Opinion

ඩාර්වින් මේවා දුටුවානම් කුමක් සිතනු ඇත්ද ?

Summary

සරලවම කිව්වොත් ඩාර්වින් මිනිසාගෙ සම්භවය ලියද්දි ඔය අද අපි දකින මානව පරිණාමික වෘක්ෂයේ දුසිම් දෙක තුනක විශේෂ ප්‍රමාණය වෙනුව⁣ට දැනන් හිටියේ අද දන්න විශේෂ අතුරින් එකම එක් විශේෂයයි, ඒකත් වෙන් විශේෂයක් ⁣විදිහට නෙවෙයි විකෘතිවු සේපියානු සම්භවයක් ලෙස තමයි හඳුනගෙන තිබ්බෙ එවක. නමුත් එතරම් සාධක විරල කාල සීමාවක සිට ඩාර්වින් සිදුකල පෙරයීම් අද වෙද්දි 100% නිවැරදි පෙරැයීම් බවට පත්වෙලා තියෙනවා.

භෞතික මානව විද්‍යාවේ මානව පරිණාමික වංශ වෘක්ෂය ගැන යාවත්කාලීන වෙන නවතම තොරතුරු එක්ක සසඳලා බැලුවම 1960 වර්ෂයට පෙර මේ විෂයේ කිමිදුන විද්වතුන් මුහුණපෑ දරුණු ගැටලු සහ අභියෝග වර්තමානයට සාපේක්ෂව ⁣⁣මොන තරම් විශාලද කියලා හිතෙනවා. මේ ජීනියැලජි එකේ ඉතිහාසය අපි කාලානුක්‍රමික අනුපිළිවෙලින් සසඳලා බැලුවොත් 1960 ට පෙර මානව පරිණාමික වෘක්ෂයට අදාල ෆොසිල නිදර්ශක සහ විශේෂ තිබුනේ 5 ක් හෝ 6 ක් පමණ. එතනින් අවුරුදු හැටක් ඉස්සරහට එද්දි වර්තමානයේදි වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනෙන විශේෂ ප්‍රමාණය 25 ක් (මේ ගාන විවිධ විද්‍යා ගුරුකුල අනුව වෙනස් වෙනවා).

1960 දි භෞතික මානව විද්‍යාඥයන්ට අතපය දිගඅරින්න, තමන්ගෙ විද්‍යාත්මක උපන්‍යාස ගොඩනගන්න තිබ්බ ඉඩකඩ ප්‍රමාණය සාපේක්ෂව ඉතාමත් අල්පයි. දැන් ඔය 1960 ගැනනෙ කතා කරේ. 1960 වර්ශයේ ඉඳන් තවත් අවුරුදු 101 ක් පිටිපස්සට ගියාම තමයි අපිට චාර්ල්ස් රොබර්ට් ඩාර්වින් කියන මනුස්සයව මුණගැහෙන්නෙ. ඩාර්වින් on the origin of species ලියන්නෙ 1859 දි. මේ වෙද්දි ඔය මානව පරිණාමික වෘක්ෂයට අයත් ෆොසිල කියලා උපන්‍යාස ගොඩනගන්න තරම් සාධක ඩාර්වින්ට තිබුනෙ නෑ. යාන්තන් origin of species මුද්‍රණ ද්වාරයෙන් එන්න වසර තුනකට කලින් ජර්මනියේ නියැන්ඩර් නිම්නයේ හුණුගල් ගුහාවකින් මානව අස්ථි කිහිපයක් හොයාගන්නවා. මේවා තමයි 1863 වර්ෂයේදි නියැන්ඩර්ටාල් මානව විශේෂයේ ටයිප් නිදර්ශකය බවට පත්වෙන්නෙ. 1856 දි මේවා හොයාගත්තට මේ ගැන ශාස්ත්‍රිය ප්‍රකාශනය ඉදිරිපත් වෙන්නෙ 1858 වර්ෂයේදි. ඒ කියන්නෙ origin of species ලියවෙන්න අවුරුද්දකට කලින්. 1858 දි මේ පත්‍රිකාව ප්‍රකාශයට පත්වුනත් ඒ ගැන ලියවෙන්නෙ ජර්මානු භාෂාවෙන්. ජර්මානු ජාතික ෆොසිල විද්‍යාඥ හර්මන් ෂෆෞසන්ගෙ නියැන්ඩර්ටාල් පත්‍රිකාව වැඩිය ඇස නොගැටුන ජර්මානු ජර්නලයක පලවුන නිසා 1859 වෙද්දි එය ඩාර්වින්ගෙ ඇසගැටුනා කියලා හිතන්න අමාරුයි. 1861 වර්ෂයේදි තමයි ඇත්තටම ඔය ප්‍රකාශනය ජෝර්ජ් බස්ක් විසින් ඉංග්‍රීසී භාෂාවට පරිවර්තනය කරන්නෙ.

මට ඉස්මතු කරන්න අවශ්‍ය වුන කාරණය තමයි on the origin of species ලියවෙද්දි ඩාර්වින්ට මානව ෆොසිල දකින්න ලැබිලා නෑ කියන එක. මේ නිසාම ඩාර්වින් on the origin of species ලියද්දි හරි පරිස්සම් වෙනවා. සමස්ථ ජීවී විශේෂ සඳහාම සමාන්‍යකරණය කරන ඩාර්වින්ගෙ පරිණාමය ලියවෙද්දි ඩාර්වින් එකල තිබුනු සමාජීය පසුබිමත් එක්ක මැරුම් නොකා ඉන්න වගේම තමන්ගෙ සිද්ධාන්තය මානවයන්ටත් අදාලයි කියලා නොකියා කියන්න පොඩි ඉඟියක් දෙනවා on the origin of species ග්‍රන්ථයේ අවසන් පරිඡ්ඡේදයේ. ඉතාම කෙටි වචන කිහිපයකින් ඔහු සඳහන් කරනවා

“light will be thrown on the origin of man and his history”
(මිනිසාගෙ සම්භවයත් ඉතිහාසයත් පිළිබඳව ආලෝකය පතිත වනු ඇත)

(ඕක තියෙන්නෙ 1859 වෙලුමෙ 488 වෙනි පිටුවේ. කවුරුහරි රිෆර් කරනවානන් අලුත් එඩිශන්වල පිටු, වචන වෙනස් වෙන්න පුළුවන්.)

ඉතින් on the origin of species පොත සන්තකේටම මිනිසාගෙ සම්භවය ගැන ඩාර්වින් ලියන්නෙ ඔය වචන දෙක තුන විතරයි. 1859 ඉඳන් 1871 වෙද්දි ඩාවින්, හක්ස්ලි, අර්න්ස්ට් හේක්ල්, වොලස් එහෙම වාද කරපු ලෝකය ටිකක් විතර වෙනස් වෙනවා. ඩාර්වින්ට යාන්තන් මැරුම් නොකා දෙයක් කියන්න පුළුවන් තත්වයක් ඒ වෙද්දි ගොඩනැගිලා. 1871 දි The Descent of Man, and Selection in Relation to Sex කෘතිය ඩාර්වින් විසින් එලිදක්වනවා. මිනිසාගෙ සම්භවය පිළිබඳ ඩාර්වීනියානු විග්‍රහය පූර්ණ ලෙස එලිබහින්නෙ මේ කෘතියෙන්. අර කලින් කිව්ව නියැන්ඩර් ටයිප් නිදර්ශයක ගැන මෙන්න මේ පොතේ යාන්තමට ඩාර්වින් සඳහන් කරනවා. පිටු 800 කට එහා තියෙන Descent of man පොතේ නියැන්ඩර්ටාල් ෆොසිල් ගැන කියවෙන්නෙ පේලි කිහිපෙකින් පමණයි.

“some skulls of very high antiquity, such as the famous one of Neanderthal, are well developed and capacious.”

සරලවම කිව්වොත් ඩාර්වින් මිනිසාගෙ සම්භවය ලියද්දි ඔය අද අපි දකින මානව පරිණාමික වෘක්ෂයේ දුසිම් දෙක තුනක විශේෂ ප්‍රමාණය වෙනුව⁣ට දැනන් හිටියේ අද දන්න විශේෂ අතුරින් එකම එක් විශේෂයයි, ඒකත් වෙන් විශේෂයක් ⁣විදිහට නෙවෙයි විකෘතිවු සේපියානු සම්භවයක් ලෙස තමයි හඳුනගෙන තිබ්බෙ එවක. නමුත් එතරම් සාධක විරල කාල සීමාවක සිට ඩාර්වින් සිදුකල පෙරයීම් අද වෙද්දි 100% නිවැරදි පෙරැයීම් බවට පත්වෙලා තියෙනවා.

උදාහරණයක් වශයෙන් Descent of man කෘතියේ ඩාර්වින් සඳහන් කරනවා මානව පරපුරේ ආදීතමයන්ගෙ ෆොසිල අප්‍රිකානු මහද්වීපයෙන් හමුවනු ඇති බව.

“In each great region of the world the living mammals are closely related to the extinct species of the same region. It is, therefore, probable that Africa was formerly inhabited by extinct apes closely allied to the gorilla and chimpanzee; and as these two species are now man’s nearest allies, it is somewhat more probable that our early progenitors lived on the African continent than elsewhere”

ආසන්න පරිවර්තනය

“ලොව සෑම ප්‍රදේශයකම පාහේ ජීවත්වන ක්ශිරපායින් එකී ප්‍රදේශවල ජීවත්ව වඳව ගිය විශේෂවලට පරිණාමික බන්ධුතා දක්වයි. ⁣එමනිසා අප්‍රිකාව තුල ජීවත්වන චිම්පන්සීන් සහ ගොරිල්ලන්ට පරිණාමික බන්ධුතා දක්වන වානර විශේෂ පෙරකල ජීවත්ව වඳව ගිය බවට අනුමාන කල හැකි වේ. මේ විශේෂ ද්විත්වය වර්තමානයේදි මානවයන්ට ලඟම ඥාතීත්වයක් දක්වන විශේෂ ද්විත්වය බැවින් අපගේ ආදීතමයන් වෙන කුමන ප්‍රදේශයකටත් වඩා අප්‍රිකානු මහද්වීපය තුල ජීවත්වු බවට සැලකිය හැකිවේ”

ඩාර්වින් මේ ප්‍රකාශය කරන්නෙ 1871 දි. ඒ ප්‍රකාශයෙන් වසර 53 කට පසු තමයි අප්‍රිකානු මහද්වීපයෙන් පළමු මානව පරිණාමයට අදාල ෆොසිලය රේමන්ඩ් ආතර් ඩාර්ට් විසින් සොයාගනු ලබන්නේ. ඒ 1924 දි සොයාගනු ලබන ඔස්ට්‍රලොපිතකස් ඇෆ්රිකානුස් විශේෂය. 1924 වර්ෂය වෙද්දි ඩාර්වින් මිය ගිහින් වසර 42 ක් ගතව අවසන්.

මේ අවුරුද්දෙ (2021) ජුනි 25 වෙනිදා චීනයෙන් නව මානව විශේෂයක් ප්‍රකාශයට පත්වුනා. Homo longi ලෙස විද්‍යාත්මකව හඳුන්වන මේ විශේෂය ගැන වැඩිදුර තොරතුරු කියවද්දි අද දකින මානව වංශකතාවේ ෆොසිල සාධක ප්‍රමාණයත් ඒවායේ යම් කාලනුක්‍රමික රටාවක් තුල දක්වන විහිදීමත් දකිද්දි මතක් වුනේ මේ අවුරුද්දට ඩාර්වින් Descent of man ලියලා වසර 150 ක් බව.

ඔය පහල තියෙන්නෙ ලෝකයේ ඕනෑම ස්වාභාවික කෞතුකාගාරයකට ගියාම දකින්න ලැබෙන මානව පරිණාමික වෘක්ෂයේ ෆොසිල සාධක අතර අනුක්‍රමික රටාව පිළිඹිඹු කරන ෆොසිල ප්‍රතිනිර්මාණ. එකඳු මානව ෆොසිලයක් හෝ නිසියාකාරව අධ්‍යනය කිරීමට වරම් නොලද ඩාර්වින් ස්වාභාවික විද්‍යා ලෝකය කළඹන්නෙ අද මේ අපි දකින කිසිවක් නොදැක නොදැන. නමුත් මේ ලිපිය ආරම්භයේදි සඳහන් කලා වගේ ඩාර්වින් දැනන් හිටියා කාලයත් සමඟ “මිනිසාගෙ සම්භවයත් ඉතිහාසයත් පිළිබඳව ආලෝකය පතිත වනු ඇති බව”…. ඩාර්වින් මේ සොයා ගැනීම් අද දුටුවානන් කුමක් සිතනු ඇද්ද..? ඒක හරිම කුතුහලය දනවන ගැටලුවක්. ඩාවින් නොදුටු ඉරෙක්ටස්, හැබිලිස්, අර්ගැස්ටර්, ඩෙනිසෝවන්, ෆ්ලොර්සියෙන්සිස්, ඇෆ්රිකානුස්, ඇෆාරෙන්සිස්, නාලේඩි සිට ලොන්ජි දක්වා වංශකතාව වසර 150 කට මත්තෙන් ලියවුන ඩිසෙන්ට් ඔෆ් මෑන් කෘතියට දිනෙන් දින ආලෝකය එක් කරනු ලබනවා. ඩිසෙන්ට් ඔ⁣ෆ් මෑන් වනාහී අතීතයත්, වර්තමානයත්, අනාගතයත් යන තුන්කල් දුටු ,එකල් පිළිබඳව ලියවුන ශ්‍රේෂ්ඨතම කෘතියක් බවට පත්වෙන්නෙ ඒ නිසා.

මම ස්වභාව විද්‍යා කෞතුකාගාරයකට අඩියක් තබන වාරයක් පාසා මේ මානව පරිණාමික වෘක්ෂයේ ප්‍රතිනිර්මාණය දෙස විශ්මයෙන් යුතුව බලා සිටිනවා. කොපමණ වාරයක් ඒවා දැකගත්තත් දකින වාරයක් පාසා මට අලුත් ප්‍රශ්න ඇතිවෙනවා, අලුත් දේවල් ඉගෙන ගන්නවා, අලුත් විදිහකට නරඹන්න පුරුදු වෙනවා. ඒ එක්කම විනාඩියක් නැවත ප්‍රශ්න කරනවා… ‘ඩාර්වින් මේවා දුටුවානම් කුමක් සිතනු ඇත්ද ?”

Leave a Reply

Your email address will not be published.