Opinion

තල්මසුන්ගේ කනට කොඳුරා කී රහස

Summary

මේ අතර කැළණි ගඟේ කෙලවරටම පැමිණි මිරිදිය මාලු ටිකක් තල්මසුන්ට කෝචොක් කරන්නට වූහ.“අඩෝ උඹලා අල්ලයි අපේ නැට්ට. අපිට දැන් ඉහෙන් බහින ලෙඩක් නෑ හරිය. අපි බඩ පිරෙන්න ප්‍රෙඩ්නිසොලෝන් ඩෝස් එකක් ගහලා ඉන්නෙ හොඳේ?”

Courtesy www.mongabay.com

පසුගිය දා ඇඳිරි නීතිය නොතකා පානදුර වෙරළට තල්මසු එකසිය ගණනක් රැස් වූහ. සමූහ වශයෙන් රැස්වීම රජය විසින් තහනම් කර තිබියෙදීත් ඒ අණ නොතකා තල්මසුන් මෙලෙස රැස් වී ඇත්තේ විශේෂ කාරණාවක් පිණිසය. ඒ දිවි නසා ගැනීම සඳහාය. ජීවිතය ගැන ආශාව සිඳී ගිය කල්හි මෙලෙස වෙරළට ඒම උන් සාමාන්‍යයෙන් කරන දෙයකි. නිරෝධායන නීති බල්ලාට දැමූ මිනිස්සු ගොස් තල්මසුන්ව අල්ලා නැවත මුහුදට දැමූහ. ඒ සඳහා ඔවුහු විශේෂ වූ කෙමක් පාවිච්චි කළහ. අවසන දී මිය ගියේ තල්මසුන් පස් දෙනෙකු පමණි.

සිද්ධ වුණු සන්තෑසිය කුමක්දැයි වටහා ගණු පිණිස විමර්ශනයක් පැවැත්වීම සඳහා රජය විද්වත් මඩුල්ලක් පත් කළේය. මම එහි සාමාජිකයෙකු වන සියල්ල දත් මුහුදු මිතුරෙකු ඇමතුවෙමි.
“තල්මසා කියන්නේ පුදුම බලගතු ආත්මයක් තියෙන ඊටත් වඩා ආත්ම ගෞරවයක් තියෙන අති පූජනීය සතෙක්”

මිතුරා තල්මසු පුරාණය දිග හරින්නට වන්නේය. කැළණි ගඟෙන් නාග රාජයා මතුවූවාක් මෙන් නොව පානදුරෙන් තල්මසුන් ගොඩ ගැසීම පිටු පස ලෝකයේ බලගතු රටවල සාගර දේශපාලනය ඇති බව ඔහු කීය.

ලෝකය පුරා කෝවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමග මිනිසුන්ට තල්මසුන් පිළිබඳවූ උනන්දුව අවම වී ගියේය. තල්මසුන් දඩයම් කිරීම සඳහා නීත්‍යානුකූල අවසරය ඇති රටවල පවා මසුන් මරන්නෝ ආහාරයට ගත හැකි වෙනත් මත්සයන් පිළිබඳව මිසක් මුන් දෙස ඇහැක් හැර නොබැලූහ. මෙවන් නින්දාවක් උපන්තෙයකට වී නැතැයි කැළඹුණු තල්මසු ලොව පුරා සිටින සිය වරිගයාට පණිවිඩ යවා වහාම පර්යේෂණයක් පැවැත්වීමට බල කලහ.

ඉහළින් ලද අණට කීකරැවූ මිරිස්ස මුහුද ආශ්‍රිතව විසූ තල්මසු ප්‍රජාව ලංකාව ගැන විපරම් කිරීමේ වගකීම බාර ගත්හ. ලංකාව ආසන්නයේ වෙසෙන තල්මසෙක්වත් විශ්වාස නොකළ යුතු බැවින් ඔවුන්ගේ සහායට අන්තර්ජාතික දූත පිරිසක් ද එක් වූහ.

“මිරිදිය සහෝදරයින් ගෙන එන නිවුස් හොඳ නෑ. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය දාලලු. ඒ නිසා අපිව බලන්න එන්න ඒ ගොල්ලන්ට විදියක් නෑ” මිරිස්සේ එකෙක් කීහ.

“මට ඇහුණා මන්නාරමේ හොර බඩු අදින ධීවරයො දෙන්නෙක් කතා වෙනවා ඔය කෝවිඩ් ද මොකක්ද එක සත්තුන්ටත් බෝ වෙනවා කියලා. අපිත් පරිස්සම් වුනොත් හොඳයි” තල්මසුන්ට මිනිසුන් කතා බස් කරන දේ ශ්‍රවණයට තරම් තීව්‍ර ඉන්ද්‍රීය පද්දතියක් තිබේ.

මේ අතර ලංකාවේ සිව්මහා ගංගාවන්හි වෙසෙන මිරිදිය මසුන්ගේ සියලු ලෙඩ රෝග සුවවී නව ප්‍රාණයක් ලැබුවාසේ ප්‍රීතියෙන් වෙසෙන බව රහස්පරීක්ෂක මාලුවෙක් තල්මසුන් වෙත පණිවිඩයක් ගෙන ආවේය. තත්ත්වය තව දුරටත් අධීක්ෂණය කිරීම සඳහා විශේෂ තල්මස් කණ්ඩායමක් කැළණි ගඟ අසබඩ මෝයට පිටත් කර හරින ලදී.

කැළණි ගඟ අසබඩට පැමිණි තල්මසුන්ට දැක ගන්නට ලැබුණේ තැන තැන මැරී පාවෙන කෙලවල්ලන් තෝරැන් සහ සාලයන්ගේ මළකුණු දහස් ගණනකි.

“පෑලියගොඩ මාර්කට් එකේ වෙළෙන්දන් කීප දෙනෙක්ට කෝවිඩ් හැදිලා. මිනිස්සු මාලු කෑම නවත්තලා. දැන් ‘මාලු මාලු’කියන සද්දෙ ඇහුනම පූසොත් හැංගෙනවා” මෝදර ස්ථානගත කර සිටී මිනී මෝරෙක් තත්තවය පැහැදිලි කළේය.

මේ අතර කැළණි ගඟේ කෙලවරටම පැමිණි මිරිදිය මාලු ටිකක් තල්මසුන්ට කෝචොක් කරන්නට වූහ.

“අඩෝ උඹලා අල්ලයි අපේ නැට්ට. අපිට දැන් ඉහෙන් බහින ලෙඩක් නෑ හරිය. අපි බඩ පිරෙන්න ප්‍රෙඩ්නිසොලෝන් ඩෝස් එකක් ගහලා ඉන්නෙ හොඳේ?”

තල්මස්සු එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. වෛද්‍ය මිත්‍යාව පිළිබඳ විශේෂඥ තල්මසෙක් තත්වය පැහැදිලි කරන්නට විය.

“මෑතකදි සෞඛ්‍ය ඇමතිනියයි තව කීප දෙනෙකුයි වයිට් මහත්තයා මතුරවලා දීපු මැටි මුට්ටි වගයක් ගංගා වලට දැම්මනේ. දැන් මේ මිරිදිය සහෝදරයෝ හිතන් ඉන්නේ ඒ මුට්ටිවල ප්‍රෙඩ්නිසොලෝන් බෙහෙත තියෙන්න ඇති කියලා”

“ඒක ඇවිල්ලා මහා බලගතු ඖෂධයක්. දෙන්න දෙයක් දන්නැති වුනාම අන්තිමට දෙන එක. වයිට් දීපු ඕක බීලා තමයි උපුල් තරංග තහනම් උත්තේජක ගත්තා කියලා ක්‍රිකටුත් තහනම් වුණේ” ක්‍රිඩා පිළිබඳ තල්මසෙක් කීවේය. ලංකාවේ මිරිදිය මසුන්ගේ හැසිරීම සම්බන්දයෙන් ද ජාත්‍යන්තර විනය පරීකිෂණයක් කිරීමට තල්මසු යෝජනා කළහ.

සෞඛ්‍ය ඇමතිත් සම්බන්ධ වුණු නිසා මේ මුට්ටි නිකම්ම නිකම් ජප කළ ඒවා විය නොහැකි බවත් කුමක් හෝ ඔසුවක් එහි තිබිය යුතු බවත් කතා කරමින් තල්මස්සු එක් තැනකට රැස් වූහ. මේ අතර එතැනට පැමිණි කුඩා මාලුවෙක් තල්මසෙකුගේ කණට කොඳුරා රහසක් පැවසීය. රහස අසා සිටි තල්මසා බෙහෙවින් කළබලයට පත්විය. ඔහු තමාට ආසන්නයේම සිටි කෙනාට රහස පාස් කළේය. නොබෝ වේලාවකින් තල්මසුන් රංචුව තුළ නොසංසුන්තාවයක් හට ගෙන එය මහා ගාලගෝට්ටියක් බවට පත් වී උහු හිස් ලූ ලූ අත පීනා යන්නට වූහ.

“අම්මෝ අපි ඉවරයි” උහු බෙරිහන් දුන්හ.

ඉන් සියයක් පමණ දෙනා පානදුර දෙසට පීනා ඇවිත් දිවි නසා ගැනීම සඳහා වෙරළට පැන්නාහ.
තල්මසා යනු විශාල මාලුවෙකි. උන් එකෙකු ආන්බාන් කිරීමට වැඩුණු මිනිසුන් කිහිප දෙනෙකුගේ ශ්‍රමය උවමනාය. එහෙත් මේ තල්මසුන් නැවත මුහුද වෙත පලවා හරිනට පානදුරවාසී බුද්ධිමත් ජනයා කළේ උන්ගේ කණට කොඳුරා රහසක් කීම පමණි.

“හරි දැන් තමුසෙ කියනවකෝ තල්මස්සුගෙ කනට කරලා මිනිස්සු කියපු රහස?” මගේ මුහුදු මිතුරා ඇසීය. තල්මසෙක් මනසින් මවා ගත් ඔහු තල්මසාගේ කණට කෙඳරැවේය.

“නෑ. නෑ. එයා තාම මුහුදට පැනලා නෑ. උඹලා ඉක්මනට පැනගනිල්ලා!”

දැන් ලංකාව වට මුහුදු සීමාවේ එකදු තල්මසෙකු හෝ දකින්නට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *