Opinion

දහනමවන සියවසේ සිංහලයන් ගැන කටු සටහනක්

Summary

දහනමවන සියවසේ බෞද්ධ නායකයන්ගේ සුවිශේෂී ලක්ෂණයක් නම් ඔවුන් නූතනත්වය ප්‍රතික්ෂේප නොකිරීමය. ජාතියක අඛණ්ඩත්වය පවතින්නේ නොවෙනස්ව ගල් ගැසීම තුල නොව අවස්ථානුකූලව වෙනස් වීම තුල බව ඔවුහු ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන සිටියහ.

බ්‍රිතාන්‍ය පාලකයන් ලංකාව තුල ඇති කල විධිමත් අධ්‍යාපන ව්‍යුහය, කෙටි කලක් තුළදී බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය විසින් අනුකරණය කළ බවද ඒ අනුව යමින් රට පුරා විහිදුනු බෞද්ධ පාසල් පද්ධතියක් එය විසින් සාර්ථක අන්දමින් ඇති කල බවද සැබෑවකි. මේ ආකාරයෙන් එදෙස බලන පර්යේෂණ, හැදෑරීම් බර ගණනක් සිදු වී තිබේ.

මෙවැනි හැදෑරීම් වලට නිතර මගහැරෙන එක් කරුණක් නම් මෙසේ බිහිවුණු අලුත් බෞද්ධ අධ්‍යාපන ආයතන ඇතැම් අවස්ථාවලදී කාර්ය සාධනය සහ සංවිධානය අතින් ක්‍රිස්තියානි මිෂනාරී සහ බ්‍රිතාන්‍ය රජයේ අධ්‍යාපන ආයතන පවා අභිබවා ගිය බවයි. හොඳම උදාහරණය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ඇති කල විද්‍යෝදය පිරිවෙනයි.වරක් එහි වසර අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවයකට ආ එවකට සිටි ග්‍රෙගරි ආණ්ඩුකාරයා පවසා ඇත්තේ, විද්‍යේදය පිරිවෙන කාර්යසාධන අතින් කොළඹ ඇකඩමියටත් ( රාජකීය විද්‍යාලයේ මුල්) වඩා ඉදිරියෙන් සිටින බවත් මෙම පිරිවෙන ආදර්ශයට ගැනීමට එම ඇකඩමියට යෝජනා කරන බවත්ය.

එසේ මගහැරෙන දෙවන කරුණ නම්, මේ අලුත් අධ්‍යාපන ආයතන වල පදනමේ සහ ව්‍යුහයේ, ක්‍රිස්තියානි මිෂනාරී ආයතන වලට අනුපූරක වීමේ උවමනාවට සහ ගති ස්වභාවයට අමතරව පෙරදිග පන්නයේ ශ්‍රාස්ත්‍රකාමී බවක් මෙන්ම පන්නරයක්ද තිබූ බවයි. එයින් සියවසකට පමණ පෙර ඛණ්ඩනය වුනු බෞද්ධ ආරාම ආශ්‍රිත අධ්‍යාපනය සිංහලයන් විසින් අලුත් තත්වයක් යටතේ නැවත ආරම්භ කොට තිබුනි.

මේ දෙකරුණට අමතරව අපට මගහැරෙන වැදගත්ම දෙය නම්, එකල ” ජාතික වීරයන්” අධ්‍යාපනයට ලබා දුන් තැන කුමක්ද යන්නයි. ඇත්තටම බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ හරි මැද පිහිටා තිබිනි. ඔවුන්ගේ අරමුදල් වලින් සෑහෙන කොටසක් වියදම් වූයේද මේ වෙනුවෙනි. දශකයක් දෙකක් ඇතුලත රට පුරා පාසල් එකසිය හැට ගණනක් ආරම්භ කිරීමට හැකි වූයේත් බෞද්ධ දරුවන්ගෙන් හයෙන් එකකටත් වඩා අඩුවෙන් තිබුණු පාසල් යාම තුනෙන් දෙකක් පමණ දක්වා ඉහල නැංවීමට හැකි වූයේත් මේ නිසාය. අනගාරික ධර්මපාල, හික්කඩුවේ ශ්‍රි සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද සහ වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි එකල ජාතික විරුවන් මුහුණ දුන්නේ මිහිපිට තිබුණු සැබෑ ප්‍රශ්න වලට මිස මනසින් මවා ගත් ව්‍යාජ ප්‍රශ්න වලට නොවේ.

හික්කඩුවේ සුමංගල හිමියන් ට ලොවපුරා සිදුවන අලුත්ම විද්‍යා හා තාක්ෂණික සොයා ගැනීම් පිලිබඳ දැනුම් දෙන විසිතිස් දෙනකුගෙන් යුත් විදේශීය බුද්ධි මණ්ඩලයක් සිටි අතර ඔවුන් යුරෝපය , ඇමෙරිකාව සහ ජපානය වැනි රටවල ස්ථානගත වී සිටියෝය. ඊට අමතරව පෙරදිග ශ්‍රාස්ත්‍ර සහ ධර්ම කරුණු විමසීම සඳහා ලංකාව , ඉන්දියාව , සියම සහ බුරුමය වැනි රටවලද උන් වහන්සේ ගේ ශ්‍රාස්ත්‍රීය මිතුරන් සිටියෝය. හික්කඩුවේ සුමංගල හිමියන්ගේ එකුස උපන් මලනුවන් දක්ෂ වෙද  මහතකු වූ අතර එවකට උතුරු බුරුමයේ මණ්ඩලේ නුවර කේන්ද්‍ර කරගෙන රාජ්‍ය කල තිබෝ මින් රජ තුමාගේ  රජ වාසල නේවාසිකව සිටි රාජකීය වෛද්‍යාචාර්ය වරයා වූයේ ඔහුය. මේ හරහා සුමංගල හිමියන්ට බුරුම රජ වාසල සමග ඉතා හොඳ  සම්බන්ධයක් පවත්වාගෙන යාමට හැකි  වුවා පමණක් නොව, රජ වාසලට සම්බන්ධව කටයුතු කල වෙනත් යුරෝපීය ජාතීන් ගණනාවකට අයත් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමගද ගනුදෙනු කිරීමට හැකි වී තිබිණ. බටහිර ජාතියක් විසින් මෙම කලාපයේ අවසාන වරට යටත් කරගන්නේ මේ කියන උතුරු බුරුම රාජධානියයි. එය අවසන් මොහොත දක්වාම ඉතාම බලවත් සහ ධනවත් රාජධානියක් ලෙස පැවතිනි. රාජකීය වෛද්‍ය තනතුර සිංහලයකුට පැවරීම තුලින්, ඔවුන් කෙරේ ලංකාව පිලිබඳ තිබුණු විශ්වාසයත් ගෞරවයත් මොනවට පැහැදිලිය.

ධර්මපාල තුමා කල්පනා කලේ මීලඟ කාර්මික විප්ලවය තුල ලංකාව බල කේන්ද්‍රයක් විය යුතු බවත් කලාපයේ අන් කවර රටකටත් කලින් ලංකාව වාශ්ප එන්ජින් තාක්ෂණය අත්පත් කරගත් යුතු බවත්ය. එක් එක් ක්ෂේත්‍රයේ කාර්මික අධ්‍යාපනය ලැබීම සඳහා වගකීම් පවරා තරුණයන් යොමු කිරීමටද ඔහු උත්සුක විය. අනගාරික ධර්මපාල තුමා ඇමරිකාවේ චිකාගෝ නුවර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා දේශන වලට සහභාගී වුණු බව දන්නේ ස්වල්ප දෙනෙකි

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් , අකුණු වලින් වැඩ ගතහැකි ක්‍රමයක් ගැන සිතුවේය( මේ අන් කිසිවක් නොව, ඔහු විසින් පරිශිලනය කර තිබුණු විද්‍යුතය පිලිබඳ මුල් කාලීන පර්යේෂණ තොරතුරුය)..

මෙවැනි කරුණු අධ්‍යනය කරන බොහෝ වියුතුන් මේ පිරිස අතර පැවති කුල භේදය ඔවුන් කෙරෙන් පිළිබිඹු වුනු දේශපාලන ගතිකයන් හැසිරවූ ප්‍රධාන සාධකයක් ලෙස බොහෝ අවස්ථා වලදී සලකන බව පෙනේ. මෙහි වරදක් නැත. මේ කියන දහනමවන සියවසේ බෞද්ධ නායකයන්ගේ ඇතැම් ක්‍රියා, කුල සාධකය මුල් කරගෙන  පහසුවෙන් සහ විචිත්‍රවත් ලෙස පැහැදිලි කල හැකි බව සැබෑය. නමුත් බොහෝ දෙනකුට මගහැරෙන සත්‍යය නම්, යම් අවස්ථාවකදී කුලය අනුව බිඳෙන මොවුන් තවත් අවස්ථාවකදී කුලය අතික්‍රමණය කොට ජාතියේ සහ ශාසනයේ නාමයෙන් එකතුදු වූ බවයි. මගේ කල්පනාව අනුව නම් මේ එකතුව භේද බින්නයට වඩා බලගතුය. අනගාරික ධර්මපාල තුමාගේ පියා ගොවිගම කුලයට අයත් වුනු කෙනෙකු  වූ අතර ඔහුගේ මවගේ කුලය වුයේ දුරාව කුලයයි. හික්කඩුවේ  ශ්‍රී සුමංගල හිමියන් ගොවිගම  කුලයටත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සලාගම  කුලයටත් අයත් විය. මේ ලිපිය තුල නම නොකියවුණු තවත් විශාල පිරිසක්  කරාව කුලයට අයත් විය. මේ සියලු දෙනා ජනප්‍රිය සහ එළිපිට තලයේදී  ජාතියත් ශාසනයත්  වෙනුවෙන් පෙනී සිටින අතරතුරදීම වෙනත් රහස් තැනකදී තම කුලය වෙනුවෙන්ද පෙනී සිටීම් සිදු කොට තිබේ. නමුත් ඒ සියල්ල අභිබවා ශාසනික වුවමනාවන් ට මුල් තැන දීමටද ඔවුන් කෙරේ ධෛර්යයක් පැවතිනි.

දහනමවන සියවසේ බෞද්ධ නායකයන්ගේ  සුවිශේෂී ලක්ෂණයක් නම් ඔවුන් නූතනත්වය ප්‍රතික්ෂේප නොකිරීමය. ලෝකය වෙනස් වන බවද , මේ වෙනස්කම් වලට අනුගත නොවන්නා වඳ වන බවද  ඔවුහු ඉතා හොඳින් දැන සිටියහ. අලුත් තත්වය ප්‍රතික්ෂේප කිරීම වෙනුවට ඔවුන් තෝරා ගත්තේ  එම තත්වය ජයගැනීමයි. ජාතියක අඛණ්ඩත්වය පවතින්නේ නොවෙනස්ව ගල් ගැසීම තුල නොව අවස්ථානුකූලව වෙනස් වීම තුල බව ඔවුහු ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන සිටියහ .

Leave a Reply

Your email address will not be published.