COLUMN

ට්‍රම්ප් කටක්

Summary

ඇමෙරිකානු ජනපද සංගමයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කට හොඳ නෑ. ඊට කලින් ඒ පුටුවේ හිටිය ඔබාමා බොහොම මිහිරි වචන කියන කෙනෙක්. ඉතින් මේ දෙන්නා අහසට පොළොව වගේ.

ඇමෙරිකානු ජනපද සංගමයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ කට හොඳ නෑ. ඊට කලින් ඒ පුටුවේ හිටිය ඔබාමා බොහොම මිහිරි වචන කියන කෙනෙක්. ඉතින් මේ දෙන්නා අහසට පොළොව වගේ.
සුන්දර කතා කියන ඔබාමා හොඳට යුද්ධ කරලා, ඇති පදම් මිනී මරලා නොබෙල් සාම තෑග්ගත් ගත්තා. ට්රම්ප් යුද්ධ කළේ නෑ. චීනයත් එක්ක වෙළෙඳ යුද්ධයක් නම් කළා.
අපි කැමැති ලස්සන කතා අහන්න. ඉතින් අපේ අය ඔබාමාගේ ගුණ වර්ණනාකරනවා. ට්රම්ප්ගේ වැරැදි කියනවා.
මම විශ්වවිද්යාලයේ ඉගෙනගන්න කාලේ හිටිය එක මහාචාර්යතුමෙක් ළමයින්ට කතාකළේ “පුතා” කියලා. ඒත් ඒ තරම් භයානක තවත් ගුරුවරයෙක් මම තවමත් දැකලා නෑ.
ජී. එල්. පීරිස් මහත්තයා ලස්සන වචන කතාකරන කෙනෙක්. අපි විශ්වවිද්යාලයේ ඉන්න කාලේ එතුමා තමයි අපේ උපකුලපති. ඉතින් එතුමාගේ පාලන හැකියාව ගැන ඒ දවස්වල ම අපි දන්නවා. දේශපාලනයට ආවාට පස්සේ මුළු රට ම එතුමා ගැන දැනගත්තා.
එස්. බී. දිසානායක මහත්තයා ලස්සන වචන කතාකරන්නේ නෑ. කට ඇරියොත් ඉවරයි. ඉතින් අපේ හුඟක් අය එතුමාට කැමැති නෑ. මේ අකැමැත්තට අදාළ තවත් හේතු නැතුවා නෙවෙයි.
ඒත් ජී. එල්. මහත්තයයි එස්. බී. මහත්තයයි සන්සන්දනය කළොත් කොහොම තියෙයි ද? ජී. එල්. මහත්තයා වෙනුවට එස්. බී. මහත්තයා විදේශ ඇමැතිකම කළා නම් කොහොම තියෙයි ද?
මෙහෙම සන්සන්දනයක් කරන එකත් භයානකයි. ජී. එල්. මහත්තයා වැඩක් නැති බව දන්නවා වුනත් අපි එස්. බී. මහත්තයා ගැන හිතන්නවත් කැමැති නෑ.
ගුවන් විදුලි සංස්ථාවේ සමහර අය හඩ්සන් සමරසිංහ මහත්තයා ගැන ගුණ කියනවා මම අහලා තියෙනවා. ඒ මහත්තයා හොඳ පාලකයෙක් කියලා තමයි ඒ අය කියන්නේ. ඒත් අපි සෑහෙන පිරිසක් එතුමාට කියන්නේ “හඩ්ඩා” කියලා. ඉතින් අපි හඩ්ඩාට බනිනවා. ඒ හඩ්ඩාගේ කට හොඳ නැති හින්දා.
අපි මුලින් බලන්නේ කට දිහා. අපි ට්රම්ප් කටවල්වලට කැමැති නෑ. අනිත් දේවල් ගැන අපි හිතන්නේ ඊට පස්සේ.
ආචාර්ය වරුණ චන්ද්රකීර්ති
Leave a Reply

Your email address will not be published. Required fields are marked *