Opinion

දරු බිළිඳා දමා කැකිරි මල්ල ගත්තේ ධනවාදී සමාජයකද?

Summary

මේ අනුව සල්ලි, මිල, මුදල්, චෙක්පත්, ඒටීම්, මෝබයිල් කෑෂ් නොතිබුණ යුගයේ මිනිස්සු දරුවන්ට වඩා කැකිරි මල්ල අගය කළ බව පෙනේ. නොඑසේනම් අගය කළ බව පෙනේ.

අද සිදුවන ඇතැම් දේ ධනවාදී සමාජයේ ලක්ෂණ වශයෙන් හඳුන්වනු ලැබේ. විශේෂයෙන් ම මානුෂික සබඳතා වෙනුවට මුදල්, ද්‍රව්‍ය හා ධනය ප්‍රමුඛතාවට පත්වීම එසේ ධනවාදී සමාජයේ ලක්ෂණ වශයෙන් දක්වනු ලැබේ. මෙහි යම් ඇත්තක් තිබෙන්නට හැකි වුවත් එය සම්පූර්ණ ඇත්ත නොවේ යන්න මගේ අදහසයි.

අමල්බිසෝ කතාව පැරණි ජනකතාවකි. මේ කතාව අඩුම ගණනේ අවුරුදු හාරපන්සීයකට වඩා පරණ විය හැකිය. එනම් ධනවාදී සමාජය නොපැවති යුගයකි. ගම හාමිනේ සහ ගමරාළ අලුත උපන් බිළිඳා ද රැගෙන හේනට යයි. හේනේ කැකිරි වැල පුරා ගෙඩි හටගෙන ඇත. යුවළ පිස්සුවෙන් මෙන් කැකිරි කඩා ගෝනි පුරවාගන්නට වෙති. ඉන්පසුව ගෝනි ගෙදර ගෙනයන්නට උත්සාහ කරන විට කල්පනා වන්නේ දරු පැටියා රැගෙන යන්නට ගියොත් කැකිරි ගෝනි දෙක තුනක් දමා යන්නට සිදුවන බවය. එවිට ඔවුහු කල්පනා කරන්නට වෙති.

‘දරු බිළිඳා ගනිම්දෝ

කැකිරි මල්ල ගනිම්දෝ’

කොක්කු ජෝඩුවට අමල්බිසෝ හමුවන්නේ එසේය.

මේ අනුව සල්ලි, මිල, මුදල්, චෙක්පත්, ඒටීම්, මෝබයිල් කෑෂ් නොතිබුණ යුගයේ මිනිස්සු දරුවන්ට වඩා කැකිරි මල්ල අගය කළ බව පෙනේ. ඒ අනුව මුදල හමුවේ මානුෂික සබඳතා අහෝසි වේ යනුවෙන් ධනවාදී සමාජය පිළිබඳ ව විචාරකයන් සාඩම්බරයෙන් කරන ප්‍රකාශ ඒ ප්‍රකාශවල ගාම්භීරකම තරමට ම ඇත්ත නොවන බව පෙනේ. මක්නිසාද යත් එයට පෙර ‘කැකිරි’ හමුවේ ද මානුෂික සම්බන්ධතා අතුරුදහන් වී ඇති හෙයිනි.

බුදුන්ගේ සමයේ මට්ටකුණ්ඩලී කතාවෙන් නම් කියවෙන්නේ ධනවාදී සමාජයේ හෝ වෙන යම් සමාජයක විශේෂ ලක්ෂණයක් නොව කොයි යුගයක වුවත් දකින්නට හැකි මසුරුකම ඉහවහා ගිය පුද්ගලයෙකු පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් මට්ටකුණ්ඩලීට වෙදකම් කළ වෙදමහතාගේ කතාවෙන් කියැවෙන්නේ නම් ධනවාදී සමාජයක ලක්ෂණයක් යැයි කිව හැකිය. පියාගේ මසුරුකම නිසා ම කෑමබීම නොලැබීම නිසා මට්ටකුණ්ඩලී දැඩි මන්දපෝෂණයට ලක්ව රෝගී වෙයි. මට්ටකුණ්ඩලීට බෙහෙත් ගැනීමට මුදල් වියදම් වන නිසා මට්ටකුණ්ඩලීගේ මසුරු පියා කරන්නේ වෙදමහත්තයා හමුවීමට ගොස් රටේ තොටේ තොරතුරු කතා කරන්නට පටන් ගැනීමයි. ඉන්පසුව නිකම් කතාවක් කරන්නා සේ යම් ලෙඩක් විස්තර කර ඒ වගේ ලෙඩකට දෙන්නේ මොනවගේ බෙහෙත්දැයි විමසයි. මේ නිකම් ලෙඩක විස්තර යැයි කියා පවසන්නේ මට්ටකුණ්ඩලීට ඇති ලෙඩේ විස්තරය. වෙද මහතා මුලින් ඒ අනුව එවැනි ලෙඩවලට දෙන බෙහෙත් විස්තර කළත් පසුව මේ සිටාණන් මෙසේ කරන්නේ මුදල් ගැනීමෙන් තොරව බෙහෙත් ගැනීම සඳහා බව දැනගනියි. එය දැනගන්නා වෙදමහතා කරන්නේ ලෙඩේ වැඩිවී මරණයට පත්වන බෙහෙත් කීමය. මට්ටකුණ්ඩලී මරණාසන්න තත්වයට පත්වන්නේ ඒ බෙහෙත් නිසාය. වෙද කමට වඩා ධනය ප්‍රමුඛ වූ වෙද මහතාගේ මේ ක්‍රියාව නම් පෙනීයන්නේ ධනවාදී සමාජයක පමණක් දැකිය හැකි ලක්ෂණයක් ලෙසිනි.  එහෙත් එය එසේ නොවේ. මෙය වසර දෙදහස් පන්සීයකට පෙර සිදුවූවකි. ධනවාදී සමාජය බිහිව තවම වසර දෙතුන් සීයක් පමණ වේ.

ජාතක කතාව මට හරියට මතක නැතත් නගරයේ මීයෙකු හා ගමේ මීයෙකු හමුවන කතාවක් ජාතක කතාවක එයි. ගමේ මීයා නගරයේ මීයා දකින්නට එයි. එහෙත් ගමට වඩා නගරය දැඩි අවදානම් සහගතය. නිදහස ද නැත. නගරයේ මීයාට හොඳ වුවත් ගමේ මීයාට මෙයට ඔරොත්තු දෙන්නට නොහැක. ඒ නිසා හැකි ඉක්මනින් ගමරට බලා යාමට ගමේ මීයා උනන්දු වේ. ඒ අනුව මේ ග්‍රාමීය නාගරික ප්‍රශ්නය පවා ඉතා පැරණි බව පෙනේ. මෝටර් රථය නැතිව අස්ස කරත්ත සමග වුව ද පිට ඔපයට මුල් තැන දුන් නගර පැවති බව ඒ කතාව කියවද්දී මට හැඟිණි. අද නම් අපේ රටේ වුව ද ගම හා නගරය අතර වෙනස ඇත්තේ පිටින් පමණි. ගමේත් නගරයේත් දෙකේම මුල් තැන දෙන්නේ පිට ඔපයටය.

කෙසේවුවත් මා මේ කියන්නට හදන්නේ මට දැණුනු එක් කාරණයකි. එනම් ධනවාදී සමාජයේ ලක්ෂණ යැයි අප උලුප්පා දක්වන්නට හදන බොහෝ ප්‍රශ්න හැමදාම පැවති ප්‍රශ්න බවය. එනම් සංසාරය පවතින තුරු පවතින ප්‍රශ්න ලෙසය. එනම් ධනවාදී සමාජය නැති කළත් සංසාරයෙන් එතෙර වන තුරු නොවිසදෙන ප්‍රශ්න ලෙසය. එහෙත් සංසාරය තුළ වුවත් වඩා උසස් හා පහත් සමාජ පැවතිය හැකි බව ද වාසයට වඩා සුදුසු හා නුසුදුසු රටවල්, යුග පැවතිය හැකි බව ද පිළිගැනීමට සිදුවේ.

ඒ අනුව ධනවාදී, පරිභෝජනවාදී හෝ බටහිර සංස්කෘතියට වහල් වූ හෝ ගතානුගතික වූ හෝ සාම්ප්‍රදායික වූ හෝ ආදී වශයෙන් යම් යම් සමාජයන් පිළිබඳව කරන විචේචන විචාරවල යම් වලංගු තාවයක් පවතියි. එහෙත් ඒ මොන සමාජයක වුවත් අපට සංසාරයෙන් මිදෙන්නට ද නොහැක. ඒ මොනම සමාජයකට වුව ද සංසාරය වලංගුය.

Leave a Reply

Your email address will not be published.