Opinion

තරහ අවසර හාමුදුරුවනේ!

Summary

අපේ හාමුදුරුවනේ, 20 එපා කියද්දී ’19 හොඳයි’ කියළත් කියැවෙන බව මතක් කර සිටිමි ගෞරවපූර්වකව. 19 යනු රට අවුල් කළ, ජාතික ආරක්ෂාව අනතුරකට විවෘත කළ, බෙදුම්වාදයට පාර කැපූ, දුර්වල සංශෝධනයකි.

  • Save

20 එපා යැයි කියන, 20න් රට අනතුරට විවෘත වනවා යැයි කියන, අපේ දැන උගත් භික්ෂුන් වහන්සේලා වෙත නමස්කාරපූර්වකව ලියමි.

20, ඒ කියන්නේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 20 ගෙනාවේ කවුද? 20 ගෙනාවේ ඉතා පැහැදිලි මැතිවරණ ජයග්‍රහණයකින් ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවයි.  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක  බහුතරයක් සමග එකී ජයග්‍රහණය මහා මැතිවරණයක් හරහා තවත් ශක්තිමත් කරගත් ආණ්ඩුවයි.

ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ඇත. ඒ කෙසේ වෙතත් ලැබූ ජනවරම අයථා ලෙස පාවිච්චි කිරීම, පාලකයින් තමන්ගේ වාසියට එම ජනවරමට විවිධ අර්ථකථන ලබා දීම ඉතිහාසය පුරා අප දැක ඇත. 1975දී සිරිමාවෝ කළේ එයයි. 1978දී, 1982දී සහ 1987දී ජේආර් කළේත් එයයි. තුනෙන් දෙකේ බහුතරය නැතිවීමට දවස් කිහිපයකට පෙර ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් සම්මත කර ගනිමින් ප්‍රේමදාස කළේත් එයමයි. චන්ද්‍රිකා කරන්න හැදුවෙත් එයයි. 2002 පෙබරවාරි 22දා රනිල් කළේත් එයයි. 18 හරහා මහින්ද කලෙත් එයයි. යහපාලන නඩය 2015 කළේත් එයයි.

මේ ආණ්ඩුවෙත් ඉන්නේ දේශපාලනඥයින්. එය කිසිවිට අමතක නොකරමු. දේශපාලනය කරන අය වංගු ගහනවා. කොළේ වහනවා. වාසිදායක දේවල්  ප්‍රසාරණය කරනවා. අවුල් දේවල් යට ගහනවා. එක අර්බුදයක් සමනය කරන්න තවත් එකක් නිර්මාණය කරනවා. එතකොට අරක අමතක වෙනවා. ‘මේක’ අමතක වෙන්න  වෙන  මොනවා හෝ මතු කරනවා. හැරිලා බලද්දී නන්දා මාලිනී ඒ කාලේ කීවා වගේ අපි හැම ආතුරයෝ.

එබැවින් ජනවරම, ජනවරම, ජනවරම කියමින් විවේචන ප්‍රතික්ෂේප කිරීම ගැන සතුටු විය නොහැක.

ඒ පළමුවෙනි කාරණය.

දෙක, 20 ගැන අනතුරු අඟවන්නේ කවූද කියා බලමු. මෙහිදී ඉදිරියෙන් කටයුතු කරන්නේ විපක්ෂය. එය එක් අතකට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ස්වභාවයයි. විපක්ෂයේ සිරිතයි. ඉතාම තක්කඩි ආකාරයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉවතලමින්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය පසෙක ලමින් 19 වෙනි සංශෝධනය නම් වූ අශික්ඛිත ලියවිල්ල සම්පාදනය කිරීමට සහ සම්මත කරගැනීමට කටයුතු කළ දේශපාලනඥයින් සහ රට අස්ථාවර කිරීම තමන්ගේ ප්‍රධාන අරමුණ කරගත් NGO නඩය මෙහිදී පෙරමුණ ගෙන ඇත. එයම මේ විවේචන බැහැර කිරීමට ප්‍රබල හේතුවක් වූවත්, එසේ නොකළ යුතුයි; මන්ද ඇතැම් විවේචන සහ අනතුරු ඇඟවීම් කරන්නේ  මේ ආණ්ඩුවට හිතවත් සහ මෙම රජය බලයට පත්කිරීමට කටයුතු කළ පිරිස් බැවිනි.

මේ ලිපිය ලියන්නේ එබැවිනි. විශේෂයෙන්ම ඔබ වහන්සේලාට ඇති අසීමිත ගෞරවය පදනම්වය.  

කුමක්ද මේ 20 වෙනි සංශෝධනය? මෙයට පිළිතුරු දෙන්න නම් ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථා සංශෝධන 2ක් පිළිබඳව සඳහන් කළ යුතු වේ.  පළමුව 13, දෙවනුව 19.  13න් කළේ රට බෙදීම නොව, රට බෙදීමට අඩිතාලම දැමීමයි. ඊලාම් සිතියමට වලංගුභාවයක් ලබා දීම ම බෙදුම්වාදයට ජයග්‍රහණයක්. 13 න් ඊලමට පාර කැපුනද, ඊලම වෙත යෑමට එක (දුර්වල) බාධකයක් විය. ඒ විධායක ජනපති ධූරය. අසීමිත විධායක බලතල එක් පුද්ගලයෙක් වෙත කේන්ද්‍රගතවීම අහිතකර බව සැබෑව. එහෙත් 13 හේතුවෙන් එම බලය එලෙස කේන්ද්‍රගතවීම අමිහිරි අවශ්‍යතාවයක් බවට පත් වී ඇත. විධායක බලතල සීමා කිරීමට නැතිනම්, සම්පූර්ණයෙන් විධායක ජනපති ක්‍රමයම අහෝසි කිරීම වෙනුවෙන් තර්ක ඉදිරිපත් කළ බොහෝ අය 13 අහෝසි කිරීම වෙනුවෙන් කිසිත් කොකියති. ඒ තක්කඩිකම නැතිනම් නොදැනුවත්කම හේතුවෙන්.  

19 වෙනි සංශෝධනයෙන් විධායක බලතල සීමා විය. ඊට අමතරව ‘විධායකය’ සහ ‘විධායක බලතල’ යන දෙකම අවුල් විය. එනම් බෙදුම්වාදයේ සොඳුරු හෙට දිනකට අඩිතාලමක් ම එමගින් සකස් විය.

19 වෙනි සංශෝධනයේ සාධනීය කොටස් ඇති බවත් සඳහන් කළ යුතුයි, අපේ හාමුදුරුවනේ. ධූර සීමාව, තොරතුරු  අයිතිය තහවුරු කරන වගන්ති, විනර්මුක්ති වරප්‍රසාද ඉවත්කිරීම යනාදිය ඉන් සමහරකි.

20 වෙනි සංශෝධනයෙන් මේ සාධනීය කොටස් අහෝසි නොවේ (විනර්මුක්ති වගන්තිය හැරුණ විට). එසේ නම් කුමක්ද මේ ‘අනතුර’? එකෙන් එක ගනිමු.

එක, ද්විත්ව පුරවැසිභාවය. යම් මොහොතක දේශපාලන අර්බුද සමනය කර ගැනීමට හෝ යම් දේශපාලන පාර්ශවයක පටු වූවමනාවන් සාක්ෂාත් කරගැනීම උදෙසා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අනුවණ බව ඔබවහන්සේලා පිළිගනු ඇත. 19 අඩංගු කළ ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්ති වල අරමුණ මෙයම විය. ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂක ලෙස නම් කළදා සිට මැතිවරණ දිනය දක්වා යහපාලයකින් ඔහුගේ පුරවැසිභාවය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව කරගැනීමෙන් මෙය මනාව පැහැදිලි වූයේය.

20න් එම වගන්ති ඉවත් කිරීමේ අරමුණ කුමන හෝ ද්විත්ව පුරවැසියෙකුගේ දේශපාලන අනාගතය තහවුරු කිරීම නම්, එම අරමුණ සාධනීය වන්නේ නැත. අරමුණ කෙසේ වෙතත්, වගන්තිය අවුල්, අපේ හාමුදුරුවනේ. ද්විත්ව-අද්විත්ව යනු පළමු පෙළ සහ දෙවෙනි පෙළ ලෙස වර්ගීකරණයක් නම් එය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව මගේ මතය වේ. ‘අනතුර’ ද්විත්ව පුරවැසියෙකුගේ පක්ෂපාතීත්වය නම්, පහත කරුණු වෙත යොමු වන ලෙස ගෞරවපූර්වකව ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටිමි.

මෙම අර්බුදකාරී ව්‍යවස්ථා ඉදිරිපත් කොට සම්මත කර ගත්තේ ද, 80 දශකය පුරා සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියම දිය කර දැමුවේ ද ජේ.ආර්. ජයවර්ධන. රජීව් ගාන්ධිට අවනත වී 13 සම්මත කරගත්තේ ද ඔහුය. ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවේ. එම දශකයේ අග භාගයේ 60,000කට ආසන්න තරුණ පිරිස් ඝාතනය කළේ ජනපති ප්‍රේමදාසගේ අනුදැනුම ඇතිවය (අමතක නොකරන්න, ඔහුට පූර්ණ විධායක බලතල තිබිණ; එබැවින් එහි වගකීම ඔහු සතු වේ). ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන්නේ ඔහුය. 600ක් පමණ පොලිස් නිලධාරීන්ට එල්ටීටීඊ යට බාර වන ලෙස අණ කළේ ද ඔහුය. ප්‍රේමදාස ද්විත්ව පුරවැසියෙක් නොවේ. බෙදුම්වාදී න්‍යායපත්‍රයට අනුකූලව තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ද්විත්ව පුරවැසියෙකු නොවේ. කොටි සමග ගිවිසුම් ගසමින්, විවිධ බාහිර බලපෑම් වලට යටත්ව ෆෙඩ්රල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිහිප සැරයක් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ද්විත්ව පුරවැසියෙකු නොවේ. තමන්ගේ දේශපාලන දිවිය දිගු කර ගැනීම සඳහා ම 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත මහින්ද රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙක් නොවේ.  නිදහසෙන් පසුව පත්වූ දුර්වලම නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ද්විත්ව පුරවැසියෙකු නොවේ. මානව හිමිකම් සභාවේ 30/1 යෝජනාවට අත්සන් තැබීමට කටයුතු කළ මංගල සමරවීර ද්විත්ව පුරවැසියෙකු නොවේ. ප්‍රභාකරන් ද්විත්ව පුරවැසියෙකුනොවේ. රෝහණ විජේවීර ද්විත්ව පුරවැසියෙකු නොවේ. එදා මෙදා තුර රට පාවා දුන්, ජනතාව ගසා කෑ, කුණුකොල්ලයට රටේ සම්පත් විදේශික බලවේගවලට නතු කළ බොහෝ දෙනා ද්විත්ව පුරවැසියන් නොවේ.

ඒත් අපගේ බොහෝ විදේශ තානාපතිවරුන්ට වඩා ශක්තිමත්ව සහ ඵලදායී ලෙස ජාත්‍යන්තර වේදිකාවේ අපගේ සතුරන්ට එරෙහිව අපගේ කතාව කියූ නේස්බි සාමිවරයා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බවත් ඔබ වහන්සේලා හමුවේ ගෞරවපූර්වකව සඳහන් කරමි.

’20 එපා’ කියන ඇත්තෝ ඉදිරිපත් කරන තවත් කරුණකි, ජනපතිගේ විනර්මුක්ති වරප්‍රසාද. 20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩු වලට අදාළව දී ඇති තීන්දුවේ උසාවිය මෙය පිළිගෙන ඇත. උසාවිය අදාළ වගන්තිය ව්‍යවස්ථාවට පටහැණි නොවන ආකාරයෙන් සංශෝධනය කළ යුතු බව පවසා ඇති අතර, සංශෝධනයක් ද යෝජනා කර ඇත. ඒ ආකාරයට සංශෝධනය කිරීමට රජයට සිදුවනු ඇත. එසේ නැතිනම්, ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.

20 වෙනි කෙටුම්පතේ විගණනය පිළිබඳව ද කරුණු ඉදිරිපත් වී ඇති නමුත්, උසාවිය මෙහි වරදක් දකින්නේ නැත. ජනපති හෝ අගමැති විගණනයෙන් නිදහස් නොවේ. මෙහි කිසිම අවුලක් නැත. 20 වෙනි කෙටුම්පතේ වගන්ති 50කට අධික ප්‍රමාණයක ඇතැයි කියූ දොස්, උසාවිය විසින් විභාග කරන ලදී. නීතිපති උසාවියට ඉදිරිපත් කළ කරුණු කාරණා අතරේ කමිටු අවස්ථාවේ සංශෝධනය කිරීමට බලාපොරොත්තු වූ වගන්ති සඳහන් විය. උසාවිය පැවසුවේ එලෙස සංශෝධනය වන්නේ නම් විශේෂ බහුතරයකින් ඒ ඒ වගන්ති සම්මත කර ගත හැකි බවයි, අපේ හාමුදුරුවනේ.

අපේ හාමුදුරුවනේ, 20 එපා කියද්දී ’19 හොඳයි’ කියළත් කියැවෙන බව මතක් කර සිටිමි ගෞරවපූර්වකව. 19 යනු රට අවුල් කළ, ජාතික ආරක්ෂාව අනතුරකට විවෘත කළ, බෙදුම්වාදයට පාර කැපූ, දුර්වල සංශෝධනයකි. එපමණක් නොව, මුල් කෙටුම්පතෙහි බරපතල ප්‍රශ්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු විය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම කෙටුම්පතෙහි සියළු අර්බුද පැහැදිලි කරන ලදී. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ට අනුකූලව එවැනි තත්ත්වයකදී කෙටුම්පත් ඉදිරිපත් කළ අය විසින් ඒවා ඉවත් කර ගනු ලැබේ. කෙසේ වෙතත් කාරක සභා අවස්ථාවේදී ඕනෑම සංශෝධනයක කළ හැක්කේ සුළු වෙනස්කම් පමණි. එහෙත් 19 විශයයෙහි දැවැන්ත සංශෝධන සිදුවිය. පාර්ලිමේන්තුව හෙම්බත් කරමින්, එම පාර්ලිමේන්තුවේ සංයුතියේ අර්බුදකාරී ස්වභාවය හඳුනාගනිමින් රනිල්-සිරිසේන ද්විත්වය එය සම්මත කරගත් බව ඔබ වහන්සේලා  විශ්වාස කරමි. 20 විශයයෙහි, සමස්ත ක්‍රියාවලිය මීට හාත්පසින් වෙනස් බව පැහැදිලිය.    

අපේ හාමුදුරුවනේ, 20 කුමටද, ව්‍යවස්ථාවම එක වරම සංශෝධනය කළා නම් වඩා හොඳ නැද්ද යන ප්‍රශ්නයද ඇතැමුන් අසා ඇත. මේ මතය සාධාරණයි අපේ හාමුදුරුවනේ.  එය ඉහළින්ම පිළිගනිමි. විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා නම්, මම ඊට විරුද්ධ වන්නේ නැත. කොන්දේසියක් ද ඇත. 13 ඉවත් කර ගත යුතුවේ. ඉන් මෙහා විධායක බලතල යහපාලන නඩය කැමැති කැමැති ආකාර වලට කප්පාදු කරනවා නම්, මම එයට දැඩිව, දැඩිව, විරුද්ධ වෙමි.

තරහ අවසරයි, අපේ හාමුදුරුවනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap