Opinion

දෙමළ බෞද්ධයන්ට මොකද උනේ?

Summary

බුදුන්ට නමස්කාර කිරීමට එකඟ වීම යනු බෞද්ධයන් අපේක්ෂා කරන සහතිකයකි. එමෙන්ම එය ඔවුන්ගේ වන්දනාවට පාත්‍ර වීමටත් ඔවුන්ට නායකත්වය සැපයීමටත් සුදුසු තත්වයට පත්වීමට සම්පූර්ණ කල යුතු අනිවාර්යය සහ ප්‍රමාණවත් අවශ්‍යතාවයද වේ. බුදුන්ට නමස්කාර කිරීමට එකඟ වන දෙවි කෙනෙකුට දේවාල තනවා වන්දනා කිරීමටත්, බුදුන්ට නමස්කාර කිරීමට එකඟ වන ආක්‍රමණිකයකු පවා රජ කමෙහි තබා පුද සත්කාර කිරීමටත් සිංහල බෞද්ධයා පැකිලෙන්නේ නැත. බෞද්ධයන්ගේ මේ අවම කොන්දේසිය ඉටු කිරීම හින්දු දෙවි වරුන්ට කිසිසේත්ම අසීරු කරුණක් නොවේ. ඔවුන් ඉතා පහසුවෙන් බෞද්ධයන්ගේ පුද සත්කාරයට සුදුසු වන්නේ එහෙයිනි.

ලංකාව තුල බෞද්ධ වූ කෙනෙකුට සිංහල සංස්කෘතික ලෝකයෙන් ගැලවීමක් නැත. ඔහු ක්‍රමක්‍රමයෙන් සිංහල සංඛේත විශ්වයකට ඇතුල් වී ටික දිනකින් එහිම ගිලී යන්නේය. 

1881 වර්ෂයේ ජන සංගණන වාර්තාවට අනුව කොළඹ නගරයේ බෞද්ධ ජනගහනය 28, 804 කි. මින් 3,350  කගේ ජනවර්ගය ලෙස සඳහන් වන්නේ දෙමළ  ය.


දෙමළ බෞද්ධයන් ලංකාවේ කවදත් සිටි බව අප දනිමු. නමුත් කිසි දිනෙක ඔවුන් ප්‍රමාණාත්මකව  කැපී පෙනෙන සුළු ජන කොටසක් ලෙස පිළිබිඹු වුයේ නැත. මෙයටද හේතු ගණනාවක් තිබිය හැකිය.

සංස්කෘතික වශයෙන් බෞද්ධ සහ හින්දු ආගම් දෙක අතර ඇත්තේ කෙටි දුරකි. බොහෝ හින්දු දෙවිවරු බෞද්ධයන් විසින් අදහනු ලැබෙන අතර, බොහෝ හින්දූන් විසින් දෙවි කෙනෙකු ලෙස සලකා බුදුන්වද අදහනු ලැබේ. ඉනුත් බොහෝ අවස්ථා වල ඔවුන්ගේ දේව මණ්ඩලයේ හරි මැද ස්ථානය බුදුන්ට ලැබෙන්නේ , බුදුන්, ශිව දෙවියන්ගේ අවතාරයක් ලෙස ඔවුන් විසින් සැලකෙන නිසාය. දිවයිනේ ඕනෑම පලාතක තිබෙන දෙමළ තෝසෙ අවන්හලකට ගොඩ වුවහොත් මේ අපූරු සංස්කෘතික සාදය ඔබට දැකගත හැකිවනු ඇත. මීට සමගාමීව හින්දු දෙවිවරු සියලු දෙනාම තමන්ට උදව් කරන, පිහිට වෙන හිතමිතුරු දෙවිවරු පිරිසක්  ලෙස බෞද්ධයන් විසින්ද සලකනු ලැබේ.

හින්දූන් තමන්ගේ දේව මණ්ඩලයේ හරි මැද  බුදු හාමුදුරුවන් පිහිටුවනවා සේම බෞද්ධයන්ගේ වන්දනා අවකාශ තුලද මේ හින්දු දෙවිවරුන්ට සුවිශේෂී ස්ථානයක් ලැබේ. නමුත් මෙහිදී සැලකිය යුතු විශේෂී කරුණක් නම් මේ සියලු හින්දු දෙවිවරුන් ලවා බුදුන්ට වන්දනා කරවීමටද  බෞද්ධයන් අමතක නොකිරීමයි. බුදුන්ට නමස්කාර කිරීමට එකඟ වීම යනු බෞද්ධයන් අපේක්ෂා කරන සහතිකයකි. එමෙන්ම එය ඔවුන්ගේ වන්දනාවට පාත්‍ර වීමටත් ඔවුන්ට නායකත්වය සැපයීමටත්  සුදුසු තත්වයට පත්වීමට සම්පූර්ණ කල යුතු අනිවාර්යය සහ ප්‍රමාණවත් අවශ්‍යතාවයද වේ. බුදුන්ට නමස්කාර කිරීමට එකඟ වන දෙවි කෙනෙකුට දේවාල තනවා  වන්දනා කිරීමටත්, බුදුන්ට නමස්කාර කිරීමට එකඟ වන ආක්‍රමණිකයකු පවා රජ කමෙහි තබා පුද සත්කාර කිරීමටත් සිංහල බෞද්ධයා පැකිලෙන්නේ නැත. බෞද්ධයන්ගේ මේ අවම කොන්දේසිය ඉටු කිරීම හින්දු දෙවි වරුන්ට  කිසිසේත්ම අසීරු කරුණක් නොවේ. ඔවුන් ඉතා පහසුවෙන් බෞද්ධයන්ගේ පුද සත්කාරයට සුදුසු වන්නේ එහෙයිනි.

මේ කරුණු අප තේරුම් ගත යුත්තේ මානව විද්‍යාත්මක සිතුවිලි පරම්පරා පෙරදැරි කරගෙනය. හින්දු දෙවිවරුන්ට බුදු හාමුදුරුන්වට වන්දනා කිරීම අපහසු නොවන්නේ යයි කීමෙන් අදහස් වන්නේ කවුරුන් හෝ එම දෙවිවරු ආමන්ත්‍රණය කොට බුදුන්ට වඳින්නට යයි උපදෙස් දීමක් හෝ ඔවුන්ව ඒ සඳහා පොළඹවා ගැනීමක් නොව, බෞද්ධ වන්දනා අවකාශය  තුල හින්දු දෙවි කෙනෙකු නිරූපිත රූපිකය ඉතා පහසුවෙන් බෞද්ධ  වන්දනා සලකුණු  සමග අනුබද්ධ කරලිය හැකි වීමයි. සරලව කියතොත් බුදුන්ට වන්දනා කරනු  ලබන ග්‍රීක දෙවිවරයකුගේ හෝ අප්‍රිකානු ගෝත්‍රික දෙවි වරයකුගේ රූපයකට වඩා එම කාර්යය සිදු කරන හින්දු දෙවි කෙනෙකුගේ වර්ණවත්  රූපකාය මවා ගැනීමටත් ,  නිර්මාණය කිරීමටත්,  ජීර්ණය කරගැනීමටත් අපට පහසු වීමයි. ඇත්ත වශයෙන්ම එය එසේ වී තිබෙන්නේද ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පැවති  මේ සංස්කෘතික ගනුදෙනුව නිසාමය.

මේ සියල්ලෙන් අප තේරුම් ගත යුත්තේ  දෙමළ හින්දූන් සහ සිංහල බෞද්ධයන් වෙන් වී පවතින්නේම එම ආගම් දෙකේ පවතින එකිනෙකා හා සහමුලින් දිය කල නොහැකි  අනන්‍යතාවයන් නිසාවෙන්ම බවය. එනම් කුමන ලබැඳියාවන් පැවතියද මේ ආගම් දෙක තමන්ටම සන්තක වූ පුරුෂ වලටද  හිමිකම් කියන නිසාය. ඉතින් යම් ජනප්‍රජාවක් මේ ආගම් දෙකෙන් කුමන හෝ එකක සංඛේතාත්මකව එල්බගෙන සිටින තාක් කල් ඒවා වෙන් වෙන්ම පෙනෙමින් පවතිනු ඇත. ලංකාවේ නම් මේ ආගම් දෙකට අනුබද්ධිත ජනවර්ගයන් දෙකක්ද තිබේ. එනම් බෞද්ධයන් නම් සිංහලය. හින්දු නම් දෙමළය. සිංහලයන් සහ දෙමළුන් යන දෙකොට්ඨාශය අතරම ක්‍රිස්තියානි ප්‍රජාවක් සිටියත් බෞද්ධයන් ඇත්තේ සිංහලුන් අතරත්, හින්දුන් ඇත්තේ දෙමළුන් අතරත් පමණි .දෙමල බෞද්ධයන් ද සිංහල හින්දූන්ද සිටින බව සැබෑය. නමුත් මේ දෙකොටසම කිසිම කලෙක ගනනින් කැපී පෙනෙන සුළු ප්‍රජාවන් ලෙස වර්ධනය වන්නේ නැත. ඊට හේතුව නම් දෙමළකු බෞද්ධයකු වූ පසු ඔහුගේ බෞද්ධ අනන්‍යතාවය ඔහුගේ දෙමල අනන්‍යතාවය අභිබවා වර්ධනය වීමත් , මෙකි බෞද්ධ අනන්‍යතාවය විසින් ඔහුව වඩාත් ශක්තිමත් ලෙස සිංහල පෞරුෂය හා බද්ධ කිරීමත් නිසාය. ලංකාව තුල බෞද්ධ වූ කෙනෙකුට සිංහල සංස්කෘතික ලෝකයෙන් ගැලවීමක් නැත. ඔහු ක්‍රමක්‍රමයෙන් සිංහල සංඛේත විශ්වයකට ඇතුල් වී ටික දිනකින් එහිම ගිලී යන්නේය.

සිංහල හින්දුන් ගැනද ඉහත කියවිණි. ඇත්ත වශයෙන්ම එහෙව් වර්ගයක් ඇති නැති ගානය. තමන් ජාතියෙන් සිංහලයකු බවත් ආගමෙන් හින්දුවකු බවත් විශ්වාස කරන එකම එක් අයකු පමණි මට ජීවිත කාලයටම හමු වී තිබෙන්නේ. මෙයට හේතුවත් සිතා ගැනීම අපහසු නැත. උපතින් බෞද්ධ කෙනෙකුට හින්දු දෙවිවරු ඇදහීමට කිසිදු බාධාවක් නැත. එය කුමන හෝ ලෙසකින් කැපී පෙනෙන සුළු  කටයුත්තක් ලෙස පෙනෙන්නේද නැත. එසේ හෙයින් සිංහල බෞද්ධයකුට හින්දු දෙවි වරු ඇදහීම පිණිස , තමන් දැනටමත් රෝපණය වී තිබෙන වඩාත් බලවත් බෞද්ධ සංස්කෘතික විශ්වයෙන් මිදීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. යම් හෙයකින් යමෙකු එසේ සිතාමතාම  නාමිකව බෞද්ධ ආගමික භාවයෙන් මිදුනේ යයි සිතුවද ඔහු අවට බෞද්ධ සමාජය කිසිදු ලෙසකින් එය පහසුවෙන් හඳුනා නොගනු ඇත.

මේ සියලු තත්වයන් හේතුවෙන් ලංකාවේ දෙමල බෞද්ධ ජනගහනයක් සෑම කලෙකම  සිටියත් ඔවුන්ගේ වර්ධනයක් දක්නට හැකි නොවේ. අදටත් වතුකරයේ සහ වැල්ලවත්ත වැනි පළාත් වල පවා බෞද්ධ සංස්කෘතික පුරුදු බහුල වශයෙන් ආශ්‍රය කරන  හින්දු පිරිස් වෙති. මේ පළාත් වල දෙමල නම් සහිත පුද්ගලයන්ගේ මරණ දැන්වීම වල අනිච්චාවත සංඛාරා, නිවන් සුව ලැබේවා වැනි වැකි දැකිය හැක්කේ එහෙයිනි.  ඔවුන් නියත වශයෙන්ම හින්දූන්ද බෞද්ධයන්ද යන්න ඔවුන්වත් හරි හැටි දන්නේ නැත.

මට නම් මේ ලංකාවේ තිබෙන වර්ණවත්ම සංස්කෘතික සංසිද්ධිය මෙයයි.

Leave a Reply

Your email address will not be published.