Opinion

දුක්වීම පහසුයි

Summary

සිංහයා තවමත් ජීවතුන් අතර ය. එහෙත් ඕස්ට්‍රේලියාවේ ය. උපාලි ගිනිවැල්ල මඩොල්දූවේ නැත. සබඳ මම රස්පුටින් කිවූ සොමී ඉන්නේ රුසියාවේ නොව ඇමරිකාවේය

ජයලාල් අයියා සමුගෙන ගියේය. ඊට කළින් මනෝ අයියා සමුගෙන ගියේය. ඒ ගැන අපි බොහෝ දුක් වීමු. එහෙත් මේ කියන්නට යන්නේ ඒ ගැන නොවේ.

ජීවත් ව සිටින අතර කරළියට සමුදෙන්නට සිදුව ඇති අය ගැන ය. දුක්වීම පහසු ය. ඇත්තටම සිතට ද සැපතකි. එහෙත් අතිශයින් ප්‍රතිභාසම්පන්න රංගන ශිල්පියෝ රැසක් ජීවත්ව සිටිය දී ම වේදිකාවට සමු දී සිටිති. වේදිකාවට පමණක් නොව මව්බිමට ද සමු දී සිටිති. ඒ ගැන ද දුක් විය යුතු ය. එනම් අපේ දැවැන්තයන් දිවි රඟ මඩලින් සමුගන්නා අතර තවත් දැවැන්තයන්ට ජීවිකාව උදෙසා මව්බිම අතැර ජීවත්වන්නට සිදුව තිබීම පිළිබදවය.

මරණය නම් වැළැක්විය නොහැක. එහෙත් මේ තත්වය අවශ්‍ය නම් වැළැක්විය හැකිව තිබූ දෙයකි. තිබෙන දෙයකි.


සිංහයා තවමත් ජීවතුන් අතර ය. එහෙත් ඕස්ට්‍රේලියාවේ ය. මා මේ කියන්නේ ජය ශ්‍රී චන්ද්‍රජිත් ගැන ය. වේදිකාවේ සිංහයාගේ මරණය ගැන දුක් වූ අය පවා සිංහයාට ජීවය දුන් ජය ශ්‍රී මව්බිමෙන් සමුගෙන යාම ගැන දුක්වූයේ නැත. කලාව ගැන අප තුළ ඇති ආදරයේ හැටි එහෙමය.

සිංහයා ඕස්ට්‍රේලියාවේ සිටින අතර උපාලි ගිනිවැල්ල මඩොල්දූවේ නැත. උපාලි ගිනිවැල්ලට මඩොල්දූව හිමි වූ නමුත් අජිත් ජිනදාසට හිමිවූයේ කැනඩාව ය. මායාදේවී, පුත්‍ර සමාගම, දිවැස් හෙලනු මැන, සිහින සාප්පුව ආදී නාට්‍යවල අජිත් ජිනදාසගේ රංගනයන් කිසිදා අමතක කළ නොහැක.

සබඳ මම රස්පුටින් කිවූ සොමී රත්නායක සිටින්නේ රුසියාවේ නොව ඇමරිකාවේය. ලින්ටන් සේමගේ ද ඇමරිකාවේය.


සුනේත්‍රා සරච්චන්ද්‍ර ලංකාවේ නාට්‍ය මෙන් ම ටෙලි නාට්‍ය වේදිකාවේ ද සිටි දක්ෂතම නිළියකි. පරාක්‍රම නිරිඇල්ලගේ උත්තමාවි වේදිකා නාට්‍යයේ ඇගේ පෙන්වූ රංගන පරාක්‍රමය මට කිසිදා අමතක නොවේ. ඇය දැන් සිටින්නේ ද ඇමරිකාවේ බව කියැවේ.

ජීවිතයෙන් සමුගැනීම නොවැළක්විය හැකි කරුණකි. එහෙත් ජීවත් ව සිටිය දී ම කලාවෙන් වේදිකාවෙන් රංගනයෙන් සමුගන්නට සිදුවීම ඊට වඩා ඛේදවාචකයක් විය හැකිය.

ඇත්තටම ඇතැම් අති දක්ෂ නළුනිළියන් විදේශගත වීසිටින අතර තවත් සමහර නළුනිළියන් අපේ රටේ සිටිය දී ම වේදිකාවට සමු දී සිටිති. මෙහිදී සිදුව ඇත්තේ ඇත්තෙන් ම ඔවුන්ගේ රංගන ප්‍රතිභාවෙන් හරිආකාරව ප්‍රයෝජන ගැනීමට හැකි මට්ටමේ නාට්‍ය හා ටෙලිනාට්‍ය බිහි නොවීම පිළිබද ප්‍රශ්නයකි.

රත්නා ලාලනී ජයකොඩි උදාහරණයකි. මායාදේවී හා අන්දේරාලා නාට්‍යවල ඇගේ රංගනයන් අපේ නාට්‍ය කලාවේ සදානුස්මරණීය වේ. යශෝරාවට ටෙලිනාට්‍යය ද මතක් කළ යුතුය. ඒ සමග ම අමිත්ත වීරසිංහ ද මතකයට නැගේ. මේ මගින් හෙළිවන්නේ රට ගිය ද නොගිය ද දක්ෂ ශිල්පීන් වෙනුවෙන් වේදිකාවක් ලංකාවේ නැති බව ය.

අපේ ආදරණීය කලාශිල්පීන් ජීවිතයෙන් සමුගත් පසු දුක්වීම පහසු ය. එහෙත් ඔවුන් ජීවත් ව සිටිය දී ඔවුනගේ ප්‍රතිභාවන් අපේ කලා ක්ෂේත්‍රය ආලෝකමත් කිරීම උදෙසා යොදාගැනීම ඊට වඩා අපහසුය. අප සැම විටම වඩා පහසු දේ තෝරාගනිමු.

දුක්වීමට අපි කැමැත්තෙමු. ඒ සඳහා මාවත විවර තිබේ. 

Leave a Reply

Your email address will not be published.