Opinion

දහනම වන සියවසේ සංස්කෘතික එඬේරා

Summary

Share via: Facebook Twitter LinkedIn Email Copy Link අද අනගාරික ධර්මපාල තුමාගේ පමණක් නොව, ජේ ආර් ජයවර්ධන මහතාගේද ජන්ම සංවත්සරයයි. මේ දෙකම පිලිබඳ එක විට සඳහන් කරමින් ලියවුනු ලිපි දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මගේ මතකය නිවැරදි නම් පසුගිය වසරේ මේ […]

  • Save

අද අනගාරික ධර්මපාල තුමාගේ පමණක් නොව, ජේ ආර් ජයවර්ධන මහතාගේද ජන්ම සංවත්සරයයි. මේ දෙකම පිලිබඳ එක විට සඳහන් කරමින් ලියවුනු ලිපි දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මගේ මතකය නිවැරදි නම් පසුගිය වසරේ මේ දිනයේදී එවැනි ලිපි දෙකක් දක්නට ලැබිණි . ඉන් එකක් ලියා තිබුනේ චම්පික රණවක මහතාය. අනෙක ලියා තිබුනේ දැන් නම මතක නැති වාමාංශිකයෙකි. චම්පික මහතාට මේ උපන්දින දෙක අතිපිහිත වීම යම් ප්‍රහර්ෂයක් ගෙන දෙන කරුණක් වී තිබෙන බව ඒ ලිපිය කියවන විට මට සිතිනි . වාමාංශිකයාගේ ලිපිය ලියැවී තිබුනේ ලංකාවේ වාමාංශිකයන් අතින් බොහෝ විට දේවල් ලියැවෙන ලෝකෝත්තර ස්වරයෙනි. ඔවුනට අනුව ලෝකයේ ඇත්තේ දේවල් දෙකකි. ඉන් පළමු වැන්න නම් මාක්ස්වාදයයි. දෙවැන්න , මාක්ස්වාදය නොවන වෙනත් ඕනෑම දෙයක්ය . මෙසේ මාක්ස්වාදය නොවන වෙනත් ඕනෑම දෙයක් ඔවුනට අනුව ධනවාදය වේ. උක්ත කී වාමාංශිකයාගේ ලිපියට අනුව මේ දේපලගේ උපන්දින සමාන වීමද ධනවාදයේ කුමන හෝ අතුරු පලයක් මිස අනෙකක් නොවේ. මේ වාමාංශිකයාත් , චම්පික රණවක මහතාත් යන දෙපලම , මේ චරිත ද්වය විසින් යෝජනා කල අර්ථ ක්‍රම වල යම් මූලික සමානකමක් දැක තිබුණු බව මට මතකය. මගේ මතකය සදොස් නම් කමන්න. මෙහි යම් හෙතුයුක්ත තර්කයක් නැතුවා නොවේ. ඒ පැහැදිලි කිරීම වෙනත් ලිපියකට කල් දමා මා දැන් ධර්මපාලගේ සමකාලයට හැරෙමි.

ධර්මපාල තුමාත්, සිප්කඩුවේ සුමංගල හිමියනුත් එකට ජීවත් වුනු වසර ගණන හතලිස් හතකි. මේ අනුවත්, ඔවුන් අතර තිබුණු ගනුදෙනු අනුවත් , ඔවුන් සමාන්තරව කල කී දෑ අනුවත් ඔවුන් සමකාලීනයන් ලෙස සැලකීමෙහි වරදක් නැතත් ඇත්ත වශයෙන්ම ඔවුහු දේපල අයත් වුයේ පරම්පරා දෙකකටය. සිප්කඩුවේ හිමියන්ගේ අග්‍රකතෘමය කාර්යය ලෙස සැලකිය හැකි විද්‍යෝදය පිරිවෙණ පිහිටුවීම සිද්ධ වන්නේ කුඩා දොන් ඩේවිඩ් හෙවාවිතාරණට යන්තම් වයස දහයක් වන විටය. නමුත් ඔහුට ඉඩ ලැබුණු පළමු අවස්ථාවේදීම බෞද්ධ පුනර්ජීවනයේ උණුසුම ලැබුනේ ඔහුගේ මව් පසින් මුත්තණුවන් වුනු මුහන්දිරම් ලංසගේ අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධනයන් නිසාය . ඇත්ත වශයෙන්ම “ධර්මපාලියානු” බෞද්ධ පුනර්ජීවනයේ ඇත්ත ප්‍රාරම්භකයා වුයේ ධර්මපාල නොව ඔහුගේ මුත්තනුවන් වුනු අන්දිරිස් පෙරේරාය. විශාල පිරිසක් පිරිවරා සිටි මාතර පළාතේ ධනවත් ව්‍යාපාරිකයකු වූ ඔහු, දහනම වන සියවසේ මුල් අර්ධය තුලදී දායක වී නැති ජාතික කටයුත්තක් නැති තරම්ය.

පානදුරාවායේ කීර්ති රාවයෙන් කුළු ගැන්වී මෙහි පැමිණියා යයි කියන ඕල්කට් තුමාට ලංකාවේ ස්ථාවර වීමට මුල් අදියෙරේදී උපකාර කලේ අන්දිරිස් පෙරේරා මුහන්දිරම් තුමාය. තමන් සමග ලී වෙළඳාම් කල තරුණ වෙළෙන්දකු වුනු දොන් කරෝලිස් හෙවාවිතාරණට තම දියණිය වුනු මල්ලිකා ධර්මගුණවර්ධනව සරණ පාවා දුන් ඔහු ඒ සමග අති විශාල බූදලයක්ද ඔවුන් වෙත පැවරීය. මේ අතර කොළඹ ඉඩකඩම්, පොල් වතු, කඩ සාප්පු යනාදියද තිබුණු අතර අදටත් ලෝ සුපතල දොන් කරෝලිස් ලි බඩු ව්‍යාපාරය ඇරඹෙන්නේ මේ මූලික ප්‍රාග්ධනය යෙදවීමෙනි. කෙටි කලකදී දොන් කරෝලිස් ලි බඩු වෙළඳ සමාගම ලංකාවේ පමණක් නොව යුරෝපය පුරාවටත් ප්‍රචලිත වුනු සන්නාමයක් විය. එකල බොහෝ යුරෝපියානු රජ මැදුරු වල ලංකාවේ නිෂ්පාදනය කල දොන් කරෝලිස් ලි බඩු තිබුණු බව කියැවේ. අනගාරික ධර්මපාල තුමන්ට තම සමස්ථ ජීවිතයම ජාතික දේශපාලනය වෙත කැපකිරීමටත් , තම වැඩිහිටි ජීවිතයෙන් බහුතර කාලයක් ලොව පුරා සංචාරය කිරීමටත් අවකාශ ලැබුනේ තම මුත්තණුවන්ගෙන් ලැබුණු මේ ආර්ථික අඩිතාලම නිසාය.

මේ කියන කාලය සිංහල සමාජය තුල කුල අනන්‍යතා රේඛා ඉතා තදින් ඇඳී පැවති කාලයක් විය. අන්තර් කුල විවාහ, විශේෂයෙන්ම ධනවත් පවුලක ගැහැණු දරුවකු තම කුලයෙන් පිටතට සරණ පාවා දීම එකල දුර්ලභ සිද්ධියක් විය. කුලයෙන් දුරාව වංශිකයකු වුනු අන්දිරිස් පෙරේරා තමන් වෙත එන කුලයෙන් ගොවිගම සුළු ව්‍යාපාරිකයකු වුනු දොන් කරෝලිස් හෙවාවිතාරණට තම දියණිය සරණ යැවීම මේ අනුව සැලකිය හැක්කේ යම් නූතනත්වයක් ගැබ් වුනු පියවරක් ලෙසය. කුලය අනුව පොකුරු ගැසීමේත්, ඒ අනුව යමින් තම මනෝ භාවයන් සංස්කරණය කරගැනීමේත් යුගය අවසන් වෙමින් තිබුණු බව අන්දිරිස් පෙරේරා මුහන්දිරම් අවබෝධ කරගෙන සිටියාට සැක නැත. මින් ඉදිරියට රැස් විය යුත්තේ ජාතිය වටා බවත් එහිදී වැදගත් වන්නේ කුසලතාවය සහ කැපවීම මිස අනෙකක් නොවන බවත් ඔහුගේ චින්තාව වුනු බව ඔහුගේ කියුම් කෙරුම් අධ්‍යනය කරන විට මොනවට පැහැදිලි වේ. අනගාරික ධර්මපාල යනු ඔහුගේ ලේ පංගුවක් අඩංගු වුනු මුණුබුරා පමණක් නොව, ස්වකීය දේශපාලන චින්තාවේද, නූතනත්ව පෙරහුරුකමේද සුජාත දරුවාම විය.

දහනම වන සියවසේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යනු මතුපිටින් සහ ඇතුලතින් වෙන වෙනම හදාරා එකට පිරිද්දිය යුතු සමාජ දේශපාලනික ගතිකයක් වන්නේ එහි තිබුණු සංකීර්ණ අන්තර්ගතය හේතුවෙනි. ජාතික තලයේදී එක පෙරමුණකට ආ චරිතම වෙනත් රහස් තැනකදී කුලය මත පදනම්ව කුලල් කාගත් අවස්ථා ඇත්තේ එකක් දෙකක් නොවේ. වෙනස් කුල වලට අයත් වුනු ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ පවා ජාතික මාතෘකා වලදී ප්‍රසිද්ධියේ එකට සිටීමත් තම කුලය සම්බන්ධ කාරනා වලදී රහසේ එදිරිවාදිකම් කර ගැනීමත් දුර්ලභ නොවුණු දෙයක් විය. ගොවිගම සහ කරාව කුලයට අයත් මෙවැනි භික්ෂූන් වහන්සේ දේපලක් එකිනෙකාට පිළිතුරු ලෙස ලියාගත් ලිපි සහ පොත් පිංචවල් මාලාවක් පිලිබඳ ඉතිහාසයේ සඳහන්ය. ධර්මපාල තුමන් සම්බන්ධයෙන් කිව හැකි විශිෂ්ඨතම ලක්ෂණයක් වන්නේ අතීතයට තල්ලුකොට දැමිය යුතු මට්ටමේ තිබුණු මේ කුල පොරයන් වෙතට කිසිදු විටකදී දායක නොවීමයි.

ධර්මපාල තුමන් විටින් විට පොදු පරිහරණයට පරිත්‍යාග කල බොහෝ දේපල ගැන අප අසා ඇත්තෙමු. මාලිගාකන්දේ ඉඩම්, මරදානේ ස්ථාන කිහිපයක ඉඩම්, කොළඹ කොටුවේ ඉඩම් ප්‍රධානව තිබුණු මේ දේපල සමූහය ඔහුට ලැබුනේ තම මුත්තනුවන්ගෙනි. ඇත්ත වශයෙන්ම සිදු වූයේ ධර්මපාලගේ කීර්ති ප්‍රභාවෙන් අන්දිරිස් පෙරේරාගේ ප්‍රභාව නොපෙනී යාමය. එක්දහස් අටසිය අනූව වසරේදී ඔහුගේ ආදාහන උළෙලට සහභාගී වුනු හෙන්රි ස්ටීල් ඕල්කට් දින සටහනක ලියා තිබුනේ තෙරක් නොපෙනෙන හිස් ගොඩකින් ඔහුගේ මල පෙරහැර වැසී තිබුණු බවය. ඔහුගේ තක්සේරුව අනුව අඩුම තරමේ දහදාහක සෙනගක් එයට සහභාගී වී තිබේ. මෙවැනි සෙනගක් සහභාගී වුනු මලගමක් මීළඟට පැවැත්වෙන්නේ අනගාරික ධර්මපාල තුමන් එක්දහස් නමසිය තිස් තුනේදී මිය ගිය අවස්ථාවේදීය. එකල කුඩා පාසල් දරුවකු ලෙස මෙම මළගමට සහභාගී වුනු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස තම මතකය අවදි කරමින් කියා තිබෙන්නේ ඉන්දියාවේ සිට ලංකාව ගෙනා ධර්මපාල තුමන්ගේ භෂ්මාවශේෂ රැගත් පෙරහැර සැතපුම් දෙකක් පමණ දික් වුනු බවත් , තමන්ද ඇතුළුව එහි ගමන් කල සියලු දෙනාම ධර්මපාල තුමන්ට ගෞරව පිණිස පාවහන් නොමැතිව ගමනේ යෙදුනු බවත්ය. මෙම පෙරහැරේ මුලින් වැඩම කොට තිබෙන්නේ භෂ්මාවශේෂ තැන්පත් කල කරඬුවක් වැනි යමක් හිස තබා ගත් , රටේ මුල් පෙලේ භික්ෂූන් වහන්සේ නමකි. රටේ රජු වුවද ඉතාම ලාබාල සාමනේර නමට පවා පසඟ පිහිටුවා නමස්කාර කිරීම බෞද්ධ රීතියයි. එවැනි තත්වයක් මත උක්ත කියවුණු ආකාරයේ ගෞරවයක් බෞද්ධ රටක රජකුටවත් ලැබෙතැයි සිතිය හැකි නොවේ. අන්දිරිස් – ධර්මපාල, මුත්තනුවන් – මුනුබුරු දේපල ලංකා ධරණී තලය ප්‍රකම්පනය කල තරම එයින් වටහා ගත හැකිය.

නැවතත් සිප්කඩුවේ වෙත එන්නේ නම්, උන් වහන්සේත් ධර්මපාල තුමන් අතරත් පරම්පරාවක පරතරයක් තිබිණි. උන් වහන්සේත් අන්දිරිස් පෙරේරා අතරත් පරම්පරාවක පරතරයක් තිබිණ. මේ අනුව උන් වහන්සේ අන්දිරිස් පෙරේරා මුත්තනුවන් සමගත් ධර්මපාල මුණුබුරන් සමගත් කාල වකවානු දෙකකදී උරෙන්නුර ගැටෙමින් වැඩ කොට තිබෙන බව කිව හැකිය . සිප්කඩුවෙත් ධර්මපාලත් යන දෙපොලම සැලකිය හැක්කේ ලංකාව තුල ක්‍රියාත්මක වුනු නමුත් නිරන්තරයෙන්ම ලංකාවෙන් පිටතට හැරුණු චරිත ද්වයක් ලෙසටය. ඔවුන් දෙපලට ලොවෙහි තිබෙන අනර්ඝතම දේ ලංකාවට ගෙන ඒමට විශාල ඕනෑකමක් තිබිණ. ධර්මපාල මේ සඳහා ක්‍රියාවේ යෙදවූ උපක්‍රමය වුයේ හැකි තරම් ලොව වටා සංචාරය කිරීමයි. ඔහු අඩුම තරමේ ලෝක සංචාර පහක නිරත වුනේ යයි කිව හැකිය. 1889 , 1896, 1902, 1913, සහ 1925-26 කාල වලදී ඔහු මුළු මහත් යුරෝපයේත්, ඉන්දියාවේත්, සියමේත්, ඉන්දුනීසියාවෙත් , චීනය ජපානය, කොරියාව වැනි ඈත පෙරදිග රටවලත් සංචාරය කළේය. ඔහුගේ වැඩිහිටි ජීවිතයෙන් තුනෙන් දෙකක් පමණම ගතවී තිබෙන්නේ රටින් පිටය. අන්තිම කාලය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේය . නමුත් ඒ කිසිම තැනක මාස කිහිපයකට වඩා රැඳී නොසිටි බැවින් ඔහුව හැඳින්විය හැක්කේ දහනමවන සියවසේ “සංස්කෘතික එඬේරකු ලෙසය”. මේ යන ගමන් වලදී ඒ ඒ රටවල තිබුණු උකහා ගත යුතු යයි සිතුනු ඕනෑම දෙයක් ලංකාවට ගෙන ආ හැක්කේ කෙසේද යන්න සිතීමට ඔහු වෙහෙසුනේය.

ධර්මපාල තුමා සැලකිය හැක්කේ බටහිර කාර්මික දියුණුවෙන් සහ වෙළඳ ධනවාදයෙන් මුසපත් වී සිටියකු ලෙසටය. සිංහලයන් ඉතා වේගයෙන් විද්‍යාව උගත යුතු බවත් ඒ මත පදනම්ව අපේ අනාගතය ගොඩනැගිය යුතු බවත් ඔහුගේ අදහස විය. අටසිය ගණන් අගදී යතුරු ලියන යන්ත්‍රය සාමාන්‍ය පරිහරණය පිණිස ජනප්‍රිය වන්නට පටන් ගත විගසම ඔහු එය භාවිතා කරන්නටත් තම ලියකියවිලි සියල්ල ඒ භාවිතා කොට ලියනටත් උත්සුක විය. තමන් සංචාරය කල සෑම තැනකම ඔහු මෙම යතුරු ලියනය ගෙන ගිය අතර ඒ භාවිතා කොට රචනය කල ලිපි ලේඛන තැපැල් මාර්ගයෙන් සිංහල බෞද්ධයා පත්තරය වෙත ලැබිණි. අප දැනටත් කතා බහ කරන ඔහුගේ රට පුරා සංචාර සිදු වූයේ මෙසේ නිරතවුණු ලෝක සංචාර වල අතරමග ඔහු මාස කීපයක් නැවතීමට ලංකාවට ආ විටදීය. මුලදී හරකකු බැඳී කරත්තයකින් රට පුරා ගිය ඔහු හැකි පළමු අවස්ථාවේදීම ඒ සඳහා මෝටර් රථයක් මිලදී ගත්තේය. තමන් නවතින තැන කූඩාරමක් ගසා ගෙන , තමන් විසින් සකසා ගත් හෝ කාර්මිකයකුට කියා අවශ්‍ය පරිදි නිර්මාණය කරගත් කුඩා ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් සියමේ, බුරුමයේ , ඉන්දියාවේ , ලංකාවේ සහ ලෝකයේ වෙනත් රටවල බෞද්ධ සිද්ධස්ථාන වල ඡායාරූප විශාල කොට තිරයක් මතට පතිත කොට ඒ අවට පළාතේ ගැමියනට පෙන්වන්නට පුරුදු වී සිටි බව යම් පොතක තිබුනා මට මතකය. මගේ මතකය නිවැරදි නම් මෙය ලංකාවේ ප්‍රක්ෂේපණ යන්තරයක් භාවිත කල පළමු අවස්ථාවද යන්නත්, එයට අවශ්‍ය ආලෝකය සපයා ගත්තේ කෙලෙසද යන්නත් සොයා බැලිය යුතුය. ලංකාවේ කාර්මීකරණ දියුණුව පිලිබඳ සැලැස්මක් පමණක් නොව එය යතාර්ථයක් බවට පත් කරගැනීමේ මාර්ග සිතියමක්ද ඔහු සතු විය. තමන්ගේ ධන ආයෝජනයෙන් දක්ෂ තරුණයින් කිහිප දෙනකු වැදගත් යයි සිතූ ක්ෂේත්‍ර කීපයක අධ්‍යාපනය ලැබීමට පිට රටවලට යැවූ ඔහු ඔවුන් මුල් කරගෙන අලුත් කර්මාන්ත ආරම්භ කළේය. මා අසා ඇති අන්දමින් අලියා ගිනිපෙට්ටි කර්මාන්තය, පසුව රජයට පවරා ගත රෙදි පිලි කර්මාන්තයක් ඇතුළු තවත් එවැනි ව්‍යාපාර රැසක ආරම්භය මේ අනුව සිදු වී තිබෙයි. කාර්මික අධ්‍යාපනය පුළුල් කිරීමේ ඔහුගේ වෑයමිනි මරදානේ අදටත් පවතින කාර්මික විද්‍යාලය ආරම්භ වන්නේ.

සිප්කඩුවේ හිමියන්ගේ ජාත්‍යන්තර භාවිතාව මීට මදක් වෙනස් මගක් ගත් එකකි. ධර්මපාල මෙන් ලොව පුරා සංචාරය කිරීමට උන් වහන්සේට වුවමනාවක් තිබුනේ නැත. ඒ වෙනුවට උන් වහන්සේ කලේ තමන්ට දැනුම ලබා දෙන නියෝජිතයන් ලොව පුරා ස්ථානගත කිරීමයි. එනම් ඇත්ත වශයෙන්ම යුරෝපා රටවල ජීවත් වුනු එවැනි බුද්ධිමතුන් විවිධ මාර්ග වලින් දැන හැඳිනගෙන ඔවුන් සමග නිරන්තරයෙන් ගනුදෙනු කිරීමයි. යුරෝපය පුරා ජීවත් වුනු විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් ඉහල ගනයේ බුද්ධිමතුන් පනහක පමණ සංචිතයක් උන් වහන්සේ සතු වුනු බව කියැවේ. මේ අයගේ කාර්යය වූයේ නව සොයා ගැනීමක්, වැදගත් ඕනෑම යමක් සිදු පසු එය සිප්කඩුවේ හිමියන්ට දැන්වීමයි. මෙවැනි සම්බන්ධතා වර්ධනය කරගැනීමට උන්ව් වහන්සේ අපූරු උපක්‍රමයක් භාවිතා කළේය. එකල කොළඹ වරාය මේ කලාපයේ වඩාත්ම ප්‍රචලිත හුවමාරු තොටුපල වුනු අතර බටහිර සිට ඈත පෙරදිගට යාත්‍රා කරන බොහෝ නැව් කොළඹට විත් දින කීපයක් හෝ නගුරම් ලා තිබීම සිරිතක් විය. මෙසේ ඉන්නා දින කීපය තුලදී එවැනි නැව් වල මගියන් කොළඹ අවට සහ ඇතැම් විට රටේ වෙනත් තැන් වලට පවා සංචාරය කිරීමේ පුරුද්දක් ඇති වී තිබුණු අතර ඒ ආශ්‍රිතව සංචාරක කර්මාන්තයක්ද ගොඩනැගී තිබිණ. සංචාරක මගපෙන්වන්නන් ලෙස කටයුතු කොට තිබෙන්නේ බර්ගර් ජාතිකයන්ය. සිප්කඩුවේ හිමියන් හැකි සෑම විටකදීම මේ සංචාරක මග පෙන්වන්නන් හරහා , ලංකාව පසුකර යන ප්‍රභූ පිරිස් සහ රටරටවල සංචාරකයන් හමු වී තිබේ. මේ අතර බොහෝ රටවල රාජකීයයන්, ඉහල රාජ්‍ය නිලධාරීන් සහ විද්වතුන් සිටි බව අමුතුවෙන් කිව යුතු නැත .

කොටහේනේ දීපදුත්තමාරාමයේ වැඩ වාසය කල තායි ජාතික ජිනවරවංශ හිමියන්ද එම විහාරස්ථානය ප්‍රචලිත කරගැනීමට මෙම උපක්‍රමය භාවිතා කොට තිබේ. වර්තමානයේ මීට සමාන ක්‍රමවේදයක් ඉතා සාර්ථක ලෙස කොළඹ ගංගාරාමය පංසලේ ක්‍රියාත්මක වන බව මගේ හැඟීමයි. එකල සංචාරක මගපෙන්වන්නන් විදේශිකයන් අතර බෙදා දුන් විස්තර පත්‍රිකා වල කොටහේනේ පන්සල පිලිබඳ විස්තර අඩංගු වූවා සේම මෙකල ඉංග්‍රීසියෙන් පල දිවයිනේ ප්‍රමුඛ සංචාරක සඟරා වල පසුපිටේ ගංගාරාමය පිලිබඳ දැන්වීම් අඩංගුය. අසන්න මිනිසුනේ වැඩක් කල යුත්තේ මෙසේය! ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට මාගේ නමස්කාරය !

බුද්ධගයා සටන යම් අදියරක් දක්වා සාර්ථක කරගත් පසුව එය ආශ්‍රයෙන් වන්දනාමාන සංස්කෘතියක් අලුතින් ඇති කිරීමට ධර්මපාල තුමන්ට අවශ්‍ය විය. ඔහු මේ සඳහා සියමෙන් සහ බුරුමයෙන් වන්දනා නඩ දෙකක් සූදානම් කොට යැවූ අතර ඔහුට ලංකාවෙන් යැවීමට අවශ්‍ය වූයේ සිප්කඩුවේ හිමියන් ප්‍රමුඛ උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසකි. නමුත් සිප්කඩුවේ හිමියන් සිතා ගත නොහැකි ආකාරයට එය ප්‍රතික්ෂේප කොට තිබේ. මෙය මේ දේපල අතර පසුකාලීනව යම් දුරස්ථ භාවයක් ඇති වීමටද තුඩු දී තිබේ.

සිංහල, පාලි, සංස්කෘත පමණක් නොව, ඉංග්‍රීසි , ජර්මන් සහ ලතින් වැනි භාෂාවන්ගේද ප්‍රවීණ ඥාණයක් සිප්කඩුවේ සතු විය. වරක් විද්‍යෝදය පිරිවෙනේ උපාධි ප්‍රධානෝත්සවයට පැමිණි ඉංග්‍රීසි ආණ්ඩුකාර තැන එහි කටයුතු පරීක්ෂා කොට කියා තිබෙන්නේ සිප්කඩුවේ හිමියන්ගේ පිරිවෙණ ආදර්ශයට ගන්නා ලෙස මිෂනාරි පාසල් වලට තමන් දන්වන බවය. මා අසා තිබෙන කතාවකට අනුව වරක් සිප්කඩුවේ හිමියන් ගාල්ලේ සිට දුම්රියෙන් කොළඹ වැඩියෙලු. උන් වහන්සේ ගමන් කොට ඇත්තේ පළමු පංතියේය. එම මැදිරිය තුල බ්‍රිතාන්‍ය ජාතික වතු පාලක වරුන් දෙදෙනකුද සිට ඇත. හිමියන් දෙස අවඥ්ඥාවෙන් බැලු එම දේපල ඉංග්‍රීසි භාෂාවෙන් කතා වී තිබෙන්නේ “ මේ හපුටු චීවර ධාරියා තමන් ගමන් ගත යුතු පංතියවත් නොදන්නා ඇති බවත්, තුන් වන පංතියේ ප්‍රවේශ පත්‍ර අරගෙන පළමු පංතියේ ගමන් කරනවා විය හැකි” බවත්ය. කෙසේ හෝ එදින අතරමග දුම්රිය පලකට යම් උත්සවයක් සඳහා ආණ්ඩුකාරයා පැමිණ තිබේ. එවිට දුම්රියේ සේවකයන් ඔහුට දැනුම් දී තිබෙන්නේ සිප්කඩුවේ හිමියන් දුම්රිය තුල සිටින බවය. වහාම මැදිරියට පැමිණි ඔහු පළමුව දණ ගසා වැඳ ඉන් අනතුරුව ව්‍යක්ත ඉංග්‍රීසියෙන් උන් වහන්සේ සමග කතා කොට නික්මී තිබේ. මින් අනතුරුව භීතියෙන් සලිත වුනු උක්ත කී වගාකරුවන් දෙපල වහාම හිමියන්ට නමස්කාර කර ආයාචනා කොට තිබෙන්නේ තමන් නොදැන කල වරදට සමාව භජයන කරන ලෙසත්, යම් හෙයකින් මේ දැන්වුවහොත් තමන්ට ලංකාවෙන් යන්නට සිදු වන බවත් එනිසා එසේ නොකරන ලෙසත්ය. සමාව එකිනෙහිම ලැබී තිබේ.

අන්දිරිස් පෙරේරාත්, ධර්මපාලත්, සිප්කඩුවේත් මා දකින්නේ දහනමවන සියවසේ ලාංකීය නූතනත්වයේ ත්‍රිමූර්තිය ලෙසය. මින් ධර්මපාල සහ සිප්කඩුවේ පිලිබඳ අවශ්‍ය තරම් විස්තර ප්‍රචලිතව තිබේ. නමුත් ඉන් පෙර කාලයක වඩාත් ක්‍රියාකාරී වුනු අන්දිරිස් පෙරේරා මුහන්දිරම් පිලිබඳව තිබෙන්නේ ඉතා කෙටි සඳහන් කීපයක් පමණි . නමුත් ඔහු ජීවත් වුයේ බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රාරම්භක අවධියේ බැවින් ඔහුගේ මැදිහත්වීම ලංකා රාජ්‍යයේ අනාගත හැඩතල සකස් කිරීමට නොමදව දායක වුනු බවට සැක නැත.

ධර්මපාල ධර්මපාල වුයේත්, සිප්කඩුවේ සිප්කඩුවේ වූයේත් ඔවුන් තමන් වෙත එල්ලවුණු අභියෝගයට සම්මුඛ වුනු නූතන විලාසය නිසා මිස මේ වන විට ඔවුන් ගැන නිරන්තරයෙන් අසන්නට ලැබෙන ඕලාරික සිහි කිරීම් සහ කවි කොළ වර්ගයේ විස්තර වල අඩංගු නීරස ස්වභාවක් නිසා නොවෙයි. මේ දෙදෙනාම යම් විශාල විභවයක් තිබුණු පෘතග්ජන මිනිසුන් බව අප සිහි තබා ගත යුතුය.

යම් පුද්ගලයකු කෙරේ යම් සාරයක් ඇතොත් ඒ දකින්නට නම් ඔහු ආසන්නයට යා යුතුය. තමන්ගේ මනෝරාජික සිහින කල්පනාවක් අනුව යලි සංස්කරණය කරන ලද ව්‍යාජ ප්‍රතිරූපයක් නොව, සැබෑ මනුෂ්‍ය දුර්වලකම් සහ ශක්තීන් අඩංගු ඔවුන්ගේ අව්‍යාජ ස්වරූපයන් එලෙසින්ම භාරගත යුතුය. මේ වන විට තිබෙන්නේ පශ්චාත් නිදහස් ජාතිකවාදී කතිකාවත් විසින් නිර්මාණය කරන ලද අලුත් ධර්මපාල තුමෙකි. අපි හැකිනම් ඊට පෙර ජීවත් වුනු වඩාත් “ධර්මපාල ස්වභාවයෙන්” යුතු ධර්මපාලව සොයාගනිමු.

ඡායාරූපය : ධර්මපාල තුමන් කල්කටාවේදී ජපන් දූත පිරිසක් සමග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap