දෑහිතකාමී දේශප්‍රේමියෙකුගේ සමුගැනීම – Gammiris
Opinion

දෑහිතකාමී දේශප්‍රේමියෙකුගේ සමුගැනීම

Summary

රට දැය සමයේ, මානව සංහතියේ අභිවෘද්ධිය පිණිස අසීමිතව කැපකිරීම් කළ දේශප්‍රේමියෙකි ජයමුණි ජයන්ත ද සිල්වා.

දෑහිතකාමී සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ජයමුණි ජයන්ත ද සිල්වා මහතා 2020. 11. 04 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ වනවිට තලවතුර, ගෙලිඔය පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට ප.ව. 3.00ට පැවැත්වෙනු ඇත.

ජයන්ත අයියා මට මුලින්ම මුණගැසුනේ මීට වසර 17 කට පමණ පෙර දී එතුමා සේවය කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සරප් අංශයේදී ය. එවකට දෙවැනි වසරේ සිසුවෙකු වූ මට ඔහු හමුවන ලෙස දන්වන ලද්දේ අපගේ ගුරුදෙවයන්වහන්සේ නමක් වන කැලණිය විශ්ව විද්‍යාලයේ, දර්ශන අංශයේ හිටපු අංශාධිපති වරයෙකු වන මහාචාර්ය කන්දෙගොඩ විමල ධම්මාභිධාන අමරපුර මහා නිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

ඉන්පසු කීප වතාවක්ම අපි හමු වී සාකච්ඡා කළෙමු. එහෙත් මට ජයන්ත අයියාගේ දාර්ශනික ආස්ථානය හා එකඟ වීමට නොහැකි විය. ඔහු පෙරදිග බුදුදහම සහ බටහිර මාක්ස්වාදය එකතුකර සකසා ගත් නව දර්ශනයකින් රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයන්නෙකු විය. මම මගේ සහ රටේ විමුක්තිය සලසා ගත හැක්කේ මහාවිහාරයීය ථෙරවාදයෙන් පමණක් යැයි විශ්වාස කරන්නෙකු වීමි.අප දෙදෙනාගේ දාර්ශනික ආස්ථාන එකිනෙකට මුළුමනින්ම පටහැනි නොවුනත් ඒවා අතර බරපතල නොගැලපීම් තිබිණි.

එසේ වුවත් තම ජීවිත කාලයම රට දැය සමයේ උන්නතිය වෙනුවෙන් කැපකළ ජයන්ත අයියා ගැන මට ඇත්තේ ඉමහත් ගෞරවයක් බව නොකියා බැරිය. මේ කෙටි අදහස් දැක්වීම ඔහුගේ වටිනා චරිත ලක්ෂණවලට කෙරෙන උපහාරයකි. ඔහු පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් ඔහු සහ ඔහුගේ කාර්යභාරය පිලිබඳ වඩා හොඳින් දන්නා අයෙකු විසින් ලියනු ඇතැයි සිතමි.

ජයන්ත අයියා විසින් මාවත් මා විසින් ජයන්ත අයියාත් අනුන්ට එකිනෙකා හඳුන්වා දෙන විට එසේ කරන ලද්දේ මේ මගේ කිට්ටු ඥාතියෙක් ලෙසයි. එහෙත් අප දෙදෙනා අතර එවැනි ළඟ ඥාති කමක් නොතිබිණි. එහෙත් ඔහුත් මමත් දෙදෙනාම අප දෙදෙනාගේ මුතුන්මිත්තන් පිලිබඳ එකම පුරාවෘත්තයක් පිළිගත් අය වීමු. ඒ පුරාවෘත්තයට අනුව අප දෙදෙනාම පැවත එන්නේ දඹදෙණි යුගයේදී වත්හිමි විජයබාහු නම් රජෙකුට ඔටුනු පළඳවන්නට මෙරටට පැමිණි බමුණු හත්දෙනාගෙනි. අප දෙදෙනාගේ දැඩි සහෝදර බැඳීමට පදනම වූයේ වසර දහස් ගණනක් පැරණි මේ ඥාතිත්වයයි. අප දෙදෙනාම මේ සත් බමුණු පරපුරේ ඇත්තන් විසින් අපේ රට දැය සමය වෙනුවෙන් කර ඇති මෙහෙවර ගැන ආඩම්බර වූවෝ වෙමු.

ජයමුණි සුගතපාල ද සිල්වා පියාණන්ට දාව තිරිමාදුර දයාවතී ද සිල්වා මවගේ කුසින් 1950.09.03 වැනි දින අම්බලන්ගොඩට නොදුරු අකුරල, ගල්දූව නම් ගම් පියසේදී මෙලොව එළිය දුටු ජයමුණි ජයන්ත ද සිල්වා මහතා සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා විය. අම්බලංගොඩ, ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රම පිංබිමට ඉඩම් පූජා කළ ගුණවර්ධන ආදිරිස් ද සිල්වා වික්‍රමරත්නයෝ ජයන්ත අයියාගේ මව් පාර්ශ්වයේ මුත්තනු කෙනෙකි. ජයන්ත අයියලාගේ මහගෙදර පිහිටා තිබෙන්නේ ද ගල්දූව පිංබිමට යාබදව වීම නිසා ඔහුට කුඩා කල සිටම බුදු දහමේ අභාෂය ලැබෙන්නට හේතුවන්නට ඇත.

ගා/ අකුරළ කනිෂ්ඨ විද්‍යාලය, ගා/ මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය සහ ගා/ ධර්මාශෝක විද්‍යාලය යන විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ ඔහුට පාසැල් අධ්‍යාපනය හමාර කරන්නට නොහැකි වූයේ ජවිපෙ දේශපාලනයට එක්වීම නිසාය. 1971 ජවිපෙ පළමු කැරැල්ලේ බදුල්ල දිස්ත්‍රික්කයේ උපනායකයා වූයේ සරත් හෙවත් ජයමුණි ජයන්ත ද සිල්වා නම් වූ අප කතානායකයා ය. ඔහු අපට පවසා ඇති පරිදි නරක මිනිසෙකු වූ රෝහණ විජේවීරට අභ්‍යන්තර සාකාච්ඡා වලදී කීපවරක්ම ඔහු අභියෝග කර ඇත. 71 කැරැල්ලේ සිරකරුවෙකු වූ ජයන්ත අයියා නිදහස ලබා පැමිණි පසු ද සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළේය.

ඔහුගේ චින්තනයේ ප්‍රධාන මාතෘකා තුනකි. ඒවා වන්නේ බුදුදහම, ඉතිහාසය සහ දේශපාලනයයි. ඔහුට අනුව පෙරදිග චින්තනයේ මුදුන්මල්කඩ වන්නේ බුදුදහම වන අතර බටහිර චින්තනයේ පරිසමාප්තිය වන්නේ මාක්ස්වාදයයි. මාක්ස්වාදයේ ආර්ථික මිනිසා සහ බුදුදහමේ ආධ්‍යාත්මික මිනිසා එකතු කර ආධ්‍යාත්මිකත්වයෙන් මෙන්ම ආර්ථික සමෘධියෙන් යුතු මිනිසෙකු බිහිකරගැනීම ඔහුගේ දාර්ශනික ව්‍යායාමයේ අපේක්ෂාව විය.

ජයන්ත අයියාගේ අවධානය යොමු වූ තවත් මාතෘකාවක් වන්නේ පරිසරයයි. අතුරලියේ රතන(සාර) හිමි, චම්පක රණවක සහ තවත් පිරිසක් එක්ව පිහිටුවන ලද ජනතා මිතුරෝ සංවිධානයේ මූලික තේමාවක් වූයේ හරිත සමාජවාදයයි. ජයන්ත අයියා මෙහි සාමාජිකයෙකු නොවුවද ජනතා මිතුරන්ගේ න්‍යායාචාර්යවරයෙකු වූ බව කියැවේ. ඔහුගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද මූලධර්ම විද්‍යා සංගමය මඟින් පෙරදිග චින්තනය නමින් පොත් පිංචක් පළකර ඇත. 2013.03.02 ඔහුගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද පෙරදිග චින්තන පාසැල පසුව මානව චින්තන ව්‍යාපාරය බවටත් ඊටත් පසුව මානව විමුක්ති ව්‍යාපාරය බවටත් පත් වී අදද ක්‍රියාත්මක වෙමින් පවතී.

ඔහුගේ චින්තනයේ මූලික මාතෘකා තුනෙන් බුදුදහම ගැන ඔහුගේ වටහාගැනීම ” විද්‍යා විමුක්ති” නම් කෘතිය තුළ අන්තර්ගත වන අතර එය මානව විමුක්ති ව්‍යාපාරය මඟින් පල කෙරී ඇත. දේශපාලනය පිලිබඳ ඔහුගේ පැහැදිලිකිරීම වන “සම්මා විමුක්ති” කෘතිය සහ ඉතිහාසය පිලිබඳ ඔහුගේ පර්යේෂණය “බණ්ඩාර මහ ලංකා ” යනුවෙන් නුදුරු අනාගතයේදී මානව විමුක්ති ව්‍යාපාරය විසින් පළකෙරෙනු ඇත.

2018 වසරේදී පේරාදෙණි සරසවි විහාරයේදී අප විසින් පිහිටුවන ලද මැදරට ජාතික සංවාද පර්ෂදයේ ආරම්භක රැස්වීම් කීපයකටම ජයන්ත අයියා සහභාගී විය. අපේ මතිමතාන්තර අතර නොගැලපීම් තිබුන ද එකඟවීම් අනුව කටයුතු කිරීමට අපි කතිකා කර ගතිමු. කඩුගන්නාවේ දී අප සංගමයේ නියෝජිතයින් සහ සිංහල රාවයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡාවක් සංවිධානය කරන ලද්දේ ජයන්ත අයියා විසිනි. එහිදී අපි ගෝඨාභය රාජපක්ෂ ව ජනාධිපති කරවීමට අවසානයේදී එකඟ වූයේ බොහෝ වේලාවක් කරන ලද වාද විවාදවලින් පසුව බව මට මතක ය.

වසර 70 ක් ආයු වළඳා අප අතරින් හෙට දින සමුගන්නේ දයාබර බිරිඳකගේ ආදරණීය සැමියෙකු, පුතෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකු, සහෝදරියන් දෙදෙනෙකුගේ සහ සහෝදරයෙකුගේ දයාබර සහෝදරයකු පමණක් නොවේ. රට දැය සමයේ, මානව සංහතියේ අභිවෘද්ධිය පිණිස අසීමිතව කැපකිරීම් කළ දේශප්‍රේමියෙකි. දයාබර ජයන්ත අයියේ ඔබට නිවන්සුව අත්වේවායි පතමි.

Leave a Reply

Your email address will not be published.