Opinion

දරුවන්ට ඉතිහාසය උගැන්විය යුත්තේ කෙසේද?

Summary

තම ඉතිහාසය ලෝකය දෙසට නොඇරුණු නෙතින් යුතුව දකින්නා බොහෝ විට ඉතිහාසය සම්බන්ධයෙන් අත් පත් කරගන්නේ අගතියකි. ඉතිහාසය යනු වර්තමාන අපේක්ෂාවක් මුදුන් පත් කරගැනීම උදෙසා අනාගතවාදීව කරනු ලබන දැනුම් ගොඩනැගීමක් විනා භාවාතීෂමය අතීතකාමයකින් යුතුව යටගිය දවස දෙස බැලීමට ගනු ලබන උත්සාහයක් නොවේ

ඉතිහාසය යනු විෂය ශික්ෂණයකි. යම් නිර්වචිත ශික්ෂණයක් ඔස්සේ තොරතුරු දෙසත්, අත්දැකීම් සහ මතකයන් දෙසත් බැලීමේ ක්‍රමවේදයකි. වෙනත් ලෙසකින් කිවහොත් අතීතය, යටගියාව පරිකල්පණය කිරීමේ න්‍යාය සමූහයකි. මේ අනුව අපට තේරුම් ගත හැක්කේ ඉතිහාසය යනු තනි ඒකීය කථනයක් නොව, විවිධාකාර කථනයන් සමූහයක් බවය. ඇත්ත වශයෙන්ම පවතින්නේ “ඉතිහාසයක්” නොව “ඉතිහාසයන්” ගණනාවකි.

මේ ක්‍රමවේදයත් ශික්ෂණයත් වෙනුවට ලාංකීය ඉතිහාස අධ්‍යාපනය තුල අධි නිශ්චය වී තිබෙන්නේ “ඓතිහාසික තොරතුරු” සමුදායකි. තොරතුරු වලට ලැබී තිබෙන අනුපමේය ස්ථානය නිසාවෙන් මේ තොරතුරු සැලකිය යුතු ප්‍රමාණයක “ඓතිහාසික” බව පිළිබඳව තිබෙන ගැටළුද සැලකිල්ලට අසු නොවී මගහැරී යයි. පාසල් විෂය මාලා තුල දැනට පවතින ඉතිහාස අධ්‍යාපනය තුල ඇත්ත වශයෙන්ම උගැන්වෙන්නේ ඉතිහාසකරණය නම් ක්‍රියාවලිය නොව කලින් සැකසුම් කරන ලද ඉතිහාස කථනයකට අදාළ තොරතුරුය. මෙවැනි ක්‍රියාවලියක් තුල ප්‍රඥාවට වඩා ප්‍රමුඛ වන්නේ භාවාතීෂමය හැඟීම්ය. රටක් සිතුවිලි අතින් පොහොසත් වන්නේ වංශ කතාවක් අවට හාත්පස දෙසින් කියවීමට සමත් බුද්ධිමතුන්ගෙන් මිස එම ලේඛණය වෙනුවෙන් මරාගෙන මැරීමට සමත් සටන් කරුවන් අතින් නොවෙයි.

මේ අනුව දරුවන්ට ප්‍රධානය කල යුත්තේ “ඉතිහාසකරණය” නමැති ක්‍රමවේදයත් ”ඉතිහාසය“ යන විෂයයත් මිස වේලාසන විනිශ්චය කොට පිළිවෙලකට සකස් කරන ලද තොරතුරු සමූහයක් නොවේ. තොරතුරු ලැබිය යුත්තේ ශික්ෂණය හුරු කිරීම හරහාය.

මනුෂ්‍යයා දේශපාලන සත්ත්වයෙක් යයි කීවේ ඇරිස්ටෝටල්ය. එය එසේ වන්නේ මනුෂ්‍යාට භාෂාවක් තිබෙන බැවිනි. භාෂාව විසින් මනුෂ්‍යයාගේ සමස්ථ පැවැත්මම දේශපාලනීකරණය කරනු ලැබේ. “ඉතිහාසය” නිර්මාණය වන්නේද භාෂාව තුලය. මෙනිසා භාෂාත්මක ඕනෑම දෙයක් දේශපාලනික මෙන්ම ඉතිහාසාත්මකද වෙයි. මේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කෙරෙන ගැඹුරු අධ්‍යනයකදී මේ එක් එක් විෂය වපසරිය තුල තිබෙන අන්තර් සම්බන්ධය අවබෝධ කරගැනීම වැදගත්ය. මේවා පිලිබඳ සාධනීය අවබෝධයක් ඇති කරගැනීම ගැඹුරු ව්‍යායාමයක් වුවද එවැන්නකට අනාගතයේදී යොමු වන දරුවකු තුල ඊට සහයෝගය දෙන මූලික අඩිතාලමක් දැමීම කුඩා කාලය තුලදීම සිදු කල යුතුය. ඉතිහාස විෂයය උගැන්විය යුත්තේ එය මානව විද්‍යා දැනුම් ක්ෂේත්‍රය තුල ස්ථානගත කිරීමෙන් අනතුරුවය.

මේ අනුව ඉතිහාසය උගන්වෙන පංති කාමරයක් යනු සමස්ථ මානව විද්‍යා විෂයය ක්ෂේත්‍රයටම කවුළුවක් විය යුතුය. පෙර කල ධර්ම අධ්‍යාපනය තුල තිබුණු “සමය – සමයාන්තර” සංකල්පය ඉතිහාස විෂයය සම්බන්ධයෙන්ද වලංගුය. ඉතිහාසය මානව විද්‍යාවේ සංරචකයක් ලෙස උගැන්විය යුතුය.

ඉතිහාසය යනු අත්‍යවශ්‍ය පරිකල්පනයකි. අපගේ අතීත සත්ත්වයා කවරෙක්ද යන්න පිලිබඳ අදහසකින් තොරව මනුෂ්‍යාට පැවතිය හැකි නොවේ. ලංකාවේ බහුතරයා තම “ඉතිහාස පරිකල්පනය ” ඔස්සේ තමන්ගේ පූර්වජයන්ට යාවි සිටිති. මේ අනුව බුදු හාමුදුරුවන්, දුටුගැමුණු රජතුමා සහ පරාක්‍රමබාහු රජතුමාට අපේ ඉතිහාසයේ ලැබී තිබෙන තැනත් ඊට අපේ තිබෙන සම්බන්ධයත් ගැන බොහෝ දෙනා දැනුවත්ය, උනන්දුය. වත්මනේ සිටින ලාංකිකයා සහමුලින්ම දුටුගැමුණු රජතුමාගේ නිෂ්පාදනයක් යයි කිව හැකි නොවේ. නමුත් එම නිෂ්පාදනයට ඔහුගේ දායකත්වයක් නැත්තේ යයි ද කිව නොහැකිය. වෙනත් ඕනෑම ඓතිහාසික චරිතයක් පිලිබඳ කතාවද මෙයමය. අප යම් ඓතිහාසික චරිතයක් ගොඩනගන්නේද, එම චරිතය විසින් අපවද ගොඩ නගනු ලබන්නේය.

අපව ගොඩනැගීම සඳහා වඩාත් වැඩියෙන් දායක වී තිබෙන්නේ ශතවර්ෂ විස්සකට පෙරාතුව සිටි රාජකීය චරිතයක්ද නැතහොත් පසුගිය සියවසේ හෝ දෙකේ සිටි මනුෂ්‍ය සමාජයද යන ප්‍රශ්නයට පිළිතුර එතරම් සංකීර්ණ නැත. කාලය පිලිබඳ සරල තත්ත්ව යටතේ අප පෙරේදාට වඩා ඊයේට සම්බන්ධය. දැන් සතියකට කලින් මොහොතට වඩා පෙරේදාට සම්බන්ධය. පසුගිය වසරක කාලයට වඩා පසුගිය මාසයට සම්බන්ධය. මීට සියවස් විස්සකට පෙර පැවති කාලයෙන් අපව මුදවීම කළහැකි නැතත් අපි අතිශයින් තීව්‍ර ලෙස පසුගිය ශතවර්ශයටත් පසුගිය දශක වලටත් සම්බන්ධය.

ලංකා ඉතිහාස අධ්‍යාපනයේ දැකිය හැකි ප්‍රධානතම අඩු පාඩුවක් නම් එය අපගේ මෑත කාලීන ඉතිහාසයට දක්වා තිබෙන අඩු අවධානයයි. අප ජීවත් වන මේ යුගයේ දේශපාලන , සමාජ ආර්ථික චිත්තය නිර්මාණය කරනු ලැබුවේ දහනමවන සහ විසිවන සියවසේ සමාජ බලවේගයන් විසිනි. අප ඓතිහාසික පර්යාවලොකනයකින් යුතුව අපව කියවා ගැනීමේ උත්සාහයකදී මේ සියවස් දෙක අතිශයින්ම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙම කාල පරිච්ඡේදයන් තුලදී සිදු වුනු ගොඩනැංවීම් ඉතිහාස විෂය ශික්ෂණයකින් යුතුව විග්‍රහ කිරීමට අවස්තාව සැලසීම ඉතිහාස අධ්‍යාපනය තුලදී අනිවාර්යයෙන්ම සිදු විය යුතුය.

විසිවන සියවසේ නිදහසින් පසු ඉතිහාසය ගැන කියන්නට තිබෙන්නේද මේ කරුණමය. උතුරේ දේශපාලන අර්බුධය, තරුණ කැරළි දෙක, ජූලි කලබල, උතුරේ යුද්ධය වැනි සිදුවීම් අප සහමුලින්ම ඉතිහාස කථනය තුල අමතක කොට තිබේ. රෝහණ විජේවීර, වේලුපිල්ලේ ප්‍රභාකරන්, ජේ ආර් ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක වැන්නවුන් ගැන පමණක් නොව සුනිල් ආරියරත්න, නන්දා මාලිනි වැන්නවුන් ගැනද කතා කල හැකි ඉතිහාස කථනයක් ඇති කල යුතුය.
ලංකාව ඉන්දියානු සාගරයේ අතශයින් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන බවද එනිසාම කලාපිය දේශපාලනය තුල ඓතිහාසික කාර්ය භාරයක් ඉටු කල බවද අපේ ඉතිහාස අධ්‍යාපනය තුල ඉගැන්වෙයි. මේ කරුණ සත්‍යයකි. නමුත් මේ කරුණ සාධක සහිතව විශ්ලේෂණය කරන සුළු පුරුද්දකට පෙළඹවීමක් මේ අධ්‍යාපනය තුල දක්නට නැත. යම් රටකට කුමන හෝ කරුණක් අරභයා කේන්ද්‍රස්ථානයක් වන්නට හැකි වන්නේ ඒ පිටු පස බලපවත්නා සමාජ ආර්ථික දේශපාලනික සහ ආගමික සාධකයන් හේතුවෙනි. ලංකාව ඉන්දියානු සාගරය තුල වැදගත් ස්ථානයක් වීම පිටුපස තිබෙන කලාපීය දේශපාලනයට අදාළ කරුණු කිසිත් අපේ ඉතිහාස අධ්‍යාපනය තුල ඉගැන්වෙන්නේ නැත. ලංකාව ථෙරවාදයේ මහගෙදර ලෙස හැඳින්වූවාට එසේ වුයේ කුමන කරුණු හේතුවෙන්ද යන්නත් ඒ පිටුපස තිබුනා වූ දේශපාලනය කුමක්ද යන්නත් අපේ දරුවන්ට ඉගැන්වෙන්නේ නැත. ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වුණු බව ඉගැන්වෙතත් එසේ හැඳින්වූයේ විශාල සහල් නිෂ්පාදනයක් රට තුල සිදු වූවාට වඩා කලාපීය සහල් වෙළඳාමේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කටයුතු කල නිසාත්, නැගෙනහිරින් එන සහල් තොග බටහිර වෙරලින් ප්‍රතිඅපනයනය කරන තෙක් ගබඩා කිරීමට සුදුසු වන ගුදම් විශාල ප්‍රමාණයක් තිබුණු නිසා බවත් ඉගැන්වෙන්නේ නැත. ලංකාව පෙරදිග රටවල් සමගත් , මධ්‍යධරණී කලාපයේ රටවල් සමගත් පවත්වාගෙන ගිය සක්‍රීය රාජතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව ඉගැවෙන්නේ නැත.

තම ඉතිහාසය ලෝකය දෙසට නොඇරුණු නෙතින් යුතුව දකින්නා බොහෝ විට ඉතිහාසය සම්බන්ධයෙන් අත් පත් කරගන්නේ අගතියකි. ඉතිහාසය යනු වර්තමාන අපේක්ෂාවක් මුදුන් පත් කරගැනීම උදෙසා අනාගතවාදීව කරනු ලබන දැනුම් ගොඩනැගීමක් විනා භාවාතීෂමය අතීතකාමයකින් යුතුව යටගිය දවස දෙස බැලීමට ගනු ලබන උත්සාහයක් නොවේ. අපගේ ඉතිහාස අධ්‍යාපනය තුල මෙම කරුණ අවධාරණය විය යුතුය. ලංකාවේ ඉතිහාසය උගැන්විය යුත්තේ කලාපීය ඉතිහාසය තුලත් ලෝක ඉතිහාසය තුලත් එය ස්ථානගත කිරීමෙන් අනතුරුවයි.

දිනෙත් මල්ලිකාරච්චි

Leave a Reply

Your email address will not be published.