Opinion

තැන්ක් යූ මිස්ටර් ප්‍රසිඩන්ට්!

Summary

මගේ මේ ස්තූති කතාව අහලා ඔයාටත් ලංකාවෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුනොත් එන්න මේ පැත්තේ.

වොලඩිමර් සිලෙන්ස්කි
ජනාධිපති,
යුක්රේනය.

පළමුවෙන්ම ලංකාව ගැන අනුකම්පා කර යුක්රේනය ලොක්ඩවුන් කිරීම සම්බන්දයෙන්, එරටේ ජනාධිපති වශයෙන් කටයුතු කරන ඔබට ස්තූති කරන්න ඕන. ඔබ අනිවාර්යයෙන්ම ඔය තීරණය ගන්න ඇත්තේ, ලංකාවට පැමිණෙන යුක්රේන ජාතිකයින්ගෙන් මෙරට වැසියන්ට කෝවිඩ් වසංගතය බෝ  වීම වලක්වනු පිණිස බැව්, අපට සක් සුදක් සේ පැහැදිලියි.

අපේ වල පයයි ගොඩ පයයි ඉන්න නැන්දම්මා කියනවා ඔබ ජාතියෙ පිනට පහළ වුණු දිව්‍ය පුත්‍රයෙක්ලු.

මම ඇහුවා ඒත් ‘මොන ජාතියෙ පිනටද?’ කියලා. එයත් දුව වගේම ඔරවලා යන්න ගියා.

හැබැයි මටත් එකක් කියන්න ඕන ජනාධිපතිතුමා, ඔහේ නොවෙන්න ලංකාව ඇතුළෙ ‘යුක්රේන් පොකුරක් ‘ ඇතිවෙන එක වලක්වන්න හැකි වෙන පුතයෙක් නෑ. ලොක්ඩවුන් එකෙන් පස්සෙ තව සංචාරකයන් ප්ලේන් පහක් විතර එව්වොත් ආයෙත් ඒ අවස්ථාව ගන්න පුලුවන් ඔයාට ඕන නම්.

ඒත් ඔයාගෙ මේ අවුරැදු දෙකක පමණ කෙටි දේශපාලන ජීවිතයෙ කරපු දේවල් හැටියට මොනවා නොකරාවිදැයි උපකල්පනය කරන්න අමාරැයි මට. මොකද මල්ලි (ඔයාට තාම 42නෙ? ඒ නිසා මල්ලි කිව්වට තරහ නෑනෙ?), ඔයා රට පාලනය කරන විදියෙ හරිම සමාන කමක් දැනෙනවා අපිට.

ජනාධිපති වෙන්න ඉස්සර ඔයා විහිඵකාරයෙක්. අපේ ඕක වැඩ කරන්නෙ අනෙක් පැත්තට කියලා තමයි ඡන්දදායකයො කියන්නෙ. වැඩිය සාධාරණ විදියට කියතොත් ඔයා රෑපවාහිනියෙ විකට වැඩසටහන්වල රඟපාපු නලුවෙක්. ඒකත් මෙහේ වෙන්නෙ රැහිතෙට. දේශපාලනයට ආපු අය රෑපවාහිණියෙ විකට වැඩසටහන් වලට සහබාගී වෙනවා. රඟපාපු රෑපවාහිණි වැඩසටහනේ දුෂණයට විරැද්ධව සටන් කරපු චරිතෙ දැකලා තමයි ඔයා ජනප්‍රිය වෙන්නෙ. කොටින්ම ඔයා මීඩියා එකේ ප්‍රඩක්ට් එකක්. මෙහෙත් එහෙමයි. කැමරා ඉස්සරහ රඟපාපු ඒවා හැබැහින් කරන්න පුළුවන් කියලා මිනිස්සු හිතනවා.

ඔයා හැන්ඩියා. ස්මාර්ට් බුවා. හැබැයි චිත්‍රපටි දහයක් නිෂ්පාදනය කරලා ජාතික ජාත්‍යන්තර සම්මාන දුසිම් ගණනක් දිනපු ඔයා ලංකාවෙ අපි හදන ෆිල්ම් දැක්ක නම් කොර වෙනවා. හැම සතියකම අපි ජනතා අවදානය දිනා ගන්න පුලුවන් ෆිල්ම් එකක් හදනවා. ඒවා බලලා ප්‍රශ්න අමතක කරලා සුදිය දාලා අපි ෆන් එකේ ඉන්නවා. ඒවයෙ රඟපාන නළුනිළියො ප්‍රදේශීය, පළාත් සහ ජාතික ආදී මට්ටම් වලින් සම්මානයෙන් පුද ලබනවා. ජාත්‍යන්තරේට පවා යන්න පුළුවන් රංගන දීපු නළුනිළියෝ අපිට හිටියට, ඒගොල්ලො ලැජ්ජ බය ඇති උදවිය නිසා ඒ කතා ප්‍රසිද්ධ වෙන්න දෙන්නෙ නෑ.

ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටවත් නැමුණෙ නැති චරිතයක් ඔයා. අපි නම් හිතුනොත් එම්සීසී එකට විතරක් පෝඩ්ඩක් නැමෙනවා. ට්‍රම්ප් ඔයාට කතා කරලා එයාගෙ ප්‍රතිවාදියා බයිඩ්න්ගෙ පුතාට විරැද්ධව නීතිය නමන්න ඇහුව නේද? ඔයා ට්‍රම්ප්ට උත්තර දෙනවා ‘අධිකරණයට ඇඟිලි ගහන්න ඔයාට බෑ කියලා’. අපෙත් එහෙමයි. කවුරැ හරි අධිකරණයට ඇඟිලි ගහන්න ආවොත් එයා හිරේ. ඒ ඉතිං කෝල් ටික ලීක් වුනොත් විතරයි හොඳේ. හැබැයි සමහරැ සමහර වෙලාවට අධිකරණයටම ඇඟිල්ල දෙනවා කැමති තැනක ගහ ගන්න කියලා. එතකොට ඉතිං ප්‍රශ්නයක් නෑනෙ.

යුක්රේනයට තගදාලා බලෙන් අල්ල ගත්ත ක්‍රිමියාවෙ හැමෝටම රැසියන් පුරවැසිභාවය දෙනවා කියලා ජනාධිපති වැද්මිලර් පුටින් කියද්දි ඔයා නිකං හිටියෙ නෑනෙ! ඒකාධිපතීත්වයට එරෙහි ඕන කෙනෙක්ට යුක්රේනියානු පුරවැසිභාවය දෙනවා කිව්වා. අපිත් එහෙමයි මෙහේ ඕන කෙනෙක්ට ඕන දෙයක් වෙන්න දෙනවා.
ඔයා රැසියාවත් එක්ක ගේම වුණාට පැරණි සෝවියට් ස්මාරක කඩන්න දෙන්නෙ නෑ කියලා ආරංචියි. අපි ඒ අතින් ගත්තම ඔයාට වැඩිය ගොඩක් දියුණුයි. අපි හොදට තිබුණු ස්මාරක කඩලා ඊට පස්සෙ ඒවා නැවත ඉදිකරන්න සහයෝගය දෙනවා.

මගේ මේ ස්තූති කතාව අහලා ඔයාටත් ලංකාවෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුනොත් එන්න මේ පැත්තේ. අපි කොරන්ටීන් වංගුවක් ගහලා හොරෙන් ගිහින් අඩියක් ගහමු. ආවත් නාවත් කරපු උදව් සති දෙකක් යනකන් අමතක කරන ජාතියක් නෙමෙයි අපි.

එහෙනම්, අපේ රට මින් මතුවටත් වසංගත වලින් ආරක්ෂා කරන්න ඔබට සියලු ශක්තිය ධෛර්ය ලැබේවායි පතනවා.

ඔබට තෙරැවන් සරණයි! අපිට දෙවි පිහිටයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *