COLUMN

ට්‍රිප් යන්නෝ දිනන්නෝ

Summary

“කිතුල් ගහට ගිය එකාත් කිව්වනෙ තණකොළ කපන්න ගියෙ කියල .ඒ වගේ නිදහසට කාරණා කියන්නෙ නැතුව ඉන්නව අයිසෙ”කර්තෘ කීය. “ඊයෙ පෙරේදත් ලෝක සෞඛ්‍ය සංවිධානෙ කියල තිබුණා මේ මගුල තව අවුරුද්දක්වත් ඇදෙයි කියල “

පසුගිය දවසක පත්තර කර්තෘවරයාට මළ පැන්නේය. ඒ සතිඅන්තයට අමතරව අඟහරුවාදා හා බදාදාටද නිවාඩු වැටී තිබුණු අවස්ථාවේ සඳුදාටද නිවාඩු දැමූ කර්තෘ මාණ්ඩලිකයෙකු නුවරඑළි ගිය බව ආරංචි වීමෙනි. වැඩට ආ දවසේ ඔහු කැඳවූ ලොක්කා නොසෑහෙන්න දෙහි කැපුවේය.

“දොස්තරල පුන පුනා කිව්ව නේද ඕයි,තාම ට්‍රිප් යන්න තරම් වසංගත තත්වෙ අඩු නෑ කියල “කර්තෘ සිය සගයාගෙන් ඇසුවේය . “තමුසෙල නම් කිසිම කිසි වගකීමක් නැති මිනිස්සු “

“අනේ සර්,ඔය දොස්තරලගෙ ඔළුවෙන්

තාම යටත් විජිත චින්තනය ගිහින් නෑනෙ .ඒකයි ඔහොම කියන්නෙ “
යටත් විජිත චින්තනයේ හා ට්‍රිප් යෑමේ සම්බන්ධය කුමක්දැයි මෙහිදී කර්තෘ ඇසුවේය .

“ඇයි සර් ,එංගලන්තෙ මිනිස්සු පාරෙ රතු ලයිට් පත්තු වෙනව නම් හැම පාරකම වාහන නැති වුණත් කොළ ලයිට් පත්තු වෙනතුරැ ඉන්නවනෙ. ඒ වුණාට ස්වාධීන චින්තනයක් තියෙන ප්‍රංශකාරයො වටපිටේ වාහන නැත්නම් රතු ලයිට් තිබුණත් ඇරල යනව”සගයා කියා සිටියේය . “ඒ වගේ විස්සෙන් ඉහළ 86%කට ඉන්ජෙක්ෂන් ගහල තියෙන, ආණ්ඩුව ඡන්දෙකුත් තියන්න හදන පසුබිමක මුන් කියනව කොහේවත් යන්න එපා කියල”

“ඔය පණ්ඩිත කතා කිය කිය තමුසෙල හදන්නෙ කොරෝනා පතුරවන්නනෙ”කර්තෘ කීවේය . “මතකනෙ අප්‍රේල් මාසෙ අවුරුදු කන්න ගිහින් වෙච්ච සන්තෑසිය”

“බස්වල කෝච්චිවල මිනිස්සු තෙරපි තෙරපි යන්න හොඳයි,කිරිපිටි පෝලිම් වල ඉන්න හොඳයි, ලොක්ඩවුන් අස්⁣සෙ බාර් ගානෙ පොරකන්න හොඳයි”සගයා නොඉවසිල්ලෙන් කීවේය. “හැබැයි අපි කාමරයක් ඇතුලෙ ඉඳල, එළිමහන් ඉඩක විතරක් ඇවිද්දම නරකයි. ඇයි සර් අපිත් හැමදාම හිරවෙලා ඩිප්‍රෙස් වෙන්නෙ නැතුව ඩිංග ඩිංග හරි සාමාන්‍ය ජීවිතේට අනුගත වෙන්න බැලුවම හොඳ නැද්ද ?”

“කිතුල් ගහට ගිය එකාත් කිව්වනෙ තණකොළ කපන්න ගියෙ කියල .ඒ වගේ නිදහසට කාරණා කියන්නෙ නැතුව ඉන්නව අයිසෙ”කර්තෘ කීය. “ඊයෙ පෙරේදත් ලෝක සෞඛ්‍ය සංවිධානෙ කියල තිබුණා මේ මගුල තව අවුරුද්දක්වත් ඇදෙයි කියල “

“දැන් සර්, අපිට බණ කියන දොස්තරල, ආමිකාරයො ට්‍රිප් යන්නෙ නැද්ද? නෑ, උන් යන්නෙ වාහනේ ස්ටිකර් ගහගෙන නැත්නම් ඉස්සරහිනුයි පස්සෙනුයි ගාඩුත් දාගෙන. “සගයා කීවේය . “මුන්ට කට තියෙන නිසා කතාකරනව, අකුරු දන්න නිසා ටයිප් කරනව. මොකෝ උපදෙස් දුන්නම ටැක්ස් ගහනව කියලයැ. ඇයි සර් ,අපි හැමෝම ජීවිතේ දිහා එක විදිහට බලන්න ඕනද?”

“හරි,හරි තව ට්‍රිප් යනව. ගිහින් ඇවිත් වයසක අම්මටයි තාත්තටයිත් ලෙඩේ බෝ කරනව. බොලා වගේ දරැවො හැදුවට ඒ මිනිස්සුන්ට දඬුවමකුත් තියෙන්න එපැයි”කර්තෘ අවසන් පදය ගැහුවේය. “තොපි එනකල් ඉස්පිරිතාලෙ අයි.සී.යූ.පුල පුලා බලාගෙන ඉන්නව. හොඳයි, හොඳයි, වාහනෙන් ගිහින් පොලිතින් කොලෙන් වරෙව්. රටේ ලෙඩ්ඩු වැඩිවෙලා,මරණ ඉහළ ගියාම ඔය කට්ටියට කියන්න දේකුත් තියෙන⁣වනෙ”

“ඒ මොකක්ද ඒ?”
“ඇයි ස’ ෆේල් කියල “

සුන්දර නිහතමානි ද මැල්

Leave a Reply

Your email address will not be published.