ඇටමැස්සා කොලම

ටොයියා සහ බයියා – ඇටමැස්සා

Summary

ටොයියා ආදරේ බඩට ය. බයියා ආදරේ රටට ය. ටොයියා ට දේශප්‍රේමයක් නැත. බයියා බොරු දේශප්‍රේමයටත් රැවටෙයි.

ටොයියා සහ බයියා

ලංකාවේ වෙසෙන මිනිසුන් වර්ග දෙකකට බෙදිය හැකිය. එකක් ටොයියන් ය. අනෙක බයියන් ය. ටොයියා ප්‍රතිගාමී ය. බයියා ප්‍රගතිශීලී ය. ටොයියා යූ.එන්.පී. ය. යූ.එන්.පී. එක හා අත්වැල් බැදගන්නා ඕනම පුද්ගලයකුට ඕනම පක්ෂයකට ටොයියා කැමති ය. බයියා පොහොට්ටුවේ ය. එහෙත් පොහොට්ටුව හා අත්වැල් බැදගන්නා හැම පුද්ගලයකුටමත්, හැම පක්ෂයකටමත් බයියා කැමති නැත. බයියා ටොයියා ගෙන් වෙනස් වන්නේ එතැනිනි.

සුමන්තිරන්ලා, බදුර්දීන්ලා, සම්පන්දන්ලා, හකීම්ලා ට ටොයියා කැමති ය. මොකද මේ සෙට් එක යූ.එන්.පී. ලයින් එකට පෑහෙන නිසා ය. එහෙත් සුමන්තිරන්ලා, බදුර්දීන්ලා, සම්පන්දන්ලා, හකීම්ලා ට බයියා  කැමති නැත. මේ සෙට් එක පොහොට්ටුවට සපෝට් කළත් බයියා ඔවුන් දෙස බලන්නේ සැකයෙනි.

ටොයියා කැමතිම ගීතය රවීන්ද්‍ර යසස් ගායනා කරන

” කන්න දෙනවා නම්
                 අපිට බොන්න දෙනවා නම්
                 මොන කෙංගෙඩියද තව
                 ඕනෑ කියන්නේ ….// “

නම් වූ වේදිකා නාට්‍ය ගීතය යි.

බයියා කැමතිම ගීතය මහගම සේකර පද රචනා කළ ( සේකර ලියුවේ ගේය පද නොවේ) නන්දා මාලිනි ගායනා කළ පසුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න නන්දාට ගායනා කිරීම තහනම් කළ

  ” මේ සිංහල අපගෙ රටයි
                 අප ඉපැදෙන මැරෙන රටයි
                 අප හද පණ ගැහෙන රටයි
                 මුළු ලොව ඒ රටට යටයි….”
ගීතය යි.

ටොයියා කැමතිම නාට්‍යය සාජන්ට් නල්ලතම්බි ය. බයියා කැමතිම නාට්‍යය සිංහබාහු ය.

ඉස්සර නම් ටොයියා ගේ ආණ්ඩුවක් බලයේ ඇති විට ටොයියා ගත්තේ සිළුමිණ පත්තරේ ‍ය. බයියා ගේ ආණ්ඩුවක් බලයේ ඇති විට බයියා ගත්තේ සිළුමිණ පත්තරය යි. දැන් නම් මොන ආණ්ඩුව ආවත් ටොයියාවත්, බයියාවත් සිළුමිණ නම් ගන්නේ නැත. අද ටොයියා බලන පත්තරේ ලංකාදීප ය. බයියා බලන පත්තරේ මව්බිමය ය.

ටොයියා ගේ ටීවී එක සිරස ය. බයියා ගේ ටීවී චැනල් එක දෙරණ හෝ හිරු ය. ඔවුන් මේ චැනල් තෝරාගෙන ඇත්තේ පෙන්වන ටෙලි නාට්‍යය මත නොවේ. ගහන නිව්ස් එක මතය.

යූ.එන්.පී. එක පරදින ජන්දයක දී ටොයියා කීයටවත් ජන්ද පොළට යන්නේ නැත. දිනුවත්, පැරදුණත් බයියා උදෙන්ම ගොස් කතිරය ගසයි.

ටොයියා ආදරේ බඩට ය. බයියා ආදරේ රටට ය.

ටොයියා ට දේශප්‍රේමයක් නැත. බයියා බොරු දේශප්‍රේමයටත් රැවටෙයි.

ටොයියා වහලෙකි. යහපාලන ආණ්ඩුව කාලයේ මහ බැංකු මංකොල්ලය සිදුවිය. ජිනීවා ගොස් මවිබිමට එරෙහිව යෝජනා සම්මත කර ගැනීමට අත ඉස්සීය. නැවත කොටි ෆෝම් කළේය. ඔත්තු සේවා නට්ටං කර දැමුවේ ය. පාස්කු ප්‍රහාරය සිදුවිය. මේ සෑම ප්‍රශ්නයකදීම කොන්දේසි විරහිතව ටොයියා යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ ය.

එහෙත් බයියා වහලෙකු නොවේ. ටොයියන් රාජපක්ෂවරුන්ට මඩ ගසන විට අතින් වියදම් කරගෙන ඒවාට ප්‍රති උත්තර බැන්දේ බයියන් විසිනි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන සිටි බදුර්දීන්ගේ සොහොයුරා සාක්කි නැතැයි කියා නිදහස් කරන විට වැඩිම විරෝධය එල්ල කර ඇත්තේ බයියන් විසිනි.  බයියා ට පොරොන්දුවක් දුන්නොත් එය ඉටු කළ යුතුය.

බයියා ටොයියා මෙන් ඩීසන්ට් නැත. ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවට ඇති බරපතලම ප්‍රශ්නය කොරෝනාවෙන් ගැලවීමවත්, 20 වැනි සංශෝධනයවත්, ආර්ථික අවපාතයවත්, අපනයන වෙළෙඳාම කඩාවැටීමවත් නොවේ. බයියන්ව බැලන්ස් කරගන්නේ කෙසේද යන්න යි.

ටොයියා හරියටම පොමනේරියන් බලු පැටවෙක් මෙනි. බයියා පරයා ඩෝග් කෙනෙකි. මස් කට්ට පෙන්වීමෙන් පමණක් ඌව ඇන්දිය නොහැකිය. අර්බූද සමනය කරගැනීමට ගන්නා කාලය වැඩිවන තරමට අවශ්‍ය කරන මස් කටු ප්‍රමාණය ද ඉහළ යනු ඇත.

[thelader.lk වෙබ් අඩවියට ඇටමැස්සා ලියන 39 වන ලිපිය]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *