ගොඩදාගන්න පුළුවන් වැලි හැකි තරමක් දැන් ගොඩ දාලා ඉවරයි. මේ පරණ යක්කුරේ පාර යන්නෙ තාම අත තියාගන්න බැරිවුන මහවැලි ගං ඉවුරු හරහා. කාපට් අතුරලා වනෝද්‍යානය මැද්දෙන් මහවැලි ඉවුර අයිනෙන් යන පාර හදාගත්තම මොකක්ද වෙන්නෙ කියලා මන් හිතන්නෙ ඔබට විස්තර කරන්න අවශ්‍ය නෑ.

වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණත ක්‍රියාත්මක කිරීමේ මුලික ආයතනය වන්නෙ වනජීවි දෙපාර්තමේන්තුව. මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ආයතන සහ පුද්ගලයන් ඉන්දැද්දි හඬක් නැති සතුනට හඬ වෙන්නෙ ඔවුන්ගෙ එකම සරණ වෙන්නෙ වනජීවි දෙපාර්තමේන්තුව. අන්න ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් තමයි විෂය බාර මී ගවයා අදාල නිළධාරීන්ට තර්ජනය කරන්නෙ. අවම අවි බලයක්, පිරිස් බලයක් සහිතව ලංකාවේ සමස්ථ භූමි ප්‍රදේශයෙන් 14% ආරක්ෂා කරන, නමට කවි ගී නොලියවෙන මිනිස්සු ඉන්න තැනක් තමයි වනජීවි දෙපාර්තමේන්තුව. මේක කියවලා යමක් තේරුම්ගත්තානන්, තේරුම් ගන්න බුද්ධියක් ඇත්තෙක්නම් මේ අවස්ථාවේ වනජීවි නිළධාරීන් වෙනුවෙන් පෙනී සිටිම ඔබේ වගකීමක්. ඒ ඔවුන්ට ඉන් වාසියක් හෝ ඉඩ කඩම් හෝ වැඩි පඩියක් ලැබෙන නිසා නොව ඔබ ජීවත් වෙන පරිසරයත්, මතුයම් දිනෙක ඔබේ දරුවන්ට ලැබෙන පරිසරයත් ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන් යටතේ පවතින නිසා.

ප.ලි – ඔය පහල පින්තූරේ ඉන්නෙ මහසෙන්. මහසෙන් ගැන ගොඩක් කලින් මම ලියලා තියෙනවා. මහසෙන්ලා සෝමාවතිය, ජලගැලුම් නිම්නය ආදියේ සැරිසරන මහ ඇතුන්. 1939 දි P.E.P දැරණියගල මහත්තයා මහවැලි ගං ඉවුරේ ඔය ජලගැලුම් නිම්නය සෝමාවතිය අවට ඉන්න ඇතුන්ගෙ දේහ ලක්ෂන, ප්‍රමාණය ආදිය සලකලා උප විශේෂයක් නම් කරනවා Elephas maximum vilaliya කියලා. විල් අලියා, විල්ලු අලියි විදිහට ප්‍රචලිත වෙන්නෙ මේ මහවැලි පිටාර තැන්නෙ අලි. ඒ නාමකරණය අද වෙද්දි භාවිතා නොවුනත් මහවැලි පිටාර නිම්නයේ අලි කියන්නෙ හොඳ උසක් තියෙන තේජවන්න සතුන්. මහසෙන්ලා වගේ තවත් අපි ආදරය කරන බොහෝ අලි ඇතුන්ගෙ නිජබිම් වලට තමයි බලලෝභි කෑදර දේශපාලනය දැන් ක්‍රියාත්මක වෙන්නෙ.

Leave a Reply

Your email address will not be published.