Opinion

දැනුම සහ පැණිය

Summary

මම ඒක-දේවවාදය පිළිගන්න කෙනෙක් නෙවෙයි. බටහිර වෙදකම වගේ ම අනිත් වෙදකම්වලටත් තැනක් දෙන්න ඕන කියලා මම හිතනවා. මීයෝ අල්ලනවා නම් බළලා කළු ද සුදු ද කියන එක අපිට අදාළ නෑ.

පැණිය ගැන කතාව යටපත් කරන්න අඩු ගණනේ උපක්‍රම පහක් අනුගමනය කරලා තියෙනවා. කට්ටියක් එක සීරුවට ම ඒකට ගහන්න, කොලොප්පම් කරනවා. තව කට්ටියක් ඒක ගැන පර්යේෂණ කරනවා කියලා ඒ වැඩේ හෙමින් හෙමින් රබර් කරනවා. තව කට්ටියක් හෝදා හෝදා මඩේ දානවා වගේ අද හොඳක් කියලා හෙට විරුද්ධ දෙයක් කියනවා. තවත් කට්ටියක් ඒකට දාන අමුද්‍රව්‍ය හින්දා වෙන්න පුළුවන් හානි ගැන කතා කරනවා. ඊට අමතරව ඒ වගේ ම කියලා හිතෙන්න පුළුවන් තවත් පැණි ගොඩකුත් එළියට දානවා. ඉතින් වැඩේ අතුගාලා දාන්න තව වැඩි දවසක් ඕන වෙන්නේ නෑ..

“දැනුම බලය වේ” කියලා ෆ්‍රැන්සිස් බේකන් කියලා තියෙනවා. ඒත් හැම දැනුමකට ම එහෙම බලයක් ලැබෙන්නේ නෑ. බලවතාගේ දැනුමේ තමයි බලය තියෙන්නේ. ඒ දැනුමේ ආධිපත්‍යයට විරුද්ධව වචනයක්වත් කියන්න බෑ. බටහිර රටවල් කීපයක් විසින් හුඟක් රටවල් අවනත කරගෙන ඉන්නේ දැනුමේ ආධිපත්‍යය යොදා ගෙන. ඒ වෙනුවෙන් හොඳට බුරන්න හැකියාව තියෙන කකුල් දෙකේ සත්තු ටිකක් අදාළ රටවල්වලින් ම හදාගන්න බටහිර බලවතුන්ට පුළුවන් වෙලා තියෙනවා. බටහිර දැනුමට විරුද්ධව වචනයක් හරි කතා කළොත් ඉතින් සොරි තමයි. ඊයේ පෙරේදා ඉස්සරහට ආපු පැණි කතාවට එල්ල වුණු විරෝධයත් එහෙම එකක්.

කෑගල්ලේ ධම්මික මහත්තයා හදලා තියෙනවා කියන පැණිය ගැන දැනුමක් මට නෑ. පහුගිය මාර්තු මාසේ ඇඳිරි නීතිය දාලා සතියක් ගත වෙන්න කලින් මගේ මිත්‍ර දොස්තර මහත්තයෙක් (ඔව්. ටයි ගැට ගහන බටහිර දොස්තර මහත්තයෙක්) මාව හොයාගෙන ආවා. කළුපාට දියරයක් පුරවපු පුංචි බෝතලයක් ඒ මහත්තයා මට දුන්නා. ඒක අඟල් එක හමාරක් විතර විෂ්කම්භය තියෙන අඟල් තුනක් විතර උස පුංචි බෝතලයක්. “කොරෝනාවෙන් ආරක්‍ෂා වෙන්න මේක බොන්න” කියලා ඒ දොස්තර මහත්තයා මට කිව්වා. (මම ඒක බිව්වා ද නැද්ද කියන එක ගැන නම් අහන්න එපා. ඒ ගැන මම කියන්නේ නෑ).

යාළුවා කියපු විදිහට ඒ බෝතලයේ තිබුණු බෙහෙත හදලා තියෙන්නේ කෑගල්ලේ පැත්තේ ඉන්න මෑණි කෙනෙක්. එතුමා වගේ තවත් වෛද්‍යවරු, ඉංජිනේරුවෝ සෑහෙන ප්‍රමාණයක් ඒ මෑණියන්ගේ දේවාලයට යනවා කියලත් යාළුවා කිව්වා.

මේ විදිහට මාස තුන හමාරක් විතර ගතවුනා ම කොළඹ ඇඳිරි නීතිය අවසන් කළා. “කෑගල්ලේ මෑණියන් මුණ ගැහෙන්න යමු” කියලා ඊට පස්සේ කීප වතාවක් ම මගේ යාළුවා කිව්වා. ඒත් මම ගියේ නෑ. එතැන වැඩකට පොඩි පත්‍රිකාවක් ලියලා දෙන්න කිව්වාම මම ඒක නම් කළා.

වතුපිටිවල රෝහලේ කරපු පර්යේෂණයක් ගැන ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ වුනේ මීට සති දෙකකට විතර කලින්. ඒක කරන්න මුල් වෙලා හිටියේ අර යාළුවා කියපු විදිහට කෑගල්ලේ යන වෛද්‍යවරු පිරිසක්. කොහොම හරි ඒ ප්‍රවෘත්තිය විසින් අපේ රටේ විශාල ආන්දෝලනයක් ඇති කළා. ඒ එක්කම ඒකට ගහන සහ බුරන හමුදාවත් පාරට බැස්සා.

දැනුම ලබාගන්න පුළුවන් සුද්දෝ කියලා තියෙන ක්‍රමයට විතරයි කියලා මම පිළිගන්නේ නෑ. හැම දේකට ම භෞතිකවාදී පරීක්‍ෂණ කරන්න ඕන නෑ. විවිධ විදිහට දැනුම ලබා ගන්න අපිට පුළුවන්. ලෝක ස්වභාවය ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් මොළේ කල්පනා කරලා විතරක් අපේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පුළුවන්. භාවනාවෙන් හිත දියුණු කරලත් ඒක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ ම, ලෝකය කියන්නේ අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර දේ විතරක් කියලා මම අදහන්නෙත් නෑ. ඉතින් අපිට නොපෙනෙන දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්.

දෙවියෝ, යක්‍ෂයෝ, භූතයෝ සහ පෙරේතයෝ කියලා කියන්නෙත් අපිට පේන්නේ නැති සත්ත්ව කොට්ඨාශ. අපේ බුද්ධාගමේ, සූත්‍ර දේශනාවල මේ විදිහෙ සත්ත්ව කොට්ඨාශ ගැන නිතර කියනවා. ඉතින් මම ඒවා පිළිගන්නවා. එහෙම පිළිගැනීම වැරැද්දක් කියලා මම හිතන්නේ නෑ. ඉස්ලාම් භක්තිකයෝ අල්ලාහ් දෙවියන්ව පිළිගැනීම වැරැද්දක් කියලා අපේ විද්‍යාඥයෝ සෙට් එකේ කවුරුවත් කියන්නේ නෑ. ඒ අය කියන්නේ “මිනිස්සුන්ගේ ආගමික විශ්වාසවලට අපි ගරු කරන්න ඕන” කියලා. ඉතින් බෞද්ධයෙක් විදිහට මම අපේ දෙවිවරු පිළිගන්න එකේ වැරැද්ද මොකක්ද? බෞද්ධයෙක් එහෙම කළාම ඌට වට කරගෙන නෙළන්න ඕන ද?

ඉතින් ධම්මික මහත්තයා කවුද කියලා දන්නේ නැති වුනත් ඒ විදිහට දැනුම ලබා ගැනීම සම්බන්ධයෙන් මම ලිව්වා. ඒ වගේ ම, වෛද්‍ය ක්‍රමය හරහා එළියට දාන බටහිර දැනුමේ ආධිපත්‍යයත් මම විවේචනය කළා. මම බටහිර ආධිපත්‍යයට විරුද්ධ කෙනෙක්. චීන කතන්දර කියන්න මම යොමුවෙලා තියෙන්නෙත් බටහිර බලයට විරුද්ධ උපක්‍රමයක් විදිහට. බටහිර විතරක් උස්සලා පෙන්නන සෙල්ලමට මම විරුද්ධයි. එහෙම විරුද්ධවීමේ අයිතියක් මට තියෙනවා කියලා මම හිතනවා.

බටහිර වෙදකමේ අගය කළ යුතු දේවල් තියෙනවා. ඒ දේවල්වල ප්‍රයෝජන ගන්න අපි පැකිළෙන්න ඕන නෑ. සෑහෙන දොස්තර යාළුවෝ ගොඩකුත් මට ඉන්නවා. පාදෙණිය මහත්තයාත් මගේ යාළුවෙක්. ඒ හින්දා මම මේ දේවල් ලියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය ගැන හරි අදාළ වෛද්‍යවරු සමඟ හරි මට තියෙන ජන්මාන්තර වෛරයකින් නම් නෙවෙයි. මම ලියන්නේ ඒ ආධිපත්‍යයට විරුද්ධව.

මම ඒක-දේවවාදය පිළිගන්න කෙනෙක් නෙවෙයි. බටහිර වෙදකම වගේ ම අනිත් වෙදකම්වලටත් තැනක් දෙන්න ඕන කියලා මම හිතනවා. මීයෝ අල්ලනවා නම් බළලා කළු ද සුදු ද කියන එක අපිට අදාළ නෑ.

ආර්ථික කරුණු ගැන හිතලත් මම බටහිර වෙදකම ගැන වද වෙනවා. ඒ වෙදකම මුළුමනින්ම වගේ ආනයන මත යැපෙන ශිල්පයක්. ඒක අපිට ලොකු වියදමක්. ඒත් අපේ සිංහල වෙදකම එහෙම නෑ. හරියට ඉස්සරහට ගන්නවා නම් ඒ හරහා අපේ රටට ලොකු ආදායමක් උපද්දවා ගන්නත් අපිට පුළුවන්.

අද උදෙත් මගේ අර දොස්තර යාළුවා මට කතා කළා. දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ ඔය පැණියෙන් වැඩ ගන්න නො ලැබෙන බව මම ඒ යාළුවාට කිව්වා.

“හොඳම විසඳුම ඔය වට්ටෝරුව ප්‍රසිද්ධ කරන එක” කියලත් මම කිව්වා. “ඒත් එහෙම කළොත් මේ හරහා අපේ රටට හොයා ගන්න පුළුවන් ලොකු මුදලක් අපිට අහිමි වෙනවා නේ ද?” කියලා ඒ යාළුවා වද වෙනවා. ඒක ඇත්ත. ඒත් මේ ආධිපත්‍යය ඇතුළේ ඔය වැඩේ කරන්න ලැබෙන්නේ නැති බව මම ඒ යාළුවාට දන්න සිංහලෙන් තේරුම් කරලා දුන්නා.

තව ටික දවසක් යද්දි අපේ රටට ඉන්ජෙක්සන් එකක් ගෙනෙයි. ඊට පස්සේ ළමයි ඉස්කෝලේ යවන්න ඕන නම්, රස්සාවකට යන්න ඕන නම්, විදේශගත වෙන්න ඕන නම් ඒ ඉන්ජෙක්සන් එක විදපු බවට සහතිකයක් ගන්නත් අපිට සිද්ද වෙයි.

තියෙන තුට්ටුව වියදම් වුනත් බටහිර ආධිපත්‍යය රැකලා දීලා ඒ යටතේ ලැබෙන කටුවක් සූප්පු කර කර ඉන්න තියෙනවා නම් අපිට ඒ හොඳට ම ඇති.

Leave a Reply

Your email address will not be published.