Opinion

ණය ශ්‍රේණිගත කිරීමේ දේශපාලන ආර්ථිකය

Summary

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන (CRA) අයිති කාටද? ඔවුන් රටක් ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගන්නා නිර්ණායක මොනවාද? ස්වෛරී රාජ්‍යයන් ඇගයීමට ඔවුන්ට මෙතරම් බලයක් ලබාදෙන්නේ කවුරුන්ද?

  • Save

පසුගිය සති දෙක තුළ බොහෝ කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ අන්තර් ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් ශ්‍රී ලංකාව බී -ශ්‍රේණියේ සිට සීසීසී+ දක්වා පහත් කිරීමයි. මූඩීස් ඉන්වෙස්ටර් සර්විසස්, ෆිච් රේටින්ස් සහ එස් ඇන්ඩ් පී යන ප්‍රධාන ආයතන 3 ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරභාවය සහ මූල්‍ය අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ණය ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක සිටින බවට අනතුරු ඇඟවීමක් කර ඇත. ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමට ඇති හැකියාව එසේ නැත්නම් ණය ශ්‍රේණිය අනුව මෙරට දැන් ආර්ජන්ටිනාව, මොසැම්බික් සහ බෙලීස් වැනි රටවල් තත්ත්වයට පත්වී ඇති බව මෙම ආයතන තුන ප්‍රකාශ කරයි.

මෙම ආයතනවල ණය තක්සේරුකරුවන් පවසන්නේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැනි අංශ හරහා ආදායම් ගැනීමට රජයට ඇති හැකියාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි. තවද 2021 අය වැය ප්‍රකාශයේ සඳහන් පරිදි ජනතා සුබසාධනය උදෙසා වැයවන වියදම් වැඩි කිරීමට ගත් තීරණය රටක මූල්‍ය හා ආර්ථික අර්බුදයක් පවතින වාතාවරණයක නොකළ යුතු දෙයක් බවත් මෙම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවල තර්කයයි. මෙය ඇසූ සැණින් විපක්ෂයේ සිටින ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසුවේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත වැටීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාත ඉහළ යමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාවට ඇති එකම පිහිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) බවත්, මෙම රජය වහාම IMF හි සහාය ලබාගත යුතු බවත්ය.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පිළිබඳව රජය පවසන්නේ මෙම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 2021 අය වැය යෝජනා තුළින් ඉදිරියට ඇතිවීමට නියමිත ධනාත්මක වර්ධනයන් නොසලකා හැර ඇති බවත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හිඟය සහ බාහිර හිඟය ඕනෑවට වඩා වැඩියෙන් උලුප්පා ඇති බවත්ය. විපක්ෂය පුන පුනා කියන්නේ ශ්‍රී ලංකාව ඉදිරියේදී රාජ්‍ය ණය පැහැර හරින රටක් බවට පත්වීමට ඉඩ ඇති බවයි.

රජය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන මහා බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් පසුගිය සතියේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ රට තුළ ඇති කර තිබෙන භීතිය පදනම් විරහිත බවයි. ශ්‍රී ලංකා රජය කිසිවිටෙකත් ණය පැහැර හැර නොමැති බවත්, පැහැර හැරීමේ සැලසුමක්ද නොමැති බවත්ය. 2021 සිට රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීමේ මාවතක් අනුගමනය කිරීමට සහ අය වැය හිඟයන් පියවා ගැනීම සඳහා දේශීය ණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව රජය පවසයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් කරන ප්‍රකාශ ඒවාට විපක්ෂය සහ රජය දෙන පිළිතුරු සහ යෝජනා අප තේරුම් ගත යුත්තේ කෙසේද?

ශ්‍රේණිගත කිරීම යනු ණය ගැතියකුට තම ණය ආපසු ගෙවීමට සහ නියමිත වේලාවට පොලිය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව බාහිර පාර්ශ්වයක් විසින් දෙන තක්සේරුවකි. රටක ණය ශ්‍රේණිය එම රටට ණය දීමට කැමැති පුද්ගලික ආයෝජකයන්ට කරන ආමන්ත්‍රණයකි. මේ අවස්ථාවේ කතාබහට ලක්වී ඇති ගැනුම්කරු ශ්‍රී ලංකා රජයයි. රජයකට හෝ සමාගමකට ණය ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළවල බැඳුම්කර නිකුත් කිරීමට අවශ්‍ය වූ විට ණය ගැනුම්කරු අවම වශයෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකකින් ණය ශ්‍රේණිගත කිරීම් ලබාගැනීම අනිවාර්ය වේ.

විභාගයකදී A,B,C,S හෝ F වැනි විවිධ ශ්‍රේණි ලබා ගන්නා සේම ණය ගැනුම්කරුවන්වද විවිධ ශ්‍රේණිගත කිරීම් කෙරේ. යම්කිසි රටක් ලබා ඇති ශ්‍රේණිය මත පදනම්ව, අනාගත ආයෝජකයන්ට එම රටට ණයදීමේ අවදානම තක්සේරු කළ හැකිය. අවදානම් තක්සේරු කිරීමෙන් පසු ආයෝජන තීරණ ගැනීමට ආයෝජකයන්ට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සහාය දෙති. මෙය ජාත්‍යන්තර ණය වෙළෙඳපොළේ එක් යාන්ත්‍රණයකි. ණය ශ්‍රේණිගත කිරීම් ආදාළ වන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමෙන් රජය ලබාගන්නා ණය සඳහා පමණකි. එනම් ජාත්‍යන්තර ණය වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමට පමණක් මෙම ශ්‍රේණිගත කිරීම වැදගත් වේ.

රටක් සතුව ණය ලබාගැනීමට ඇති එකම මාර්ගය මෙය නොවේ. මිත්‍රශීලී රටවල්, ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සහ ඊට අමතරව දේශීය වෙළෙඳපොළවලින් ණය ලබාගැනීම සඳහා මෙම ශ්‍රේණිගත කිරීම වැදගත් නොවේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට පහත් ශ්‍රේණියක් හිමිවීමේ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමෙන් ණය ලබාගැනීමට අවශ්‍ය නම් ආයෝජකයන්ට වැඩි පොලී අනුපාතයක් ගෙවීමට සිදුවීමයි. ශ්‍රී ලංකාවේ බැඳුම්කර පොලී අනුපාතය වැඩිවන විට ඒවා සඳහා ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ඇති ඉල්ලුම පහත බසී.

තවද මෙම ශ්‍රේණිගත කිරීම් නිසා ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වයට ඇති වන හානිය හේතුකොටගෙන රජය ඉබේම ‘අවසාන ණය දෙන්නා’ වන IMF වෙතට ඇදී යාමට ඉඩකඩ ඇත. විපක්ෂයේ ආචාර්ය හර්ෂට ඕනෑකර තිබෙන්නේ මෙයයි. එහෙත් IMF මෙවැනි අවස්ථාවක ණය ලබාදෙන්නේ කොන්දේසි රාශියක් සමගය. IMF ඇප ලබාදීමත් සමග නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීමට හැකි වුවද, කප්පාදු කර ඇති විදේශීය ආනයන යළි ස්ථාපිත කිරීමට විශාල බලපෑමක් ඇති කිරීමට නියමිතය.

ණයට ගත් ආනයන මත දුවන ආර්ථිකය මඳක් වෙනස් කිරීමට රජය විසින් ගත් යම් යහපත් තීරණ වෙනස් කොට ආර්ථිකය පීලි පැන්නවීමට IMF කටයුතු කරනු ඇත. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වන රිකාඩෝ හවුස්මාන් ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථික ප්‍රතිපත්ති තවතවත් නව ලිබරල් මූලධර්මවලට අනුකූලව හැඩගැසීමට අධික වෙහෙසක් දරන්නේ තනියම නොවේ. ඇඩ්වොකාටා නමැති ශ්‍රී ලාංකික පර්‌යේෂණ සංසදය සහ අනෙකුත් නව ලිබරල්වාදී ආයතන සමග ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට මෑතක සිට විවිධ උත්සාහවල නිරත වන බවක් පෙනේ.

මෙම නව ලිබරල් දෘෂ්ටිවාදාත්මක කඳවුරට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකා රජය කොවිඩ් වසංගතයට මුහුණ දීමේදී ගත් ආනයනය සීමා කිරීම වැනි විවෘත ආර්ථික ප්‍රතිපත්තිවලට පටහැනි නොයෙක් ආර්ථික ක්‍රියාවලීන් පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමයි. IMF හෙවත් ‘අවසාන ණය දෙන්නා’ වෙත ශ්‍රී ලංකාව යොමු කළහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අයි.එම්.එෆ්. ඇඩ්වොකාටා සහ හවුස්මාන් වැන්නන් නැවත ඉදිරියට එනු ඇත. එහෙත් මෙම අවාසනාවන්ත ඉරණම මඳකට හෝ පමා කර සිටින්නේ චීන රජයයි.

1980 දශකයේ සිට ශ්‍රී ලංකාව, පකිස්ථාන වැනි දකුණු ආසියානු රටවල් ඔවුන්ගේ ආර්ථිකයන්හි ගෙවුම් ශේෂ අර්බුද විසඳීමට ණය ලබාගත්තේ IMF සංවිධානයෙන්ය. මෙලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අර්බුද විසඳීමට අවසන් වරට ඇප දෙන්නා IMF ය. 1991 දී ඉන්දීය ආර්ථික අර්බුදය විසඳීමට ණය දුන් අවස්ථාවේ IMF විසින් ඉන්දීය ආර්ථිකය විදේශීය සමාගම් සඳහා විවෘත කරන ලෙස කොන්දේසි පැනවූයේය. මෙම කොන්දේසි ගොන්නට ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ඇතුළත් වූ අතර, රජයට අයත් සමාගම් පෞද්ගලිකරණය කිරීම සහ ඉන්දියාවේ ඓතිහාසිකව පැවැත්වුණු සමාජ ධනවාදී ආර්ථිකයේ විශාල ලෙස වෙනස් කිරීම මෙම කොන්දේසි ක්‍රියාත්මක වීමෙන් සිදුවිය. මෙම ව්‍යුහාත්මක මගින් වාසි වූයේ ඇමරිකාවටයි. ඇමරිකාව IMF සංවිධානයේ විශාලතම දායකයා වන අතර 16.52%ක ඡන්ද ප්‍රතිශතයක් දරන රටයි. ඉන්දියාවේ ආර්ථිකය IMF කොන්දේසි අනුව හැඩගැසීම නිසා ඇමරිකන් සමාගම්වලට ලොව තෙවැනියට විශාලතම වෙළෙඳපොළට අවතීර්ණ වීමට අවස්ථාව හිමි විය.

පසුගිය වසර 15 තුළ ජංගම සහ මූල්‍ය ගිණුම්වල හිඟයන්ට මුහුණදෙන රටකට ණය දීමට ඉදිරිපත් වූයේ චීනය පමණි. ශ්‍රී ලංකාවටද වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැත. 2007දී ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ඩොලර් මිලියන 500ක බැඳුම්කර නිකුත් කළ ශ්‍රී ලංකාවට දශකයක් තුළදී ඩොලර් බිලියන 15.3ක ණය ස්කන්ධයක් දැරීමට සිදුවූයේ ජාත්‍යන්තර වාණිජ මූල්‍ය යාන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අවස්ථාවේ තිබුණු ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට චීනය ලබාදුන් අතර එයින් ශ්‍රී ලංකාවට දිගුකාලීන ප්‍රතිලාභ ලැබී ඇති බව අප පිළිගත යුතු කරුණකි. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත බාහිර ණය ප්‍රමාණයෙන් චීනය සතු වන්නේ 12%කි. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන්නේ ජපානයයි.

මෙම තත්ත්වය ඉදිරියට වෙනස් විය හැකි නමුත් බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව විශාල වශයෙන් ණය වී ඇත්තේ බහුපාර්ශ්වික ආයතනවලට සහ ජාත්‍යන්තර වාණිජ මූල්‍ය වෙළෙඳපොළට බවයි. ශ්‍රී ලංකාව ණය අර්බුදයක වෙළී සිටින බව සත්‍යයකි. නමුත් මෙම අර්බුදය ඇති වී තිබෙන්නේ චීනයෙන් ලබාගත් ණය නිසා නොවේ. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ණය එකතු වී තිබෙන්නේ බැඳුම්කර නිකුත් කිරීම සහ ආනයන සඳහා විදේශ විනිමය ලබාදෙන කාලීන මූල්‍ය පහසුකම් හරහාය. මෙයට සම්බන්ධ වී ඇත්තේ IMF වැනි බටහිර බහුපාර්ශ්වික ණය දෙන ආයතන වන අතර ඔවුන් නැවත නැවතත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට ඇඟිලි ගැසීමට උත්සාහ ගෙන තිබේ. දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම සහ සමාජ සුබසාධනය උදෙසා රාජ්‍ය මුදල් වැයකිරීම IMF වැනි සංවිධානවල දෘෂ්ටියට සෘජුවම පටහැනි වේ. මෙවැනි පසුබිමක IMFහි පිහිට පැතීමට රජය උත්සුක නොවීම අගය කළ යුතු පියවරකි.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන (CRA) පිළිබඳව යමක් කිව යුතුය. 2019 නොවැම්බර් මස පැවැතුණු ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රධාන CRA ආයතන වන ෆිච් S and P සහ මූඩීස් දිගින් දිගටම ශ්‍රී ලංකාව හෙළා දකින ප්‍රකාශ නිකුත් කර තිබේ. මෙය පාදක වූයේ රජය විසින් වක්‍ර බදු අඩුකිරීම, පොලී අනුපාත අඩුකිරීම සහ අනවශ්‍ය ආයතනික භාණ්ඩ සීමා කිරීම වැනි ප්‍රතිපත්තීන්ය. මෙම CRA අයිති කාටද? ඔවුන් රටක් ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගන්නා නිර්ණායක මොනවාද? ස්වෛරී රාජ්‍යයන් ඇගයීමට ඔවුන්ට මෙතරම් බලයක් ලබාදෙන්නේ කවුරුන්ද?

ඉහත සඳහන් ප්‍රධාන CRA ආයතන 3ටම ලෝකයේ විවිධ රටවලින් චෝදනා එල්ල වී තිබේ. ඒ ව්‍යාජ ශ්‍රේණිගත කිරීම්, දෝෂ සහිත ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේද, ස්වෛරී රටවල රාජ්‍ය ප්‍රතිපත්තිවලට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම සහ දේශපාලන පක්ෂපාතීත්වය වැනි සදාචාර විරෝධී ක්‍රියාවන් නිසාය. මෙම ක්‍රියාවන්වල ප්‍රභවය CRA ව්‍යාපාරවල ආකෘතියයි. CRA මොඩලයට අනුව ශ්‍රේණිගත කරන ආයතන භාවිත කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ගනුදෙනු කරන ආයෝජකයන්ය. ශ්‍රේණිගත කිරීම් සඳහා ගෙවීම් සිදුකරන්නේද ඔවුන්මය. CRA ආයතන ඔවුන්ගේ ආදායම් ප්‍රභවයන්ගේ තිරසාරභාවය සුරැකීමට සහ සැලකිලිමත්වීමට බැඳී සිටී. ඔවුන්ගේ සහ CRA ආයෝජකයන්ගේ ආදායම සහ අනාගත ලාබ ආරක්ෂා කර ගැනීමට CRA ආයතන නිරන්තරයෙන් උත්සහා ගන්නා අතර ඒ සඳහා තම ශ්‍රේණිගත කිරීමේ යාන්ත්‍රණය යොදාගනී.
උදාහරණයක් ලෙස යම් රටකට හෝ සමාගමකට ලබාදෙන ශ්‍රේණියක් හේතුවෙන් තම ආයෝජකයන්ගේ ලාබයට හානියක් සිදුනොවීමට CRA වගබලා ගනිති. CRA ආකෘතියේ ඇත්තේ ලබැඳියාව අතර ගැටුමකි. ලෝකයේ විවිධ මූල්‍ය අර්බුද හමුවේ CRA ආයතන තාත්වික දත්ත නොපෙන්වන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණද, CRA ආයතනවල සදාචාරාත්මක ගැටලු විසඳීමට නිසි නියාමන යාන්ත්‍රයක් නොමැත. ෆිච්, S and P සහ මූඩීස් ආයතන 80%ක ඒකාධිකාරයක් භුක්ති විඳිති. ඒ නිසා එකිනෙකාට පරස්පර අදහස් හෝ ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත්කිරීමෙන් ඔවුන් වැළකී සිටිති. CRA සහ බැඳුම්කර නිකුත් කරන සමාගම් අතරද පැහැදිලි ලබැඳියාවන් අතර ගැටුම් පවතී. මෙම CRA ආයතන තුන තම වෙළෙඳපළ කොටස අහිමි වීමට හේතුවිය හැකි ඕනෑම ක්‍රියාකාරකමක් කිරීම තුළින් තම ආධිපත්‍ය පවත්වා ගැනීමට උත්සාහ කරති.

1997 සහ 2008 ලෝක මූල්‍ය අර්බුද නිසා පාඩු විඳි ආයෝජකයන් පැවැසුවේ ඔවුන්ගේ තීරණ CRA ශ්‍රේණිගත කිරීම් සහ උපදෙස් මත ගත් බවයි. 2010 වර්ෂයේ ආරම්භ වූ ග්‍රීසියේ ණය අර්බුදය මෙම CRA ආයතන කල් තියා නොදැක්කාද? නැත්නම් අර්බුදය වෙන බව සඟවා සිටියාද? ග්‍රීක ණය අර්බුදයට දින කිහිපයකට පෙරද එරටේ ශ්‍රේණිගත කිරීම ප්‍රශංසනීය මට්ටමක තිබුණි. එනිසා ශ්‍රී ලංකා රජයද රැවටී ග්‍රීක බැඳුම්කර මිලදී ගත්තේය. ග්‍රීක මූල්‍ය අර්බුදයෙන් මංමුලා වූ ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල් සහ සමාගම් සිටියද එම අර්බුදය නිසා අතිශයින් ලාබ ලැබූ ආයෝජකයන් කණ්ඩායමක්ද සිටී. ‘ඩාට් මැනේජ්මන්ට්’ එවැනි සමාගමකි. නේචන් දූපත් පදනම්ව ස්ථාපිත වී ඇති මෙම සමාගම සාමාන්‍ය මූල්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ ‘වල්චර්’ අරමුදලක් යනුවෙනි. ‘වල්චර්’ යනු මළකුණු කෑමට හඹා එන උකුස්සන් විශේෂයකි. ණය ආපසු ගෙවීමේ දුෂ්කරතා ඇති රටවල් ආයෝජකයන්ගෙන් ද්විතීයික වෙළෙඳපොළවල අඩු මිලට බැඳුම්කර මිලදී ගැනීම මෙම උකුස්සන්ගේ උපායකි. අයෝජකයන් තම පාඩු කපා හැරීමට සහ ආයෝජනවල අවදානම මුදාහැරීම සඳහා තමන් මිලදී ගත් බැඳුම්කර උකුසු අරමුදල්වලට විකුණති.
මෙම බැඳුම්කර අඩු මිලට මිලදී ගත් පසු, ණය මුදලේ සම්පූර්ණ වටිනාකම තමන් හට ගෙවන ලෙස නිකුත් කරන රටට උකුසු අරමුදල් තදබල ලෙස බලපෑම් කරති. ඔවුන් බැඳුම්කර ඉතා අඩු මිලට ගත්තද, සම්පූර්ණ ආපසු ගෙවීම් තුළින් ඉතා විශාල ලාබයක් අත්පත් කර ගනිති. එලියට් හෙජ් ෆන්ඩ් නමැති ඇමරිකානු සමාගම විසින් මෙම උකුසු අරමුදල් ප්‍රථමයෙන් හඳුන්වා දුන් අතර 1990 දශකයේ පේරු රාජ්‍යයෙන් මොවුන් 400%ක ලාබයක් උපයා ගත්හ.

CRA ආයතන සහ ඒ හා සම්බන්ධ ආයෝජන අරමුදල් ක්‍රියාකරන්නේ අසාමාන්‍ය ආචාරධර්ම පද්ධතියක් තුළයි. මෙම පද්ධතිය තුළ ලබැඳියාවන් අතර බරපතළ ගැටුම් ඇති අතර ‘ලාභය’ එකම නීතිය සහ රීතියයි. චීනයේ විශාලතම CRA ආයතනයක් වන ඩගොං ග්ලෝබල් ක්‍රෙඩිට් රේටින් සමාගමේ ව්‍යාපාර බලපත්‍රය චීන රජය විසින් අත්හිටුවන ලද්දේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ ගැනුම්කරුවන්ගෙන් ඉතා ඉහළ ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්ය. දකුණු අප්‍රිකානු රජය ග්ලෝබල් ක්‍රෙඩිට් රේටින් ආයතනයට ලබැඳියා අතර ගැටුමක් සම්බන්ධයෙන් දඩ නියම කරන ලදී. යුරෝපයේ රටවල් කිහිපයක අධිකරණ මගින් ෆිච් ආයතනයට මෙම පදනම යටතේම කිහිපවතාවක් දඩ නියම කර තිබේ.

මෙම ලිපියෙන් අදහස් වන්නේ CRA ආයතන ක්‍රියාකාරකම් පදනම් වී ඇත්තේ නිව් යෝර්ක් සහ ලන්ඩන් හි මූල්‍ය අවශ්‍යතා බවයි. එනිසා එවැනි ආයතනවලින් කරන ශ්‍රේණිගත කිරීම් අප කියවිය යුත්තේ ඔවුන්ට ආවේණික වූ දේශපාලන ආර්ථික පසුබිමේ තබාගනිමින්ය. ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික මැතිවරණ තුනකදී ශ්‍රී ලාංකිකයන් ඡන්ද ප්‍රකාශ කළේ IMF සංවිධානයේ පදයට නැටූ රජයකට එරෙහිවය. මුදල් නෝට්ටු මුද්‍රණය නැවැත්වීම, පොලී අනුපාතය ඉහළ නැංවීම සහ රාජ්‍ය වත්කම් පුද්ගලීකරණයට රජයට එවකට නියෝග කළේ IMF සංවිධානයයි. මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවට මූල්‍ය අර්බුදයක් නොමැති බව නම් නොවේ. එහෙත් එම අර්බුදයට විසඳුම් සෙවීමට අප යා යුත්තේ IMF වෙත නොවේ.

[උපුටාගැනීම www.aruna.lk]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap