Opinion

ජුනි මාසේ 16

Summary

සමුද්‍රාසන්න පදිංචියක් තිබුනු මට කැස්බෑවො කියන්නෙ ඉතාමත් සමීප සත්වයන් කොටසක්. මේ සතුන්ගෙ අපූරු ජීවන චක්‍රය, දීර්ඝ ආයු කාලය, මඟ සොයා ගැනීමේ හැකියාව තවමත් මා පුදුමයට සමත් කිරීමට හැකි කාරණාවන්. අද අසාමාන්‍ය ලෙස කැස්බෑ මරණ වාර්තා වෙන කල්පිටි වෙරළ තීරයේ තමයි මගේ පළමු කැස්බෑ මෙහෙයුම සිදුවෙන්නේ.

ජුනි මාසේ 16 සටහන් වෙන්නෙ මුහුදු කැස්බෑවුන්ගෙ දිනය ලෙස. මතක ඇති කාලයක පසුගිය දශක තුන තුල වැඩිම කැස්බෑ මරණ සංඛ්‍යාවක් බටහිර වෙරළෙ සීමා සහිත ප්‍රදේශයකින් වාර්තා වෙන සමයක කණගාටුව මුසුවු හැඟීමකින් මේ සටහන ලියන්න වෙලා තියෙනවා.

කැස්බෑවුන් කියන්නෙ අතිශයින්ම අපූරු ජීවී කොට්ඨාසයක්. භෞමික වාසී පූර්වජයෙකුගෙන් පරිණාමය වී ක්‍රමිකව ජලජ පරිසරයනට අනුවර්තනය වූ මේ ජීවීන්ගෙ අතීතය අදින් වසර මිලියන 120 ⁣පෙර ක්‍රිටැසියස් යුගය දක්වාම දිවෙනවා. සමුද්‍රාසන්න පදිංචියක් තිබුනු මට කැස්බෑවො කියන්නෙ ඉතාමත් සමීප සත්වයන් කොටසක්. මේ සතුන්ගෙ අපූරු ජීවන චක්‍රය, දීර්ඝ ආයු කාලය, මඟ සොයා ගැනීමේ හැකියාව තවමත් මා පුදුමයට සමත් කිරීමට හැකි කාරණාවන්. අද අසාමාන්‍ය ලෙස කැස්බෑ මරණ වාර්තා වෙන කල්පිටි වෙරළ තීරයේ තමයි මගේ පළමු කැස්බෑ මෙහෙයුම සිදුවෙන්නේ. ඒ 1997 දි.. පොඩි කොලු ගැටයෙක් විදියට නිසැක මරණයට කැපවෙලා තිබුනු කැස්බෑවෙක් මුදාගෙන නැවත මුහුදට යවන්න පුළුවන් වෙනවා. ඔය පහල පින්තූරේ ඉන්න උඩුකය නිරාවරණය වු කොල්ලා මුහුදෙ පීනලා වැලි නාගෙන කැස්බෑවා ඈතට යනකන් බලාගෙන හිටපු විදිහ ඒ මතකයක්. ඊට පස්සෙ මුහුදට නැවත යවපු දැල්වල පැටලුනු කැස්බෑවන්, තුවාල සුව වන තෙක් රැකබලාගත් කැස්බෑවන් අපමණයි. අතැම් කාලවල ගල්පරවල වැදී කටුව සුණු විසුණුව මිය ගිය කැස්බෑවකු දකින විට බේරගන්න තිබුනානන් මටත් වඩා සෑහෙන කල් ජීවත් වෙන්න තිබ්බ සතෙක් කියන හැඟීම පහල වුන, පහල වෙන අවස්ථා අදටත් තියෙනවා.
ලෝකේ කැස්බෑ විශේෂ හතක් ඉන්නවා. ඒ හතෙන් පහක් ලංකාවේ ලස්සන මුහුදු තීරයන්ට බිත්තර දාන්න ඇදෙනවා. හඳ එලියත් එක්ක වෙරළට ඇදෙන මේ සතුන් ආලෝක දුෂණය නිසා මඟ වරදින අවස්ථා තිබෙනවා. බිත්තර වලින් පිටතට පැමිණෙන කුඩා පැටවුන්ගෙන් ගැහැණු සතුන් වසර ගනනාවකට පසු නැවත බිත්තර දැමීමට පැමිණෙන්නෙ තමන් ඉපදුණු වෙරළ තීරයට. ඔබ උපන් රට/ නිජබිම් සංකල්පය ආදී දේශපාලනික කාරණා මත මෙලොව යම් භූමී කඩකට අයිතිවාසිකම් කියන්නෙ යම් සේද ඊටත් වඩා නෛසර්ගික අයිතියකට මේ සතුනුත් උරුමකම් කියනවා.. ඒ ඔබ මම ඇතුළු සමස්ථ මානව වර්ගයාම බිහිවීමට පෙර අද වෙරළට ඇදෙන මේ සතුන්ගෙ පූර්වජයන් මේ බිම්කඩ තමන්ට සුදුසු යැයි තෝරාගෙන තිබෙන නිසා. ඒක ටිකක් බරපතල කාරණාවක්. නිවාඩු පාඩුවේ හිතලා බලන්න ඕන ජෛව විද්‍යාත්මක සහ දාර්ශනික පැතිකඩක්.

කැස්බෑවුන් ගැන තියෙන උනන්දුවත් කැස්බෑ පරිණාමය පිළිබඳව තිබෙන කුකුසත් නිසා මට 2017 වර්ෂයේදි වියනා ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ බ්‍රිජිටාව දැකගන්න ලැබෙනවා. අඩි 15 කට වඩා දිග ටොන් දෙකක⁣ට වඩා බරින් යුත් බ්‍රිජිටා කියන්නෙ ආර්කෙලොන් ගනයට අයත් අදින් වසර මිලියන 75 කට ප්‍රථම ජීවත්වු මුහුදු කැස්බෑවෙකුගෙ ෆොසිලයක්. බ්‍රිජිටාව නරඹන අයට එතරම් සුවිසල් කැස්බෑවන් ක්‍රිටැසියස් සාගර තුල සිටි ආකාරය සිතාගන්න අසීරු වුනත් ලංකාවේ මුහුදු තීරයන්ට ඇදෙන අඩි 10 ආසන්න ලෙදර්බැක් නිදර්ශක දැක ඇති මට බ්‍රිජිටාව සිත්හී නිර්මාණය කරගන්න එතරම් අසීරු වුනේ නෑ. වසර මිලියන 75 කට පෙර වගේම අපේ සමකාසන්න සාගර තුල බ්‍රිජිටාගෙ යෝධ මී මුණුබුරන් පිහිනා යනවා.

බොහෝ සංස්කෘතීන් තුල කැස්බෑවන්ට හිමිවෙන්නෙ සුවිශේෂී තැනක්. දේවත්වය, වාසනාව උදාකරන සංකේතයක් විදිහට විවිධ සංස්කෘතීන් කැස්බෑවුන්ට ගරු කරනවා. ග්‍රීක, රෝම, මෙසපොතේමියානු, හොවැංහෝ සිට නූතන ශිෂ්ඨාචාර දක්වාම කැස්බෑවන් ⁣ලේඛනගත වෙනවා. නිරාගමිකයෙක් වුන මට කැස්බෑවා සහ දේවත්වය පිළිගත නොහැකි වුනත් කැස්බෑවා තුල දේවත්වය මිනිසුන් දැකගත් ආකාරය ගැන සිතා ගැනීමට පුළුවන්. වේද සාහිත්‍යයේ විශ්ණු දෙවියන්ගෙ දස අවතාරවල දෙවැන්න වෙන්නෙ කුරුම නැමැති කැස්බෑ අවතාරය. සුරයන් සහ අසුරයන් ක්ශීර සාගරය කළඹා අමෘතය ලබාගන්න උත්සහා කරද්දි ඊට ආධාරකය වෙන්නෙ විශණුගේ කුරුමා අවතාරය. ඉස්ලාම් දහමේ සුෆී දර්ශනය තුල දේව මඟපෙන්වීම ලැබීමට කැස්බෑ පැටවුන් නැවත සාගරයට නිදහස් කිරීම ගැන සඳහන් වෙනවා. ෆෙංශුයි විශ්වාස කරන ඇත්තන් අදටත් සිය නිවෙස්වල කැස්බෑ රුවක් තබාගෙන සිටින්නෙ වාසනාව උදෙසා.

නිදහසේ පිහිනා යන, දීර්ඝ ආයු කාලයක් හිමි මේ සතුන් මිනිසුන්ට ලඟාවිය නොහැකි අමරණීයත්වය නමැති සංකල්පයට මිනිසුන් විසින් සමපාත කිරීමට උත්සහ දරා ඇති බව මේ අතීත කතා තුලින් දැකගන්න ලැබෙනවා. අමරණීයත්වයත් ඉන් ලබන දේවත්වයත් මානවයා තුල භක්තියක් ජනිත කිරීමට සමත් වන්නට ඇති. ඒ සියල්ලට වඩා මේ සතුන්ගෙ අපූර්වත්වයත් ජීවන චක්‍රය පිළිබඳ කුකුසත් මේ විශ්වාසනට මූලීක වන්නට ඇති. දෙවියන්, පරලොව, ස්වර්ග සංකල්ප බැහැර කර ඇති මා තුල මේ සතුන් උපදවන කුතුහලය ශතවර්ශ ගනනාවක⁣ට පෙර සිටි මානවයන් තුලද ජනිත වු ආකාරයත් ඒවාට ඔවුන් පිළිතුරු සෙවු සැටිත් මට සාධාරණීකරනය කිරීමට පුළුවන්.
ඉතින් සංචරණ සීමා තුලට කොටුවී මිය ගිය කැස්බෑවුන් ගනන් කිරීමට සිදුවීම රැල්ලට යනවාට වඩා හදවතට සමීප දෙයක් බව සටහන් කිරීමට කැමතී. අද දවසේදි කැස්බෑවන් ගැන බොහෝ විද්‍යාත්මක ලියවිලි කියවන්න පුළුවන්, ඒවා ගැන දැනුවත් වෙන්න. අද දවස පාරිසරික දින දර්ශකය තුල වෙන් වන්නෙ කැස්බෑවුන් පිළිබඳ සාක්ෂරතාව වැඩි කිරීමටත්, ඔවුන්ට ඇති ගැටලු ගැන දැනුවත් කිරීමටත්. ඒ සියල්ලෙන්ම පරිබාහිරව විද්‍යාත්මක කාරණා දැක්වීමකට වඩා පෞද්ගලික අත්දැකීම් පෙලක් හිතට එන විදියට අසංවිධිත ලෙස ඔහේ ගලාගෙන යන්න සැලැස්සුවෙ කුමක් හෝ වැදගත් දෙයක් ඒ අතර ලියවෙයි කියලා හිතලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *