ජාතිවාදය ඌරැමස් සේ රසවත් – Gammiris
Opinion

ජාතිවාදය ඌරැමස් සේ රසවත්

Summary

රට පාලනය අසීරැ කාර්යයක් වීම සඳහා වසංගතයක් අවැසි නොවේ. එහෙත් වසංගතයක් පාලනය කිරීම සඳහා රාජ්‍යයේ අධිකාරී බලය උවමනාය.

මීට වසර දහයකට පෙර එනම් දෙදහස් දහයේදී “2020” නමින් මම වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කළෙමි. රට පුරා මිනිසුන් සිය ගණනක් සමග සාකච්ඡා කළ එහිදී සැමගෙන් අසන ලද්දේ එක පොදු ප්‍රශ්නයකි.

“2020 වෙනකොට ලංකාව කොයි විදියටද වෙනස් වෙන්න ඕන?”

වැඩි දෙනෙකුගේ පිළිතුර වූයේ ලංකාව සිංගප්පූරැව මෙන් විය යුතුය යන්නය.

දැන් ඒ ප්‍රශ්නය විසඳී ඇත.

අනාගතය ගැන අහස් මාළිගා තැනීම අර්ථ ශූන්‍ය බව අප වටහා ගත් හොඳම වසර මේ දැන් ගෙවී ගියේය. කොටින්ම අත්වැල් බැඳගෙන මං මාවත් වල ඔහේ ඇවිද යාමත් බරපතල දඩුවම් ලැබිය හැකි සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වූයේ මේ වසරේය.

එහෙත් නැව ගිලුනත් බෑන් චූන් අත් නොහරින අපි වසංගතයේ කනින් රිංගා පාටි දමමු. ට්‍රිප් යන්නෙමු. දඩෙන් බේරෙන්නට මාස්ක් පළඳිමු. කොටින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ වැඩිමනක් නොතකා ප්‍රීතියෙන් ජීවත් වෙමු.

මෙය මිනිස්සුන්ගේ මැටි මෝල්කමයැයි වැඩි දෙනෙක් පැවසුවද මට නම් හිතෙන්නේ, අපේ රටේ ජීවත් වන්නෙ කෙලෙසුන් ප්‍රහීණ කළ බුද්ධි මට්ටමින් උසස් ජන කොට්ඨාශක් බැවින්, ජීවිතය පිළිබඳව වූ අල්පේච්ඡිත හැඟීම නිසා හා මරණය පරාජ කිරීමට පවා හැකි නිර්භීතභාවය නිසා මෙලෙස ප්‍රීතියෙන් කල් ගෙවන බවය.

එවන් ප්‍රීතිමත් ජාතියේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේ ලබන වසර සඳහා ඇති බලාපොරොත්තු මොනවාදැයි මම දුරකථන මාර්ගයෙන් විමසා සිටියෙමි.

මම පළමුව වෛද්‍ය මිතුරෙකුට කතා කළෙමි.

“මුලින්ම බලන්න ඕනේ ලබන අවුරැද්ද පණ බේර ගෙන දෙදහස් විසි දෙකේ ඉර එළිය දකින කම් ජීවත් වෙන්න පුලුවන් ද කියලා.

වැඩේ කියන්නේ සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වෙන්න කිව්වම ඉහෙන් බහින ලෙඩක් හැදෙන්නෙ නෑ වගේනෙ අපේ රටේ උන් දැන් හැසිරෙන්නෙ. ඉස්පිරිතාල හිස්. දවසකට සිය ගාණක් නලවපු අපේ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් වල මැස්සො ඇහිරෙනවා. ඒනිසා ගෙවල්වල දැවෙන ප්‍රශ්න.

මිනිස්සුන්ව කෝවිඩ් වලට හොදටම බය කරලා. ඒකෙන් අනෙක් ලෙඩ වලට තියෙන බය නැතිවෙලා ගිහින්. ඉතිං ලබන අවුරැද්දෙ මිනිස්සුන්ව ආයෙමත් බය කරන ව්‍යාපෘතියක් පටන් ගන්න කියලා මම බෙහෙත් කොම්පැනිවලින් ඉල්ලා සිටිනවා”

මේ කාලේ හැටියට ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් අදහස් නොවිමසුවහොත් එය බරපතල
අඩුපාඩුවකි.

“මම කැමතියි එන්නත …….” කියූ සැනින් කවුරැන් හෝ විසින් ඔහුගේ දුරකථනය විසංධි කරන ලදී.

ඊළඟට මට මතක් වුනේ ප්‍රබන්ධ කතා ගෙතීමෙන් ජීවිතය ගැට ගසා ගන්නා මිතුරෙකි.

“ලබන අවුරැද්දෙ කෝවිඩ් හැදිලා මැරැණෙ නැත්තම් සියදිවි නසා ගන්නවත් වෙයිද මන්දා. දැන් කතන්දර හදන එක හැම එකාම රස්සාවට කරනවනේ. අන්තිමට බැරි තැන මම ටීවී චැනල් එකක ප්‍රවෘත්ති ලියන්න ජොබ් එකක් ඉල්ලුවා. ඉන්ටර්වීව් එකේදි උන් මට කිව්වා, මම ලියලා තියෙන ටෙලි නාට්‍යවල ‘කතා රසය’ මදිලු. මම දැන් දිනපතා කතා හද හද ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට යවනවා කවදහරි චාන්ස් එකක් ලැබෙයි ද බලන්න. නැතුව නිකංම හිටියොත් මැච් එක පරාදයි”
ලබන වසරේ බලාපොරොත්තු මොනවාදැයි දැන ගැනුම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරැවකු ඇමතුවෙමි.

“මගේ නම් එකම බලාපොරොත්තුව ලබන අවුරැද්ද පුරාවටමත් කෝවිඩ් තියෙන්න කියලා තමයි අය්යා. මොකද එතකොට ප්‍රේක්ෂකයෝ නැතුව අපිට අපේ පාඩුවේ මැච් එක ගහ ගන්න පුලුවන්නේ. බිංදුවට ගියා කියලා හූ තියන්න එකෙකුත් නෑ. අඩුම ගානේ මම ආපහු ෆෝම් එකට එනකම්වත් කෝවිඩ් තිබුනොත් ඇති”

තව වසර ගණනාවක් යන තුරැම කෝවිඩ් වසංගතය මෙලොවින් තුරන් නොවනු ඇතැයි මා කී
විට ඔහු සැනසුම් සුසුමක් හෙළුවේය. එහෙත් සමහර වසංගත තුරන් කිරීමට වැක්සීන් අවශ්‍ය නොවන බව නොකීවෙමි.

රටේ ඉදිකිරීම් කර්මාන්තය ද පසු ගිය වසරේ බෙහෙවින්ම අඩාල විය. ලබන වසර ඉදිවන්නේ කෙසේදැයි විමසීමට කොන්ත්‍රාත් මිතුරෙකු ඇමතීමි.

“මෙහෙමයි බොස්, වාහන ගියත් නැතත් පාරවල් නම් හැදෙන්න ඕන. හයිවේ බැරි නම් හරක් යන පාරවල් හරි කොන්ක්‍රීට් කරන්න අපි රෙඩි. රට ඉදිවෙන තරමට තමයි ඉතිං අපි දෙගොල්ලොම ඉදිවෙන්නෙ”

ලබන වසරේ දේශපාලන වසංගතයේ තත්ත්වය කෙබඳු වනු ඇත්දැයි මම විපක්ෂයේ දේශපාලන මිතුරෙකුගෙන් ඇසුවෙමි.

“හොඳ වෙලාවට මචං කෝවිඩ් තිබ්බෙ. නැත්තං කොහොමද මිනිස්සු ඉස්සරහට යන්නෙ රෙද්දක් ඇඳන්. ඒ හින්දා අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට පිළිපදිනවා. අපි දැන් ජනතාවට මීටර් දෙකක් නෙමෙයි කිලෝමීටර් දෙකක් ඈතින් ඉන්නෙ. ඒක ඉතිං අපි දෙගොල්ලොන්ගෙම සෞඛ්‍යයට හිතකරයිනෙ”

රට පාලනය අසීරැ කාර්යයක් වීම සඳහා වසංගතයක් අවැසි නොවේ. එහෙත් වසංගතයක් පාලනය කිරීම සඳහා රාජ්‍යයේ අධිකාරී බලය උවමනාය. මේ සමතුලිතතාවය රැක ගන්නේ කෙසේදැයි පාලක පක්ෂයෙ මිතුරකුගෙන් විමසීමි.

“මූලිකම දේ තමයි ප්‍රධානම ප්‍රශ්න වලින් ජනතාවගෙ අවදානය ඉවත්කරලා වෙන මොකක් හරි විනෝද මාර්ගයකට ජනතාවගෙ හිත් යොමු කරලා ඒගොල්ලන්ට සැනසිල්ලෙ ඉන්න දෙන එක. මොකද රටේ ප්‍රශ්නවල බර දරණ එක ආණ්ඩුවෙ වගකීමනෙ.

“රජයක් හැටියට අපිට කරන්න තියෙන බැරෑරැම්ම කාර්ය තමයි ‘කතා’ හදන එක. ඒකට අපි වෘත්තීමය කණ්ඩායමක් අනුයුක්ත කරලා තියෙන්නෙ. උන් විතරයි මේ රටේ රස්සාව හරියට කරන්නේ. බ්‍රැනවි යන කොට කාලි එනවා. ඒ අතරෙ බ්‍රේක් එකට මුස්ලිම් මළ මිනීත් ගේනවා.
දැන් බලනවකෝ ජාතික ප්‍රශ්න පවා අපි කොයි තරම් රසවත් විදියට විසඳනවද කියලා. දැනට අවුරැදු දහයකට ඉස්සෙල්ලා සිංහල බෞද්ධයෝ මෙහෙම පිස්සුවෙන් වගේ ඌරැ මස් කෑවද? නෑ. නෑ. බලනවා ජාතිවාදය මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් රසවත්කලාද කියලා?”

ගෙවී ගිය වසර සේම උදාවන වසරත් ඉතා ප්‍රීතිමක් එකක් වනු ඇතැයි සැක හැර දැන ගත් මම අදහස් විමසීම අවසන් කළෙමි.

Leave a Reply

Your email address will not be published.