Opinion

ඩොක්ටර් අම්මිට හචිස්..

Summary

වෛද්‍යවරයාගේ ඊළඟ පැණය යොමු කිරීමට මත්තෙන් තරැණියගේ මව වහලේ උළු උඩ යන තරමේ හචිමක් යැව්වාය.

  • Save

ඔබ දන්නා කියන කෙනෙක්ට මේ වන විටත් කෝවිඩ් වැළඳී නැත්නම් ඉන් අදහස් කරන්නෙ ඔබගේ සමාජ ආශ්‍රය මද බවය. එබැවින් වසංගතය අහවර වූ සැනින් මිනිසුන් සමග ජීවත් වන්නට අධිෂ්ටානයක් කර ගනු යෙහෙකි – (පෝදාට පසුදා සිතුවිල්ල)
එහෙත් කිඹුහුන් යන සැමටම කෝවිඩ් ද නොවේ. කිඹුහුන් යෑම සඳහා බලපෑ හැකි සාධක එමටය.
මෑතක දී මා හිත මිත්‍ර වෛද්‍යවරයෙකු මුණ ගැසීමට තරැණ කාන්තාවක් සිය වයෝවෘද මෑණියන් ද සමග පැමිණියාය.
“ඩොක්ටර්, අම්මිට නන්ස්ටොප් හචිස් යනවා. අනේ පොඩ්ඩක් බලන්නකෝ”
තරැණි පින්සෙණ්ඩු වූවාය.
“දැන් කොච්චර කල් ඉඳන් ද මේ කිඹුහුන් යන ලෙඩේ තියෙන්නේ”
වෛද්‍යවරයා විමසීය.
“මාසෙක දෙකක ඉඳන් ඩොක්ටර්”
තරැණ කාන්තාවගේ ලතාව වෛද්‍යවරයාට ඇල්ලුවේ නැත. ඈ සිටියේ හිස වට ශෝලයක් ⁣දවටා ගෙන, විශාල කලු පැහැති අව් කණ්නාඩි යුගලක් හා කලු පැහැති මාස්කයක් පැළඳ සුදු ද කලු ද වත් කියා සොයා ගත නොහැකි වන අන්දමිණි. ඇගේ මේ අධි ආරක්ෂිත පිළිවෙත පිළිබඳ වෛද්‍යවරයාගෙ සිතෙහි උපන්නේ කුකුසකි. මක් නිසා ද යත් වසංගතයක් වුණත් ලස්සන තරැණ කාන්තාවන් දිහා බැලීමට වෛද්‍යවරැ ප්‍රිය වන බැවිණි (එය නොලියන්නැයි ඔහු මට තර්ජනය කළේය).
“අපි කෝකටත් රැපිඩ් ඇන්ටිජෙන් ටෙස්ට් එක කරලා බලමු”
වෛද්‍යවරයා කීය. මහළු කාන්තාවගේ මුහුණේ විසුළු සිනහවක් පහළ විය. පරීක්ෂණය කරන අතරෙ තරැණියගේ මව ‘චිස් චිස් චිස්’ ගා ආචාර වෙඩිමුරයක් සේ කිඹුහුම් තුනක් ඇරියාය. වෛද්‍යවරයා පියවර තුනක් පසුබෑවේය. ඈ යළිත් පෙර සිනාව පෑය.
“ටෙස්ට් එක නෙගටිව්”
වෛද්‍ය සහයකයා මොහොතකින් පැමිණ පැවසුවේය. මහළු කත හිස නමා බයාදු සිනහවක් පෑවාය. තරැණිය හිසේ අත ගසා ගත්තාය.
ඒ සමගම ‘බීප් බීප්’ ගා වෛද්‍යවරයාගේ දුරකථනයේ එස්.එම්.එස්. සංඥ්‍යාව නාද විය. කෙටි පණිවිඩය නද දෙන අතරේ තරැණියගේ මව මහ හඩින් දිගු හචිමක් යැව්වාය.
“මන්ත්‍රී පියල් නිශාන්තට කෝවිඩ් හැදිලා”
වෛද්‍යවරයා දුරකථනයේ කෙටි පණිවිඩය දිග හැරියේය.
“අනේ පව්”
තරැණිය කීවාය. ඇගේ මව බක බක ගා හඬතලා සිණාසුණාය. තරැණිය මවට එරෙව්වාය. මහළු කතගේ විසුළු සිනාව මුව ආවරණය යටින් හරි හැටි නොපෙණුනත් එය මවා ගැනීම අපහසු නොවීය.
“බීප් බීප්”
වෛද්‍යවරයාගේ දුරකථනයේ කෙටි පණිවිඩ ප්‍රවෘත්ති සේවාව යළිත් ක්‍රියාත්මක විය.
“වාසුදේවටත් කෝවිඩ් හැදිලා”
වෛද්‍යවරයා කීය. තරැණිය ‘ඉතිං අපිට මොකද?’ වගේ ගැස්සිල්ලක් පෑවාය. ඇගේ මව දුක් සුසුමක් හෙළුවාය.
වැඩි වෙලාවක් ගත වූයේ නැත. මහළු කත ගිගුම් දෙමින් තව හචිමක් යැව්වාය. ඒ සමගම දුරකථනයට බ්රේකින් ප්‍රවෘත්තියක් ද ආවේය.
“සෞඛ්‍ය ඇමති පවිත්‍රාටත් කෝවිඩ්ලු”
මහළු කත බක බක ගා මහ හඩින් නොනවත්වා සිනා සෙන්නට වන්නීය. එවිට නැවතත් තරැණිය මවට එරෙව්වාය.
“අම්මට ඒක විහිළු. ඒ කවුරැත් මිනිස්සු අම්මේ”
වෛද්‍යවරයාට මේ හතර බීරි කතාවේ අගක් මුලක් සිතාගත නොහැකි විය.
“මගේ ෆෝන් එකට එන මැසේජුයි ඔයාගෙ අම්මට යන කිඹිහිලියි අතරෙ සම්බන්ධය මොකක්ද?”
වෛද්‍යවරයා විමසීය.
“අනේ ඩොක්ටර් මේකයි ප්‍රශ්නෙ. අර ධම්මික පැණිය බීපු කෙනෙක්ට කෝවිඩ් හැදුණු ගමන් අම්මිට හචිස් යනවා. ඇයි ද මන්ද?”
තරැණිය තොදොල් වූවාය.
“මේ ධම්මික බණ්ඩාරගෙ මවද?”
වෛද්‍යවරයා මහළු කත පෙන්වා අඩමානයට ඇසුවේය.
“පිස්සුද ඩොක්ටර්. මේ මගේ අම්මි”
තරැණිය කීවාය.
“ඒ කියන්නේ මේ ධම්මිකගේ නැන්දම්මා”
දොස්තර ලෙඩේ සොයා ගත්තාක් මෙන් ප්‍රීතියෙන් ඇසීය.
“ඔල්මොරොන්දන්ද ඩොක්ටර් මම යකෙක් බැන්දත් බාස් කෙනෙක් නම් බඳින්නෙ නෑ”
වෛද්‍යවරයාගේ ඊළඟ පැණය යොමු කිරීමට මත්තෙන් තරැණියගේ මව වහලේ උළු උඩ යන තරමේ හචිමක් යැව්වාය. ඒ සමගම වෛද්‍යවරයාගේ දුරකථනයේ ප්‍රවෘත්ති ඇලර්ටය ද නාද විය.
ගම්දෝ නොගම්දෝ චකිතයෙන් වෛද්‍යවරයා තරැණිය දෙස බැලුවේය. එවර ඔහ දුටු දසුනින් හේ පුටුවෙන් නැගිටුණේය. මවගේ හයිපවර් හචිම නිසා ඈ හිස වටා දවටා ගෙන උන් ශෝලය ගැලවී ගොසිණි. මූණට වැදුණු කෙළ පහර පිස දමනු වස් ඈ අව් කණ්නාඩි යුගලයද ගලවා අතට ගෙනය. වෛද්‍යවරයාට දැන් ඈ කවුදැයි පැහැදිළිය.
“කාලි, ඔයා….”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap