COLUMN

ජාතික ජන බලවේගය විසින් “ අර්බුධය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක් ”

Summary

මේ මොහොතේ රටේ ඇති වී තිබෙන අර්බුධයට අදාළ කිසිදු විශේෂ කරුණක් ජාතික ජන බලවේගය විසින් නිකුත් කල පොත් පිංචේ නැත.

ජාතික ජන බලවේගය විසින් “ අර්බුධය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක් ” යනුවෙන් කෙටි ලියවිල්ලක් පොත් පිංචක් ලෙස පල කොට තිබේ. මේ සම්පූර්ණයෙන් කියවා බැලීමි.
මෙහි අර්බුධය යන්නෙන් අදහස් වන්නේ වර්තමානයේ රට මුහුණ දෙමින් සිටින්නා වූ ණය අර්බුධය බවට සැකයක් නොමැත. එසේ “සැකයක් නොමැති” බව ලියන්නට සිදු වන්නේ මේ පොතෙහි කිසිම තැනක අපගේ ප්‍රධාන අභියෝගය අප මුහුණ දෙමින් සිටින ණය අර්බුධයය යන බව පැහැදිලිව සඳහන් කොට නොතිබීමය. ඇත්ත වශයෙන්ම මේ පොතේ නම “අර්බුධය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්” වූවාට එහි කිසිම තැනක අර්බුධය කුමක්ද යන්නත්, මේ කියන කඩිනම් ප්‍රවේශය කුමක්ද යන්නත් සඳහන් නොවේ. ඒ වෙනුවට මෙය සැලකිය හැක්කේ ඉතාම කඩිමුඩියේ තැනින් තැනින් කපා අලවා සකස් කරන ලද බොහොම සාමාන්‍ය සරල ලියවිල්ලක් ලෙසය. ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව මේ රටේ සියලුම පක්ෂ විවිධ අවස්ථාවන් වලදී මේ පොතේ ඇති කරුණු වලට සමාන කරුණු ඇතුලත් ලියවිලි සිය ගණනක් එලි දක්වා තිබේ.
මා දේශපාලනයේදී අතිශයින් පක්ෂපාති මිනිසකු වෙමි. එසේ කී විට කෙනෙකු තුල සාමාන්‍යයෙන් ඇති වන හැඟීමෙන් මගේ ඇත්ත ස්වභාවයට කිසිදු සාධාරණයක් ඉටු නොවුනත්, මා මැදිහත් මිනිසකුය යන අලි පචය නොකියා සිටීමෙන් මට ඇති වන සැහැල්ලුවත් මානසික විවේකයත් සුළු පටු නොවේ. ඇත්ත වශයෙන්ම මට මාවත්, මා අනුගමනය කරන විශ්වාස කරන දේශපාලන ධාරාවත් ප්‍රශ්න කිරීමට පහසු වන්නේ මගේ මේ පක්ෂපාතීත්වය මගේ සිතින්ම පිළිගැනීමෙන් අනතුරුවය. මා මොන තරම් දුරකට අන් යට ඇහුම් කන් දෙනවාද, ඔවුන්ව තේරුම් ගැනීමට සහ විනිශ්චය නොකිරීමට උත්සාහ කරනවාද යන්න මගේ සමීපතමයන් දැන ගැනීම ප්‍රමාණවත්ය. විවෘත වේදිකාව මත මා පක්ෂපාති මිනිසෙක් වෙමි. ඒ පක්ෂපාතීත්වය මධ්‍යයේ වුවද සාවධාන ඇහුන්කම් දෙන්නකු, තේරුම් ගන්නකු සහ විනිශ්චය නොකරන්නෙකු වන්නට හා යම් හෙයකින් එසේ විනිශ්චයක් කලත් එහි දිගින් දිගටම එල්බගෙන නොසිටින්නකු වන්නට මම උත්සාහ කරමි.

පහත ලියවෙන්නේ ජාතික ජන බලවේගයේ “අර්බුධය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්” යන කෙටි ලියවිල්ල පිලිබඳ මගේ විනිශ්චයයි.
මෙම ලියවිල්ලේ නැත්තේම කඩිනම් පියවරයන්ය. මෙහි සඳහන් සෑම කාරණයක්ම ඇත්ත වශයෙන්ම දීර්ඝ කාලීන දාර්ශණික ප්‍රවේශයන් වේ. එමෙන්ම ඒ කිසිදු එකක් මේ මොහොතේ ලංකාවේ තත්වය විශේෂයෙන් ඉලක්ක කොටගෙන සුසර කරන ලද ක්‍රියාමාර්ග නොවේ. ඒවා සැලකිය හැක්කේ පියවරයන් ලෙස නොව එවැනි පියවරයන් සකස් කිරීමේදී උපකාරී විය හැකි නියමු ප්‍රතිපත්තීන් ලෙසය. ඒවා ප්‍රතිපත්තීන් ලෙස සාර්ථකද යන්න වෙනම සාකච්ඡා කල යුතුය.
රාජ්‍ය ණය සම්බන්ධයෙන් මේ ලියවිල්ලේ සඳහන් වන එකම වැදගත් දෙය නම් “ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් කොමිසමක් මගින් දැනට ගෙවීමට ඇති සියලු විදේශ ණය පිළිබඳව පූර්ණ විමර්ශණයක් සහ විගණනයක් සිදු කිරීම” යන්නය. එනම් මේ කියන්නේ දැනට ඔවුන් සතුව වර්තමාන ණය අර්බුධය පූර්ණ චිත්‍රයක් සහ ඊට විසඳුම් නැති බවත් විමර්ශණයක් මගින් ඒ අත්පත් කරගත යුතු බවත්ය.

එතනින් පසුව දිග හැරෙන සෑම උප මාතෘකාවකම තිබෙන්නේ කිසිම කෙනෙකු ප්‍රකාශිතව විරුද්ධ නොවන ආකාරයේ ඉතාම සාමාන්‍ය, “යහපත් යයි ඕනෑම කෙනෙකුට හිතෙන” පන්නයේ දේවල්ය.
නිෂ්පාදයන් සම්බන්ධයෙන් ඔවුන් කරනට බලාපොරොත්තු වන්නේ වෙළඳපල එකාධිකාරයන් වැලැක්වීම සහ නව නිෂ්පාදන ව්‍යුහයක් හඳුන්වා දීමය. “ නව නිෂ්පාදන ව්‍යුහයක් ” යනු කුමක්ද? එවැන්නක් ඇති කල හැක්කේ කෙසේද සහ මේ තිබෙන ණය අර්බුධයෙන් මිදීමට එය උපකාරී වන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න වල අප පිළිතුරු ලබා ගන්නේ කාගෙන්ද?

වංචාව සහ දූෂණය ඇති වීමේ ප්‍රධාන වගඋත්තර කරු “නව ලිබරල් ආර්ථික මාදිලිය” බව ජාතික ජන බලවේගය සිතන බව පෙනේ. මේ සිතුවිල්ල දෙයාකාරයකින් නොමග යවන සුළුය. පළමුව එය එසේ නම් ලොව තිබෙන සියලු නව ලිබරල් ආර්ථිකයක් සහිත රටවල් දූෂිත විය යුතුය. දෙවනුව මෙවැනි සැහැල්ලු ප්‍රකාශ තුල මේ අර්බුධයේ සැබෑ වගඋත්තර කරුවන් වන මෙගා දූෂණ කප්පිත්තන් මගහැරී යයි. එනයින් මෙය නොමග යවනා සුළු වනවාට අමතරව භයානකද වේ.

සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍යය, සංස්කෘතිය හා ස්ත්‍රීන් පිලිබඳ සඳහන් කොටස් වල අමුතුවෙන් කතා කල යුතු කිසිදු දෙයක් නැති බව මගේ හැඟීමයි. දේශපාලන සංස්කෘතිය, මහජන නියෝජිතයා, ශ්‍රී ලංකේය ජාතිය , අභිමානවත් හා ස්වාධීන දේශයක්, ජාතික ආරක්ෂාව හා අධිකරණය යන උප මාතෘකාද කිසිම කෙනෙකු විරුද්ධ නොවන සුළු, කිසිවකුටත් නොරිදෙන සුළු අති සරල සහ අතිශයින්ම සාමාන්‍ය දේ වලින් පුරවා තිබේ. මේ කොටස් වල අන්තර්ගතය කියවන විට මට හැඟුනේ මෙකී මාතෘකා පිලිබඳ කටයුතු කරන, රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් නිකුත් කල යම් අත් පත්‍රිකාවක අඩංගු දෑ මෙහි ඇතුලත් කර තිබෙන බවය.

මේ මොහොතේ රටේ ඇති වී තිබෙන අර්බුධයට අදාළ කිසිදු විශේෂ කරුණක් ජාතික ජන බලවේගය විසින් නිකුත් කල පොත් පිංචේ නැත.
දෙමාපියනට සැලකීම යනු කුඩා කලදී අපට උගන්වන “හොඳ ” පුරුද්දකි. වැඩිහිටියන්ට ගරු කිරීමත් එවැන්නකි. රාත්‍රී නින්දට පෙර දත් මැදීම හා පාරේ දකුණින් ගමන් කිරීම වැනි පුරුදුද එවැනි දෑය. අපට නිතර ඇසෙන තවත් මෙවැනි හොඳ දෙයක් නම් දූෂණය පිටු දැකිය යුතු බවය. යහපත් උදවිය පාර්ලිමේන්තු යැවිය යුතු බවද මෙවැනිම හොඳ දෙයකි. මෙවැනි “යහපත්’ යෝජනා වලට වාචිකව විරුද්ධ වන්නකු මෙලොව නැත. යහපත් පුද්ගලයන් පාර්ලිමේන්තු යැවිය යුතු යයි කී විට, ”නැත ! අප පාර්ලිමේන්තු යැවිය යුත්තේ අන්තිම අවුල් නරුමයන්ය” යනුවෙන් කිසිවකුත් නොකියනු ඇත. මෙයින් මා කීමට යත්න දරන්නේ ඉතා විශේෂිත පැහැදිලි අර්බුධයක් තිබෙන මොහොතක “කිසිදු විශේෂයක් නැති සාමාන්‍ය දේවල්” නැවත නැවත කීමෙන් පලක් නැති බවය.

මගේ තක්සේරුව අනුව ජාතික බලවේගය විසින් පල කරන ලද “ අර්බුධය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක් ” යන ලියවිල්ල එවැනි කිසිදු විශේෂයක් නැති, අති සරල නිෂ්ප්‍රයෝජන ලියවිල්ලකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *