Opinion

දුම්රිය කාල සටහන චීන භාෂාවෙන් කොටුව දුම්රියපළට ආවේ කොහෙන්ද?

Summary

අද ඉංග්‍රීසි හා සිංහල භාෂාව ද යටකරමින් චීන භාෂාව මතුවීමක් ගැන කතා කරන අය කිසිදු දිනක සිංහල භාෂාව යට කරමින් ඉංග්‍රීසි භාෂාව මතුවීම ගැන දුක්වූ බවක් ද අපි දැක නැත්තෙමු.

ඉංග්‍රීසි භාෂාව සමග චීන භාෂාවෙන් ද කොටුව දුම්රියපොළේ සහ ගල්කිස්ස දුම්රියපොළේ දුම්රිය කාලසටහන දක්වා ඇති බව පෙන්වන පෝස්ට් එකක් මේ දිනවල පේස්බුක් ජාලයේ හුවමාරු වේ. එසේම චීන ඉදිකිරීම් සමාගම් විසින් ඉදිකර ඇති පුවරුවල චීන භාෂාවට ප්‍රමුඛත්වය දී ඇති ආකාරය ද කතා බහට ලක්වේ. චීන භාෂාව ලංකාවේ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් යම් පිරිසක් විරෝධත්වය දක්වන බව පෙනේ.

මෙසේ මේ චීන භාෂාව ලංකාවේ ව්‍යාප්ත වීමට විරුද්ධත්වයක් දක්වන්නේ මේ රටේ ප්‍රශ්නවලට රැකියා විරහිතකමට මූලික හේතුවක් වූයේ ඉංග්‍රීසි භාෂාව වෙනුවට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමය යන්න කියන පිරිසම බව පෙනේ. එසේම අද ඉංග්‍රීසි හා සිංහල භාෂාව ද යටකරමින් චීන භාෂාව මතුවීමක් ගැන කතා කරන අය කිසිදු දිනක සිංහල භාෂාව යට කරමින් ඉංග්‍රීසි භාෂාව මතුවීම ගැන දුක්වූ බවක් ද අපි දැක නැත්තෙමු. ඒ වෙනුවට සිංහල යටපත් කරමින් ඉංග්‍රීසි මතුවන තරමට ඔවුන් සතුටු වූ බව ද එසේ ම සිංහල භාෂාව යට කර ඉංග්‍රීසි භාෂාව මතු කිරීමට ඔවුන් සෑම උත්සාහයක් ම දැරූ බව ද කිව හැකිය.

එහෙත් එසේ නම් අද හදිසියේ මෙසේ චීන භාෂාවේ ආධිපත්‍යය ගැන මොවුන් කතාකරන්නේ ඇයි?

සිංහල භාෂාව යට කරමින් ඉංග්‍රීසි භාෂාව මතු වුව ද චීන භාෂාව මතු වුව ද ඒ දෙකෙහිම ප්‍රතිඵලය සිංහල භාෂාවට ඇති තැන තවදුරටත් අහිමිවීමයි. සිංහල සංස්කෘතිය දුර්වල වීමයි. එහෙත් සිංහල සංස්කෘතිය යටපත් කරමින් ඉංග්‍රීසි සංස්කෘතිය උඩට ඒම ගැන සතුටු වූ අය අද ඉංග්‍රීසි හා සිංහල යන සංස්කෘති දෙකම යට කරමින් චීන සංස්කෘතිය උඩ ඒම ගැන දුක්වන්නේ ඇයි? ඔවුන්ගේ දුක සිංහල සංස්කෘතිය ගැන නොව ඉංග්‍රීසි සංස්කෘතියට ඇති තැන අහිමිවීම ගැන බව පෙනෙයි. සුදු අධිරාජ්‍යය වෙනුවට චීන අධිරාජ්‍යය මතුවීම ගැන බව පෙනෙයි.

එසේම මෙසේ චීන සංස්කෘතිකාංග ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ගැන ඔවුන් ප්‍රධාන වශයෙන් දොස් කියන්නේ චීනයට නොව සිංහල මිනිස්සුන්ට බව ද පෙනේ. මේ අනුව ඔවුන්ගේ අරමුණ සිංහල සංස්කෘතිය රැකදීම නොව ඉංග්‍රීසි සංස්කෘතිය හා චීන සංස්කෘතිය රැකගැනීම බව ද කිව හැකිය.

ඇත්තටම චීන සංස්කෘතිය හා ආර්ථිකය අද ලංකාවේ ශක්තිමත් වන්නේ නම් එයට හේතුව අන් කිසිවක් නොව ඉංග්‍රීසින් විසින් සිංහල සංස්කෘතිය දුර්වල කිරීමය. සිංහල ජනතාව පාගා දැමීමය. ඉංග්‍රීසින් විසින් මර්ධනය කරනු ලැබූ සිංහල ජනතාව සතු ව අද වන විට චීනයට විරුද්ධව නැගී සිටීම සදහා ශක්තියක් ඉතිරි වී නැත. ඉංග්‍රීසින්ට ද පරාජය වූ අපට අද ලෝකයේ බලවත් ම ජාතියක් ලෙස නැගී සිටින චීනුන් පරාජය කිරීම අපහසුය.

අපේ සංස්කෘතිය අතහැර ඉංග්‍රීසි සංස්කෘතිකාංග වැළදගත් අපට එසේ ම චීන සංස්කෘතිකාංග වැළදගැනීම ද අපහසු නොවේ. මක්නිසාද යත් අපේ සංස්කෘතියට තමන්ගේ සංස්කෘතියට නිගා කිරීමට ඉංග්‍රීසින් විසින් අපට උගන්වා ඇති බැවිනි.

ඇත්තටම මේ චීන ව්‍යාප්තියක් ගැන කතා කරන අය අපට ආදරේ නම් ඔවුන් කළ යුත්තේ අපේ සංස්කෘතිය නැවත ශක්තිමත් කරගැනීමට අපට උපකාරී වීමය. අපෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් අපට නැවත බාරදී අපේ දැනුම මතුකරගැනීමට උදව්වීමය. අපේ සංස්කෘතිකාංගවල නැති වැරදි පෙන්වන ව්‍යාපෘති එන්ජීඔ් ආධාර සමගින් ක්‍රියාත්මක කිරීම වෙනුවට අපේ සංස්කෘතිය නැවත ශක්තිමත් කරගැනීමට උපරිම වශයෙන් දායකවීමය. කිරිපිටි වෙනුවට සිංහල ජනතාවට නැවත කොළ කැද බොන්නට පුරුදු වීමට උපකාර කිරීමය. එහෙත් එසේ කිරීමට හිතන්නේවත් නැත.

ඉංග්‍රීසින් විසින් හපයක් කළ අපට චීනයට විරුද්ධවීමට ශක්තියක් නැත. අද ආසියාවේ අප්‍රිකාවේ චීන බලපෑම වේගයෙන් ව්‍යාප්ත වෙමින් යන්නේ බටහිර සුදු අධිරාජ්‍යවාදය විසින් මේ සියලු රටවල් අධ්‍යාත්මික හා ආර්ථික වශයෙන් දුබල කිරීම නිසාය. චීන අධිරාජ්‍යවාදයක් ඇත්නම් එයට අපේ රටවල පාවාඩ එලා ඇත්තේ සුදු අධිරාජ්‍යවාදීන් ම විසිනි.

විරුද්ධ විය යුත්තේ සියලු විදේශ ආධිපත්‍යයන්ටය. විදේශීය භාෂාවන් විසින් දේශීය භාෂාවන් දුර්වල කිරීම පිළිබදවය. විදේශීය සංස්කෘතිකාංග විසින් අපේ සංස්කෘතිකාංග නැතිකිරීම පිළිබදවය. එහෙත් එවන් දුකක් චීනයට විරුද්ධ අයට නැත.

ඇත්තම කතාව නම් ඔවුන් අද වන විට චීනයත් සමග එකතු වී අප වැනි රටවල් නැති කරන බවය. මේ චීනය විසින් ඇති කළ ලෝක ආර්ථික රටාවක් නොවේ. අද චීනය බලවත් වී ඇත්තේ සුද්දන් විසින් ඇති කළ ලෝක ආර්ථික රටාව නිසාමය. සුද්දන් ඇති කළේ ආසියාවේ අප්‍රිකාවේ රටවල ආර්ථිකයන් දුබල කරන ආර්ථික රටාවකි. එම රටවල් සූරාකන ආර්ථික රටාවකි.

සුද්දන්ට චීන ව්‍යාප්තියට විරුද්ධවීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඔවුන් විසින් ඇති කළ ගෝලීය ආර්ථික ක්‍රමය වෙනුවට ජාතික ආර්ථිකයන් ශක්තිමත් කිරීමට අප වැනි රටවලට අතදීමය. එහෙත් එවැන්නක් කරන්නට ඔවුන්ට කිසිදු උවමනාවක් නැත.

ඒ අනුව මේ ඉංග්‍රීසි ගැත්තන්ගේ චීන විරෝධය පුස්සකි. භාෂාවන් හැටියට ඉංග්‍රීසි හෝ චීන භාෂාවල කිසිදු වැරැද්දක් නැත. එහෙත් සිංහලයාට සිංහල භාෂාවට වඩා භාෂාවක් නැත. සිංහලයාට සිංහල සංස්කෘතියට වඩා සංස්කෘතියක් නැත. ඉංග්‍රීසි සංස්කෘතිය යන වචනය ජාතිවාදී නොවූවත් බොහෝ අයට සිංහල සංස්කෘතිය යන්න ජාතිවාදී වේ. දෙමළ සංස්කෘතිය යන්න ජාතිවාදී නොවූවත් සිංහල සංස්කෘතිය යන්න ජාතිවාදී වේ. මා මේ සියල්ල කතා කරන්නේ සිංහල දෙමළ ගැටුමක සන්දර්භය මත නොව බොහෝ අය විසින් අවුලුවනු ලබන චීන ව්‍යාප්තවාදය පිළිබද  සන්දර්භය තුළය.

ඇත්තමට සුද්දන්ගේ පාරේ චීනුන් ද ගමන් කිරීමට ඉඩ ඇත. ඉගුරු දී මිරිස් ගැනීමට පුරුදු වූ අප දැන් මිරිස් ද දී ගන්නේ අජිනමොටෝ විය හැකිය. කෙසේ හෝ මෙය අනුන්ගේ සංස්කෘතින්ට විරුද්ධවීමට වඩා තමන්ගේ සංස්කෘතියට ආදරය කිරීම හා තමාගේ සංස්කෘතිය රැකගැනීම පිලිබද ප්‍රශ්නයකි. එහෙත් කලු සුද්දන්ට එය චීනයෙන් ඉංග්‍රීසි සංස්කෘතිය හා ආධිපත්‍යය රැකගැනීම පිළිබද ප්‍රශ්නයකි.  පිළිබද ප්‍රශ්නයකි. මේ කලු සුද්දන්ගේ චීන විරෝධයෙන් සිදුවන්නේ චීනය තවත් ශක්තිමත් වීම පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *