Opinion

තලේබාන් පන්නයේ මිනිහෙක් වෙලා මානව ප්‍රේමය හොයන්න එපා!

Summary

මරුටි ෆැක්ටරි වලින් බෙන්ස් එලියට එන්නෙ නෑ….

මහාචාර්ය සමන්ත හේරත් ප්‍රේමය ගැන කතා කරන පැය දෙකක විතර වීඩියෝවක් බැලුව ඊයෙ හවස. ඒ හින්දමදෝ ප්‍රේමය ගැන යමක් ලියන්න කාලයක් තිස්සෙ කැකෑරෙන ආසාව පණ ගහල ආව…

ප්‍රේමය අපි හැමෝම කවදා හෝ විඳල තියෙන, දැනුත් විඳින, ඉස්සරහටත් විඳින්නට ආස මනුස්ස හැඟීමක්…

මං කුඩා ලියන්නෙක්. සමන්ත හේරත් සර් කියනව ලියන්නෙක් ලෝකාස්වාදය විඳින්නෙක් විය යුතුයි කියල. එහෙම නොවිඳින මිනිහෙක් ප්‍රේමය ගැන කුමක් ලියන්නද? සමහර විට ප්‍රේමය ගැන යමක් ලීවාම බොහෝ අය අහනව මගෙ බිරිඳ ඒ ගැන මොනවා නොහිතයිද කියල. ඒ ප්‍රශ්නය මාව නැවත වතාවක් ප්‍රේමය ගැනම හිතන්නට බල කරනව…

ප්‍රේමය කියන්නෙ කුමක්ද? ⁣⁣ප්‍රේමය කියන්නෙ මනුස්ස හැඟීමක්. රූපයට, කටහඬට, ඉන්න විදිහට, හැරෙන විදිහට, යනඑන විදිහට, පෞරුෂයට, ගතිගුණවලට, ලියන කියන දේවලට ඇතිවන කැමැත්ත ප්‍රේමයක් දක්වා වැඩෙන්න පුලුවන්. ඉතිං, යෞවනයේ ඇතිවන හෝමෝන ⁣වෙනස්කම් එක්ක අපි ප්‍රේම කරන්ටත් පටන් ගන්නව. බොහෝවිට ප්‍රතිලිංගිකයන්ට. සමහර විට සමලිංගිකයන්ට. මේ ප්‍රේමය කියන හැඟීම තරුණ කාලෙ එක විදිහකටත්, මැදි වයසෙදි තව විදිහකටත්, වයස්ගත වෙද්දි තව විදිහකටත් දැනෙනව. අපි මැරෙනම්ම ප්‍රේමය මැරෙන්නෙ නෑ. ප්‍රේමය සර්වකාලීනයි…

සමහරෙක් මේ ප්‍රේමය ඇතුලෙ විවාහය හොයා ගන්නව. තව සමහරෙක් විවාහය ඇතුලෙ ප්‍රේමය හොයා ගන්නව. මේ දෙවිදිහම සමාජ සම්මතය ඇතුළෙ පිළිගැනෙනව. තව සමහරෙක් ප්‍රේමය විවාහයෙන් එළියෙ හොයනව. හොයාගන්නව. ඒ ප්‍රේමය අසම්මතද කියල සමහරු මගෙන් අහනව…
ආදරණීය මිත්‍රවරුනි, කවදාවත් කොතැනදිත් වගේ එතැනදිත් ප්‍රේමය අසම්මත නෑ කියල මම කියනව. මොකද ප්‍රේමය කියන්නෙ සදාකාලික, විශ්වීය, මනුස්ස හැඟීමක්. හැබැයි ප්‍රේමය මත ගොඩ නැගෙන සම්බන්ධය අසම්මත වෙන්න පුලුවන්. සමාජ සම්මතයන්ට පටහැනි නිසා ඒ අර්ථයෙන් අසම්මතයි…

අපි ප්‍රේම කරන්න ගන්නෙම කැමැත්තට. මේ සියුම් කැමැත්ත ඇඟපුරා දුවල ගිහින් හැම රෝමකූපයකටම ⁣දැනෙන තරම් මහ හයියෙන් ආදරය කරල, තමන්ගෙ ජීවිතේ මිහිරිම හැඟීම් මත පීනල එක ගැඹුරු හුස්මකින් හුලඟට විසිකරල නිවෙන තැන ප්‍රේමයේ ගැඹුර අපි අත්විඳිනව…ඊට පස්සෙ ඒ කෙහෙරුලි අස්සෙ ඇඟිලි වලින් සතුට ටික ටික තවාන් කරපු හැටි ඔබට මතක් වෙනවත් ඇති…

ප්‍රේම කරපු මිනිස්සු දන්නව ඒ හැඟීම වෙන කිසිම දේකින් එන්නෙ නෑ. මිනිස්සු සතුටු වෙන ⁣අනිත් දේවල් වෙච්ච යාලුමිත්‍ර සමාගම්වලින්, මත්පැන්වලින්, ගංජවලින්, දුම්වැටියෙන්, පොත් කියවීමෙන්, කඳු නැගිල්ලෙන් ඒ හැඟීම එච්චර බරට එන්නෙ නෑ.

ඒ තමයි මිත්‍රවරුනි, මානව ප්‍රේමයේ මිහිරියාව, අපූර්වත්වය සහ පරිමාව…

මේ ප්‍රේම කිරිල්ල ජීවිතේ ඇතුළෙ තියෙන එක සුන්දරයි.ඒත් අපෙ ජීවිත ඇතුළෙ ප්‍රේමය තියෙනවද? ඒක හොඳ ප්‍රශ්නයක්…අපි අපෙන්ම අසා ගත යුකු ප්‍රශ්නයක්…
ආදරණීය මිත්‍රවරුනි, ප්‍රේමයෙන් බැඳිච්ච ජීවිත රහයි. ප්‍රේමය දුරස් වෙච්ච ජීවිත නීරසයි. ප්‍රේමය නැති වෙච්ච ජීවිත කටුකයි, දුකයි…එහෙම නේද?

“තනියමවත් යන්නට බැරි කුඩේ ලඟින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින් – යන්නට තිබුණා”

ක්‍රිෂාන්ත එරංදක ගයන ප්‍රේමයේ සර්වකාලීන ගීතයක මේ කොටස අපිට ප්‍රේමය ගැන නැවත මතක් කරල දෙනව. තනියම යන්ටත් ඉඩ මදි කුඩේ අස්සෙ දෙන්න එක්ක කොච්චර තෙමුණත් තෙමෙන් නෑ වගේ සතුටෙන් ගිය අතීත ප්‍රේම කතාවක් අප බොහෝ දෙනාට තිබෙන්නට ඇති. ඒ ප්‍රේමණීය හැඟීම අද බොහෝ ඉඩ පහසු තිබෙන සුඛෝපභොගී ප්‍රීමියෝ එක ඇතුලෙ යනවිට තියෙනවද? ඒ සතුට තියෙනවද?

බොහෝ විට එහෙම නෑ නේද මිත්‍රවරුනි…

ඒ ප්‍රේමණීය ⁣හැඟීම් වෙනුවට තේරුමවත් අගක් මුලක්වත් නොදන්නා ⁣භෞතිකයන් පස්සෙ හැල්මෙ දුවන අසුන්දර හැඟීම් වලට අපේ හදවත් වල පැල වෙන්ට ඉඩ දීල අපි බලා ඉන්නව නේද?

මානව ප්‍රේමය ඇඟ සංතර්පණය කරගන්ට බැංකුවට උගස් කරපු රත්තරන් බඩුවක් වගෙ වෙලා නේද? ඒක ගෙදර නෑ. ඒක බැංකුවෙ තියනව කියල හිතාගෙන අපි හිත රවට්ට ගන්නව නේද? ඒ රත්තරන් බඩුව බොහෝ විට බැංකුවටම සින්න වෙලා යනව…අපි වැහැරිලා යනව…ජීවිතේ ගෙවිල යනව.
අර මුලින් ලියපු මගෙ මිත්‍රයන් අහන ප්‍රශ්නයට දෙන උත්තරයකින් මේ සටහන ඉවර කරන්නම්.

“මගෙ බිරින්දෑ මට ප්‍රේමය විඳින්නට, ඒ ගැන කියන්නට, ලියන්නට නිදහස දීල තියෙනව. ඒ විඳින, ලියන, කියන සංස්කෘතික මිනිහා මරා දැමීමෙන් ⁣ගෙදර ඇතුළේ ප්‍රේමය රැඳෙන්නේ නැති බව දන්න අපූරු ගැහැණියක් මීට වසර දහසයකට හෝ දහහතකට කලින් හමු වීම නිසාම මම අදටත් ප්‍රේම කරනව. එදත් ප්‍රේමය විඳපු, ඒ ප්‍රේම කරපු කිසිම ගැහැණියකට අගෞරව නොකල යුතු යැයි විශ්වාස කරපු මිනිහාට ආදරය කරපු, තමන්ගේ වුනාට පස්සෙත් ඒ අවකාශය එහෙමම ඉතිරි කරපු ගැහැණියට මම අදත් ප්‍රේම කරනව”

ආදරණීය මිත්‍රවරුනි, අතිශය පෞද්ගලික සටහනක් වුනත් ඒ තමයි ප්‍රේමය ගැන මගෙ දැක්ම.

තමන්ගෙ මනුස්සයාට, ගැහැණියට තහංචි දාල තමන්ට ඕන විදිහට පාලනය කරන්න හදන එකෙන් ප්‍රේමය පස්ස දොරෙන් පලා යනව…
හැම මිනිහාම හෝ ගැහැණියම තවත් සංස්කෘතික ජීවියෙක් කියන දේ තේරුම් ඇරන් ඒක පිළිගන්න… හැමදේම පාලනය කරන තලේබාන් පන්නයේ පිරිමියෙක් හෝ ගැහැණියෙක් වෙලා පවුල ඇතුළෙ ප්‍රේමය හොයන්න එපා….

එහෙම පවුල්වල දරුවන් ප්‍රේමණීය මිනිස්සු ⁣වෙයි කියල හිතන්න එපා…

මරුටි ෆැක්ටරි වලින් බෙන්ස් එලියට එන්නෙ නෑ….

One thought on “තලේබාන් පන්නයේ මිනිහෙක් වෙලා මානව ප්‍රේමය හොයන්න එපා!
  1. “තමන්ගෙ මනුස්සයාට, ගැහැණියට තහංචි දාල තමන්ට ඕන විදිහට පාලනය කරන්න හදන එකෙන් ප්‍රේමය පස්ස දොරෙන් පලා යනව” We live in a world where people get imprisoned in the name of love. Then again, not everyone has the life maturity to think this way.

Leave a Reply

Your email address will not be published.