Opinion

දංවැල් පරිසරවේදීන් , දළදා සිරිත සහ සිංහලයන්ගේ සත්ත්ව කරුණාව.

Summary

Share via: Facebook Twitter LinkedIn Email Copy Link අලියකු මරණයට පත් කිරීම සිංහල ගැමියකුට මිනිසකු මරණයට පත් කිරීම තරමටම අමාරු කටයුත්තකි. අලි මිනිස් ගැටුම් පවතින පළාත්වල සැරිසරා තිබෙන නිලධාරීන්ද මේ සම්බන්ධව කටයුතු කොට තිබෙන සැබෑ ක්‍රියාධරයන්ද මේ බව දනිති. එසේ […]

  • Save

අලියකු මරණයට පත් කිරීම සිංහල ගැමියකුට මිනිසකු මරණයට පත් කිරීම තරමටම අමාරු කටයුත්තකි. අලි මිනිස් ගැටුම් පවතින පළාත්වල සැරිසරා තිබෙන නිලධාරීන්ද මේ සම්බන්ධව කටයුතු කොට තිබෙන සැබෑ ක්‍රියාධරයන්ද මේ බව දනිති. එසේ වන්නේ සිංහල උප විඥ්ඥානය තුල අලියා පූජනීය සත්ත්වයෙක් වන නිසාය. අලියා සිංහලයන්ට පූජනීය විය හැක්කේ මන්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. මෙසේ කි විට ඕල්කට් බෞද්ධයන් , නිරාගමිකයන් සහ හේතුවාදීන් යන සියලු දෙනා එක පෙළට සිනා සීමට ඉඩ තිබේ. මොවුනට අනුකම්පා කිරීම හැර කල හැක්කක් නැත. මේ තුන් කට්ටුව මේ මොහොතේ හැසිරෙමින් තිබෙන ආකාරය අනුව ඔවුනට කල හැකි උපරිමය අනුකම්පා කිරීමය. අපට යම් කෙනෙකු කෙරේ අදියර කිහිපයකින් අනුකම්පාව ඇති විය හැක. සටනකට පිවිසීමට සිදු වන සතුරකු සම්බන්ධයෙන් පවා සටනට මොහොතකට පෙර අනුකම්පාවක් උපද්දවා ගැනීමට අපට පිළිවන. යමකුගේ අනවබෝධයත් , නොදැනුවත් කමත් සම්බන්ධයෙන් අනුකම්පාවක් උපද්දවා ගැනීමටද අපට හැකිය. තළු මරමින් සිංහල සංස්කෘතියට පහරදෙන ඉහත තුන් කට්ටුව කෙරේ මේ සියලු ආකාරයේ අනුකම්පාවන් මා තුල හට ගෙන තිබේ.

සිංහල සංස්කෘතිය මහා ඇත් පවුරකින් පෙරසවි වී තිබේ. මෙහි මුදුන් කොන දළදා පෙරහැරයි. සිංහලයන් දන්නා වටිනාම භෞතික වස්තුව දන්ත ධාතූන් වහන්සේය. දැන් නැවතත් හේතුවාදීන් නිරාගමිකයන් සහ ඕල්කට් බෞද්ධයන් සිනා සීමට ඉඩ තිබේ. සිනහවෙන් නොනවතින ඔවුහු මේ ඇත්ත වශයෙන්ම දතක කොටසක්ද යන්නත් , එසේ නම් එය කොතරම් පැරණිද යන්නත් විද්‍යාත්මකව සොයා බැලිය යුතු බවට යෝජනා කරනු ඇත. මෙසේ කිරීමට එක් හේතුවක් නම් විද්‍යාව ආභරණයක් ලෙස පළඳාගෙන සිටින මේ කිසිවකුත් විද්‍යාවේ දාර්ශණික කොටස උගෙන නොතිබීමය. නැතහොත් කුමන හෝ මානව විද්‍යා ශික්ෂණයක යම් දුරක් ගොස් නොතිබීමය. මේ දෙකම නොවේ නම් සාමාන්‍ය බුද්ධියෙහි මද කමය. මේවායේ සම්ප්‍රයුක්ත ප්‍රථිපලය නම් සංස්කෘතික සාක්ෂරතාවයේ හීන බව ඇති වීමයි . කරුණු විග්‍රහ කරන්නෙකුට වැදගත් වන්නේ දළදා සිරිත මිස දළදා වහන්සේගේ රසායනික සංයුතිය නොවේ. මානව ශාස්ත්‍ර වලින් සහ විචාර බුද්ධියෙන් අන්තර්ග්‍රහණය කලයුතු දෑ රසායනික විද්‍යාවෙන් හෝ භෞතික විද්‍යාවෙන් (ශුද්ධ විද්‍යාවන්ගෙන්) කිරා මනින්නට යන්නේ මේ කිසිදු ශාස්ත්‍රයක් හරි හැටි නොදත්තවුන්ය. කෙසේ වුවද දළදා සිරිතත් , දන්ත ධාතූන් වහන්සේත් නිසා සිදු වී තිබෙන්නේ අලියාට සිංහල සංස්කෘතිය තුල වන්දනීය ස්ථානයක් හිමි වීමය.

ආසියානු අලියා ස්වාභාවික හමු වන්නේ රටවල් දහතුනක පමණි . මින් වැඩිම අලි ගහනයක් ඇති ඉන්දියාවේ අලින් 25000ක් පමණද , බංගලිදේශයේ, භූතානයේ, නේපාලයේ සහ චීනයේ 1200 ක් පමණද, කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, බුරුමය සහ වියට්නාමයේ 1000ක් පමණද, ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ 7000ක් පමණද, ලංකාවේ 4000ක් පමණද ඇතැයි සැලකේ. භූමි ප්‍රමාණය අනුව මින් වැඩිම අලි ඝනත්වයක් තිබෙන්නේ ලංකාවේ බව පැහැදිලිය. මේ තොරතුරු වල අභ්‍යන්තරයට ගියහොත් මියැන්මාරය , කාම්බෝජය සහ ලාඕසය යන රටවල් ත්‍රිත්වයේ රාජ්‍ය අනුග්‍රහය සහ මැදිහත්වීම ඇතිව වන අලින් හීලෑ කිරීම සිදු වන අතර මේ වන විට නවතා දමා තිබුනද තායිලන්තයේ මෑතක් වන තුරුම මේ කටයුත්ත මහා පරිමාණව සිදු විය. මෙනිසා තායිලන්තයේද සිටින්නේ යයි කියන අලි සංඛ්‍යාවෙන් සාතිශය බහුතරය ගෘහස්ත අලින් වන අතර වනයේ සිටින්නේ යයි කියන අලින්ගෙන්ද සැලකිය යුතු කොටසක් අර්ධ වශයෙන් ගෘහස්තකරණය වී සිටිති. ඉන්දුනීසියාවේ සහ මැලෙසියාවේ තත්වයද මීට සමාන බව කියනු ලැබේ. නේපාලයේ, භූතානයේ , බංගලිදේශයේ සහ චීනයේ සිටින්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයකි. මේ අනුව ආසියානු වන අලියා ස්වභාවික පරිසරය තුල පහසුවෙන් දැක බලාගත හැකි රටවල් තිබෙන්නේ දෙකකි. එනම් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. ඉනුත් භූමි ප්‍රමාණය සහ පැතිරීම සලකා බලන විට ලංකාව මුල් තැනට පැමිණෙන බව බොහෝ දෙනකුගේ අදහසයි.

ලංකාවේ වියලි කලාපයේ ග්‍රාමීය පෙදෙස් වලින් බහුතරයක වන අලින් වාර්තා වෙයි. පසුගිය දශකය හමාර තුල සිදු වූ අවිචාරවත් සංවර්ධනයෙත් ජනාවාස පැතිරීමේත් ප්‍රථිපලයක් ලෙස මේ ප්‍රදේශ වලින් අලි මිනිස් ගැටුම් වාර්තා නොවන පලාතක් නැති තරමට ඒ ගැටළුව දැන් උග්‍ර වී තිබේ. මේ ගැටලුවෙන් විශාල අලි සංඛ්‍යාවක් සහ සැලකිය යුතු මනුෂ්‍යන් ගණනක් වාර්ෂිකව මිය යන බවද රහසක් නොවේ. කෙසේ වෙතත් අලියකුට ගිනි බිඳීම ගැමි සිංහලයකුට අතිශය අසීරු කටයුත්තකි. ගැමියන් විසින් කරනු ලබන වෙඩි තැබීම් බොහොමයක් අලියා මරණයට පත් පිරීම සඳහා නොව පලවා හරීම පිණිස කරනු ලබන ඒවා බව පරිසවේදීහු සහ ක්ෂේත්‍ර නිලධාරීහු පවසති. මේි අලි මිනිස් ගැටුම තුල අප දැකිය යුතු වැදගත්ම සහ සංවේදීම කරුණ නම් වියලි කලාපීය සිංහල ගැමියා වන අලින් මොනතරම් ඉවසන්නේද යන්නයි. තම දරුවා පාගා මරා දැමූ අලියාට කන්නට තම කුඹුර දුන් තත්තලාද , තම නිවෙස් කඩා බිඳ දැමූ අලියා ප්‍රදේශයෙන් පලවා හරින කල එය නොකරන ලෙස ඉල්ලන අම්මලාද අපේ ගම් වල සිටිති. ලංකාව වන හරණය අතින් ලොව ඉහලම තැනක තිබෙන විටත්, අතිශයින්ම අවිචාරවත් සංවර්ධනයක සහ ස්වාභාවික සම්පත් මංකොල්ලයක් ගොදුරක්ව පවතිද්දීත් මේ තරමට හෝ අලි සම්පත සුරැකි තිබෙන්නේ සිංහල ගැමියන්ගේ මේ සත්ත්ව කරුණාව නිසාය.

මේ ගැමියන්ට මෙම සත්ත්ව කරුණාව එන්නේ එකී සතුන්ට තිබෙන්නේ යයි ඔවුන් විශ්වාස කරණ අයිතියක් නිසාවත්, සත්ත්ව සුභ සාධනය පිලිබඳ අදහසක්වත් නැතහොත් පරිසරවාදී සිතුවිල්ලක් නිසාවත් නොව ඔවුහු නොදැනුවත්ව ලබන බුදු දහමේ ආභාෂය නිසාය. සරලව කිවහොත් ඔවුන් ඕල්කට් බෞද්ධයන් මෙන් පොතින් පතින් තර්කානුකූලව බුදු දහම හැදෑරුවන් නොව , උපතින් බෞද්ධයන් වන නිසාය. ඔවුන් පොතින් පතින්ද බුදු දහම හදාරති. ඒ සඳහා ඔවුනට බාධාවක් නැත. නමුත් ඔවුන් බෞද්ධයන් වන්නේ උපතිනි.

දළදා වහන්සේ වඩමවන හස්ති රාජයා බෝධිසත්ත්වයකු ලෙස සලකා ඔහුට බිම වැතිරී වන්දනාමාන කරන්නේද උපතින් බෞද්ධ මේ ගැමියන්ය (මේ ගැමියන්ගෙන් කොටසක් වන අප දැන් නගර තුල වාසය කරන්නෙමු). දළදා පෙරහැරට කැට කැබිලිති විසි කරන දං – වැල් පරිසරවේදීන් සිංහල සංස්කෘතියේ මේ දායාදය ගැන වචනයක් නොදොඩති. අලි කිහිප දෙනකු දළදා මාලිගාව සන්තකයේ තබාගෙන් සිටීම ලොව සිදු වන විශාලතම පාපකර්මය බව සිතන ඔවුන් සිංහලයාගේ ජීවිත පූජාමය සත්ත්ව කරුණාව ගැන අසංවේදීව සිටිති.

ලංකාවේ හීලෑ අලි ඇතුන් සම්බන්ධ විශාල ගැටළු ගණනාවක් පවතින බව සැබෑය. හොර අලි ජාවාරමේ සිට ඇත් ගොව්වන්ගේ පිරිහීම දක්වා මේ ගැටළුව විස්තීරණය වී තිබේ. මේ සියල්ලකටම එකින් එක සාවධානව පිළිතුරු සම්පාදනය කල යුතුය. නමුත් මේ මොහොතේ විලාසිතාව වී තිබෙන්නේ මේ සියල්ල සඳහා වාඩුව ලබා ගැනීමට සිංහල සංස්කෘතියට පහර දීමය.
දැන් මේ අලින්ගේ දම්වැල් කතාව කළු ජූලිය තරමටම සිංහල විරෝධී වී තිබෙයි. අලි සොරකම් කල සොර දෙටුවන් අපේක්ෂා කරන්නේද මෙයමය. අලි සොරුන් සහ මේ සිංහල විරෝධී තක්කඩීන් එකම කාසියේ දෙපැත්ත බව කියන්නේ එනිසාය.

දිනෙත් මල්ලිකාරච්චි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap