Opinion

ජාතිය ගොඩනැගීම සහ පංගුකාරිත්වය

Summary

රටක් තමන්ගේ කරගැනීමට නම් රටේ ඉතිහාසය තමන්ගේ කරගත යුතුය.

ලංකාවට පෘතුගීසීන් ආවේ නැතිනම් ලංකාව මුස්ලිම් රටක් වීමට ඉඩ තිබුනේ යයි කියන ජනප්‍රිය මතයක් තිබේ. මෙහි ඇත්ත නැත්ත තක්සේරු කිරීමට තරම් පෘථුල දැනුමක් මා සතුව නැත.

පහලොස්වන සහ දහසය වන සියවස වන විට යම් බලවත් මුසල්මානු රැල්ලක් ආසියානු කලාපය තුල හඹා ගිය බව සිතා ගත හැකිය. දකුනෙන් මාලදිවයිනත් නැගෙනහිරින් වර්තමාන මැලේසියාවට සහ ඉන්දුනීසියාවට අයත් ප්‍රදේශත් සැදුම් ලද්දේ බෞද්ධ සහ හින්දු රාජ්‍ය වලිනි (උදා: ශ්‍රි විජය අධිරාජ්‍යය, මජාපහිත් අධිරාජ්‍යය). මේ කාලයෙන් අනතුරුව මේවා විශාල වශයෙන් ඉස්ලාම්කරණය විය. ඊට අමතරව ඉන්දියාවේ නැගෙනහිර බෙංගාලියානු ප්‍රදේශ වලද මේ ඉස්ලාමීයකරණය පැතිර ගිය බව සිතිය හැකිය. බෞද්ධ චක්මා රාජධානිය සංකෝචනය වන්නේ මේ අනුවය.

නමුත් මේ සමස්ථ කලාපය තුල ඊට බොහෝ කලකට පෙර සිට ඉතා සක්‍රීය අරාබි, පර්සියානු හා මධ්‍යධරණී ප්‍රදේශ වලින් පැමිණියවුන්ගේ පෙනී සිටීමක් තිබිනි. මේ අරාබි සම්බන්ධය ඉස්ලාම් ආගමටත් වඩා පැරණි බව මගේ අවබෝධයයි. අරාබිය ඉස්ලාම් වන විට එම කලාපය සමග එකට චලනය වූ , මේ කලාපයේ ජීවත් වුනු එම ප්‍රජාවන්ද ඉස්ලාම් බවට පත් විය. එය පුදුමයක් නොවේ. ලංකාවේ බටහිර වෙරලේ තිබුණු වරාය වල මෙන්ම නැගෙනහිර රටවල වෙනත් වරාය වලද පිට ලෝකය දෙසට හැරුණු ඉස්ලාමීය වෙළඳ ප්‍රජාවන් ජීවත් වී තිබේ.

මේ ඉස්ලාමීය, නැතහොත් පූර්ව ඉස්ලාමීය වෙළඳ පැලැන්තිය, යුගයෙන් යුගයට බෙංගාල බොක්ක අවට සහ ඉන්දියානු සාගරයේ නාවුක බලය සඳහා තරඟ කල බලවේග කීපයෙන් එකක් විය. ඛෙමර් අධිරාජ්‍යය බලවත්ව තිබුණු කල එම අධිරාජ්‍යය ද, කලින් කලට චීන රාජ්‍යයන්ද මේ බල තරඟයේ නිරතව සිටියහ.

මගේ වැටහීමට අනුව නම් මේ කිසිම අරාබි ප්‍රජාවක් රටේ අභ්‍යන්තර සමාජ ගතිකයන්ටත් දේශපාලන ස්ථාවරත්වයටත් අභියෝගයක් වූයේ නැත. වර්තමාන බුරුමයේ රකායින් ප්‍රාන්තය බවට පත්වී තිබෙන අතීත බෞද්ධ රාජ්‍යයක් වූ අරකන් රජ වාසලෙහි අරාබි අමාත්‍ය වරුන් සිට ඇති අතර ඇෆ්ගන් දුනු වායන්ගෙන් සමන්විත බලකායක් රජුට සේවය කර ඇත. පර්සියාවෙන් සියමට සංක්‍රමණය වුනු බලවත් ප්‍රභූ පවුලක් වුනු බුන්නැන්ග් වරු පරම්පරා ගනනාවක් මුලුල්ලේ සියම් රජ මැදුරේ ඉහල තනතුරු දැරූ අතර අටසිය මැද ගනන් වල රජ කල මොංකුට් රජ තුමාගේ මහ ඇමති තනතුරද තිබුනේ මේ පවුලේ කෙනෙකුටය. රජතුමා තරුණ වයසෙන් මිය යන මොහොත වන විට ඔටුන්න හිමි චූලාලංකෝන් කුමරා රජකමට නිසි වයස් සම්පූර්ණ කොට නොතිබුනු අතර මහ ඇමතිගේ භාරකාරීත්වය යටතේ ඔහුව අනාගත රජු ලෙස අභිෂේක කරනු ලැබීය.

ඉතින් ඇත්ත වශයෙන්ම බෞද්ධ සියමේ ප්‍රායෝගික භාරකාරීත්වය වසර ගනනාවක්ම තිබුනේ පර්සියානු ඉස්ලාමීය මූලයක් සහිත, ඒ වන විටත් සම්පුර්ණයෙන් බෞද්ධකරණයට ලක් නොවුනු මහ ඇමති කෙනෙකු යටතේය. පසුගිය දින වල වැඩිපුර කතාබහට ලක්වුනු , චීන මින්ග් අධිරාජ්‍යයාගේ සෙන්ග් හේ සෙනවියාද ඉස්ලාම් බැතිමතෙකු බව කියනු ලැබේ. ඉන්දීය සාගරයේ වෙළඳ කටයුතු සඳහා මින්ග් අධිරාජ්‍යයා ඉස්ලාම් සෙනෙවියකු යොදවන්නට ඇත්තේ කලාපයේ බොහෝ වෙළඳ වරාය වල බලවත්ව සිටි ඉස්ලාම් වෙළඳ ප්‍රජාවන් සමග ගනුදෙනු කිරීමේ පහසුව තකා විය හැක.

ඉතින් දැන් අප කල්පනා කල යුත්තේ යුරෝපීය යටත්විජිතවාදය මේ කලාපයට එනතෙක් සුමටව ඉදිරියට ගිය “ඉන්දියානු සාගරයේ අරාබි කටයුතු” ඉන් පසුව ඝර්ෂණයක් සහිත වූයේ ඇයිද යන්නය.

යටත්විජිතවාදීන්ගේ ආගමනයෙන් පසු මේ ජනප්‍රජාවන්ගේ පැවැත්ම පිළිබඳ මූලික කොන්දේසි වෙනස් විය. දේශසීමා පිළිබද නූතන අදහසත් සමග මේ සියලු දෙනා තමන්ට අනන්‍ය ප්‍රදේශ පවත්වාගෙන යාමටත් ඒවා අත්පත් කරගැනීමටත් උනන්දු වූවා විය හැකිය.

මගේ මතකය නිවැරදි නම්, පරම්පරා තුනක් යටතේ සිංහලකරණය වන පොරොන්දුව පිට වෙරළබඩ ඉස්ලාම් බැතිමතුන්ට රට තුලට ඒමට ඉඩ දුන්නේ විමලධර්මසූරිය රජතුමාය ( නැගෙනහිර පලාතේ අදටත් දිසානායක මුදියන්සේලාගේ මොහොමඩ්ලා සිටිති. ආගමෙන් ඉස්ලාමීය වන සිංහල වෙද මහතුන් සිටිති. මේ ඉහත සිංහලකරණ ක්‍රියාවලියේ මග නැවතුනු අය බව ඇතමකුගේ මතයයි). ඔවුනට රට තුලට පලා ඒමට සිදු වූයේ පෘතුගීසි ප්‍රහාර නිසාය. මේ අනුව සිතිය හැක්කේ රටේ ඇතුලට වන්නට සිටි සිංහලයන්ට පෙර, වරාය ආශ්‍රිතව සිටි මුසල්මානුවන් පෘතුගීසි ප්‍රහාර වලට ලක් වූ බවය. පෘතුගීසීන් හා වරාය ආශ්‍රිත මුසල්මානුවන් අතර මරාන්තික ගැටුම් ඇති වුනු බව මා අසා තිබේ. මේ ආශ්‍රිත නිශ්චිත ඓතිහාසික තොරතුරු රාශියක් තිබෙන බව මා දනිමි. මට ලොකු අවබෝධයක් නැත.

කෙසේ හෝ මට සිතෙන්නේ පෘතුගීසීන් නිසා මුස්ලිම් ආක්‍රමණයක් වැලකුනා නොව වෙරළබඩව සිටි මුසල්මානුවන් නිසා පෘතුගීසීන් සිදු කල හානිය යම් පමණකට වැලකුනා කියාය. යටත්විජිත ඉතිහාසය තුල පෘතුගීසීන් සහ ස්පාඥ්ඥයන් අතර ඇත්තේ “තිරිසන් කම” සඳහා වූ තරඟයකි. එයිනුත් පෘතුගීසීන් සාහසික ලෙස තිරිසන් වූ බව මගේ හැඟීමයි. ඔවුනට හසු වූ අපේ කිසිම දෙයක් ඉතුරු වූයේ නැත. ඔවුහූ අපේ ශිෂ්ටාචාරයේ සම්පූර්ණ පරිච්ඡේදයක්ම සුන්නද්ධූලි කොට මකා දැමූහ. දළදා වහන්සේ විනාශ කල බව පෘතුගීසි වාර්තා වල සඳහන්ය. එය එසේ නොවූ බවත් ප්‍රයෝගයක් මගින් පරංගියා රැවටූ බවත් ස්වදේශීය තොරතුරු වල සඳහන්ය. මා මියෙන තුරු විශ්වාස කරන්නේ මින් දෙවැන්නයි. ඒ පිලිබඳ වැඩිදුර සොයා බැලීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් නැත.

යටත්විජිත යුගයෙන් පසු ලංකාව මුහුණ දෙන සියලු ප්‍රශ්න එක මිටකට ගෙන හඳුන්වන්නට යැයි කිවහොත් එය හැඳින්විය හැකි තනි වචනය නම් “ජාතිය ගොඩනැංවීම පිලිබඳ ප්‍රශ්නය” යන වචනයයි. ලංකාව කෙරෙහි තමන්ට තිබෙන්නා වූ “පංගුකාරීත්වය” පිලිබඳ ගැටලුව විසඳාගැනීමට ලංකාවේ ජනවර්ගයන්ට අද වන තෙක් පුළුවන්කමක් ලැබී නැත.

රටක් තමන්ගේ කරගැනීමට නම් රටේ ඉතිහාසය තමන්ගේ කරගත යුතුය. ඒ සඳහා අභිමානයෙන් යුතු ඓතිහාසික කතිකාවතක් තිබිය යුතුය. සිංහල ජාතික මනස එවැනි අභිමාන කතිකාවත් වලින් පිරී ඉතිරී පවතියි. දෙමළා සහ මුසල්මානුවා කල්පනා යුත්තේ එවැනි අභිමාන කතිකාවත් තමන් වෙනුවෙන් ගොඩනංවා ගැනීමටය. ඒවා තම ප්‍රජාවන් අතර ආදරයෙන් වැළඳ ගන්නා තත්වයට පත් කිරීමටය.

ඒ අතර සිංහලයන් මේ අනුකලණාත්මක ප්‍රවේශයට දිරි දිය යුතුය. මෙයින් සිදු වන්නේ සිංහල ඉතිහාසය තව තවත් වර්ණවත් වීමය. පෘතුගීසීන් ට එරෙහිව යුධ වැදි වෙරළබඩ මුසල්මානුවන් පිලිබඳ කතාව මෙි වර්ගයේ හොඳ ප්‍රවේශයක් වනු ඇත. මේ අයුරින්ම උතූරේ දෙමළ බෞද්ධයා පිලිබඳවත් සාරවත් කතිකාවතක් ගොඩනැංවිය හැකි වනු ඇත ( දෙමළා බෞද්ධ විය යුතු බවක් හෝ හින්දුවාට ලංකාවේ ඉතිහාසය අයිති නැති බවක් මින් අදහස් වන්නේ නැත).

සිංහලයන් යනු තමන් සතු ඉහලම දේ බෙදාහදාගත් ජාතියකි. ශ්‍රි පාදයත් කතරගමත් කිසිදු සැකයකින් තොරව බෙදාහදා ගත් ජාතියකි. එසේ කිරීමට හැකි වූයේ සිංහලයා සතු වූ ආත්ම විශ්වාසය නිසාය. අසවල් දවසේ වඳවෙනවා යයි සිතමින් බියෙන් වෙව්ලමින් ජීවත් වීම මූසල කමකි. ඉර හඳ පවතින තෙක් අපේ ශිෂ්ටාචාරය නොනැසෙන බවට අධිෂ්ඨාන කල යුතුය. එයින් ලැබෙන ආත්ම විශ්වාසයෙන් හා ශක්තියෙන් අප අනෙකා පිලිගෙන වැද්දාගත යුතුය.

Leave a Reply

Your email address will not be published.