Opinion

දේවානිගේ පුරාවිද්‍යාව

Summary

ආරණ්‍ය සේනාසනවල ගස් කපන්න, ඒ වනාන්තරයට හානි කරන්න මිනිස්සු පෙළැඹෙන්නේ නෑ. ආගමික කරුණු ඒ සඳහා මූලික වෙනවා. ඊට අමතරව මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඒ සේනාසනවල ආරක්‍ෂාව වෙනුවෙන් කැපවෙලා ඉන්නවා.

  • Save

දේවානි ජයතිලක මහත්මිය ගැන නොදන්න කෙනෙක් නෑ. එතුමිය බොහොම එඩිතර, ඒ වගේ ම අකුරට වැඩ කරන කෙනෙක් බව පැහැදිළියි. ඒ හින්දා එතුමිය ගැන ඇගැයීමක් අපි සෑහෙන දෙනෙක්ට තියෙනවා. එතුමිය මොකක් හරි දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ කෙනෙක් ද කියලා මම දන්නේ නෑ. ඒ වගේ දේවල් ගැන හොයන්න ඕනකමකුත් මට නෑ. කොහොම වුනත් පරිසරය (විශේෂයෙන්ම, වන සම්පත) ආරක්‍ෂා කිරීම වෙනුවෙන් එතුමියගේ ඉදිරිපත්වීම අපි අගය කරන්න ඕන.

වන සම්පත ආරක්‍ෂා කිරීමට අදාළ චක්‍රලේඛන, ගැසට් නිවේදන, අණ පනත් විශාල ප්‍රමාණයක් දේවානි මහත්මිය විසින් අපේ අවධානයට යොමු කරලා. මේ රාජ්‍ය නියෝග සහ නීති රෙගුලාසිවල හැටියට වනාන්තර ආරක්‍ෂා කරන්න ඕන. මේ ගැන වාදකරන්න දෙයක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. ප්‍රශ්නය තියෙන්නේ අපේ වන සම්පත ආරක්‍ෂා කිරීමට අදාළ රාජ්‍ය නියෝග සහ නීති රෙගුලාසිවල නෙවෙයි. මේ සම්පත ආරක්‍ෂා කරන්න පුළුවන් කොහොමද කියන එක ගැනයි අපි හිතන්න ඕන.

යම් තැනක කිසියම් රක්‍ෂිත වනාන්තරයක් තියෙනවා නම් ඒක ආරක්‍ෂා කරන්නේ කොහොම ද? ඒ වටේ හමුදාව දාලා ඒක ආරක්‍ෂා කරන්න පුළුවන් ද? ඒ සඳහා පිරිවැයක් දරන්න අපිට පුළුවන් ද? සිංහරාජය වගේ මහ විශාල ලෝක උරුමයක් රකින්නේ කොහොම ද? ඇත්තටම සිංහරාජයේ සීමාව මොකක්ද? සිතියම්වලින් පෙන්නන සීමාව ඉක්මවලා සිංහරාජයට අදාළ පරිසර පද්ධතිය පැතිරිලා නැද්ද? එහෙම සංකීර්ණ පරිසර පද්ධතියක් මේ නීති අණ පනත්වලින්, රාජ්‍ය නියෝගවලින් විතරක් ආරක්‍ෂා කරන්න පුළුවන් ද?

වන සම්පත රකින්න නම් ඒකට මිනිස්සු හවුල් කරගන්න ඕන. මේ සම්පතට හානි කරන්නේ මිනිස්සු. ඉතින් මිනිස්සු යොදාගෙනම මේක කරන්න පුළුවන් විදිහක් ගැන තමයි අපි හිතන්න ඕන. මේක කරන්නේ කොහොම ද?

මේ සඳහා යොදාගන්න මොන ක්‍රමය වුනත් ඒවා මිනිස්සුන්ගේ ජීවිතවලට බද්ධ වෙච්ච ඒවා වෙන්න ඕන. එහෙම නැතුව එක එක ආගන්තුක වැඩවලින් මේවා රකින්න බෑ. පැල හිටවන ව්‍යාපාරවල වැරැද්දක් නෑ. ඒත් ජීවිතයට බද්ධ කරගන්නේ නැතුව කරන ඒ වගේ ව්‍යාපාර දවසක් දෙකක් කරලා අතපහු වෙනවා. මිනිස්සුන්ට කරන්න තව වැඩ තියෙනවා.

වනාන්තරවල ආරක්‍ෂාවට මිනිස්සු යොදාගන්න පුළුවන් මූලික ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මිනිස්සුන්ගේ ආගමික, සංස්කෘතික කටයුතුත් එක්ක ඒ වැඩේ සම්බන්ධ කරන එක. අපේ රටේ ප්‍රචලිත වෙලා තියෙන ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය එහෙම එකක්. මේ සම්ප්‍රදාය ඇතුළේ වනාන්තර ආරක්‍ෂා වෙනවා. ආරණ්‍යය (වනාන්තරය) තමයි සේනාසනයක් සතු ප්‍රධාන ම අංගය වෙන්නේ. මේ අංගය නැතිනම් ආරණ්‍ය සේනාසනයකට පවතින්න බෑ.

ආරණ්‍ය සේනාසනවල ගස් කපන්න, ඒ වනාන්තරයට හානි කරන්න මිනිස්සු පෙළැඹෙන්නේ නෑ. ආගමික කරුණු ඒ සඳහා මූලික වෙනවා. ඊට අමතරව මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඒ සේනාසනවල ආරක්‍ෂාව වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඉතින් අපේ සමහර වනාන්තර සහ ඒවාට අදාළ පෝෂක ප්‍රදේශ ආරක්‍ෂා කරන්න මේ ක්‍රමය යොදාගන්න පුළුවන්.

කොහොම වුනත් මේ වැඩට අදාළ සුළු පිරිවැයක් (ආවස්ථික පිරිවැයක්) තියෙන බවත් අපි තේරුම් ගන්න ඕන. ආරණ්‍ය සේනාසනයක් පවත්වාගෙන යන්න අදාළ ඉදිකිරීම් ගණනාවක් තියෙනවා. ස්වාමින්වහන්සේලා වැඩ වාසය කරන කුටි, දාන ශාලා, සක්මන් මළු, බුදු මැදුරු වගේ ඉදිකිරීම් ඊට අදාළයි. ඉතින් මේ ඉදිකිරීම් වෙනුවෙන් පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න සිද්දවෙන එක වළක්වන්න බෑ. ඒක අනිවාර්යයෙන් ම දැරිය යුතු පිරිවැයක්.

මේ කුඩා ඉදිකිරීම් හින්දා වනාන්තරයට දැනෙනසුළු හානියක් සිද්දවෙන්නේ නෑ. ඒ වෙනුවෙන් ගහක් දෙකක් කැපුවත් ඒක හානියක් විදිහට සළකන්න ඕන නෑ. අපි බලන්න ඕන මේ වැඩේ හරහා ලැබෙන සමස්ත ප්‍රතිලාභයේ පාරිසරික වටිනාකම ගැනයි. ඒ ආකාරයේ සුළු කැපකිරීමකින් මහා පරිසර ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳ ද.

ඉතින් අපේ සමහර වනාන්තර ආරක්‍ෂා කිරීම සඳහා මේ ක්‍රමය අනුගමනය කරන්න අපිට පුළුවන්. මේ වැඩේට අදාළ අණ පනත් සම්මත කරලා, අවශ්‍ය රාජ්‍ය නියෝග නිකුත් කරන එක රජයේ වගකීමක්. බුද්ධ ශාසනය පෝෂණය කර සුරක්‍ෂිත කිරීම රජයේ වගකීමක් හින්දා මෙහෙම වැඩක් කරන එක තවත් කල් දැමිය යුතු නෑ. මීට අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් ඒවා සම්මත කරන්න විපක්‍ෂයට සම්බන්ධ අය පවා එකතුවෙයි. කැපවීමෙන් වැඩ කරන දේවානි වගේ අයට ඒ නීති සහ අදාළ රාජ්‍ය නියෝග අනුව වැඩ කරන්න අවස්ථාවකුත් ලැබෙයි. අදාළ නීති සම්මත නොකර දේවානිලාට දොස් කියන එක හපන්කමක් නෙවෙයි.

ගම් මට්ටමින් තියෙන කුඩා වනාන්තර ආරක්‍ෂා කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒවා මිනිස්සුන්ගේ ආර්ථික කටයුතුවලට සම්බන්ධ කරවීම තමයි ඒ ක්‍රමය. හොඳින් හොයලා බලලා හඳුනාගත්ත ආර්ථික කටයුතුවලට ඒ වනාන්තර යොදාගන්න පුළුවන්.

ඒ වනාන්තර ආශ්‍රිතව ජීවත්වෙන මිනිස්සු එකතු කරලා හදන හවුල් සමාගමකට පුළුවන් තමන් ආශ්‍රිතව තියෙන කුඩා වනාන්තර හඳුනාගත්ත ආර්ථික කටයුතු වෙනුවෙන් බද්දට ගන්න. මේ ආකාරයේ බදු දීමක් සඳහා අදාළ මූලික ම කොන්දේසිය වෙන්නේ වනාන්තරය ආරක්‍ෂා කිරීම. මේ විදිහට බදු දෙන කුඩා වනාන්තරයක් ඇතුළේ ගම් කුකුළෝ හදනවා කියලා හිතමු. මෙහෙම ආර්ථික කටයුත්තකින් ඒ වනාන්තරයට හානියක් සිද්ද වෙන්නේ නෑ. මේ කාර්යය වෙනුවෙන් තමන් බදු ගත්ත වනාන්තරය කොටු කරලා (වැටක් ගහලා) රකින්න පවා මිනිස්සු (ඒ අයගේ හවුල් සමාගම) පෙළැඹේවි.

සංචාරක කටයුතු වෙනුවෙනුත් සමහර වනාන්තර බදු දෙන්න පුළුවන්. මේ වැඩේට වුනත් ඒ වනාන්තර ආශ්‍රිතව ජීවත්වෙන මිනිස්සු එකතුවෙලා හදන හවුල් සමාගම් යොදාගන්න එක තමයි වඩාත් සුදුසු. ප්‍රවේශපත්‍ර විකිණීමෙන්, මගපෙන්වීමෙන්, ආහාර පාන ඇතුළු අනෙකුත් නිෂ්පාදන විකිණීමෙන් ඒ හවුල් සමාගමට මුදල් හම්බ කරන්න පුළුවන්. එහෙම වුනාම මිනිස්සු ප්‍රතිලාභයක් වෙනුවෙන් ඒ වැඩේට කැපවෙනවා.

මේ ආකාරයේ ආර්ථික කටයුතුවලට වුනත් අදාළ අණ පනත් සම්මත කරගන්න වෙනවා. ඒවාට ම අදාළ රාජ්‍ය නියෝග නිකුත් කරන්න වෙනවා. මේවා කරන්න ඕන බලයේ ඉන්න දේශපාලන අධිකාරිය විසින්. පාර්ලිමේන්තුවෙන් කෙරෙන්න ඕන ඒ වැඩ නොකර දේවානිලාට දොස් කිව්වට වැඩක් වෙන්නේ නෑ.

මෙහෙම යෝජනාවක් කරද්දි “ඕවා ලංකාවේ කරන්න පුළුවන් වැඩ නෙවෙයි. අපේ මිනිස්සුන්ට ඕවා කරන්න බෑ” කියන කන්කෙඳිරිය ඇහෙන්න ඉඩ තියෙනවා. යමක් කරන්න පුළුවන් ද කියලා බලන්න ඒ දේ පටන් ගන්න ඕන. ලංකාවේ තියෙන ඔක්කොම කැලෑවලට එක සැරේ මේ ක්‍රම යොදාගන්න ඕන නෑ. විධිමත් විදිහට තෝරගත්ත ස්ථාන දෙක තුනක මේ වැඩේ කරලා බලන්න පුළුවන්. වැඩ කරද්දි තමයි ඒ වැඩවලට අදාළ දැනුම, පළපුරුද්ද සහ ආකල්ප වර්ධනය වෙන්නේ. ඒ වගේ ම, වැඩ කරද්දි අදාළ අඩුපාඩු වුනත් හඳුනාගන්න පුළුවන්.

පරිසරය පිරිසිදුවට තියාගන්න වැඩවලට වුනත් ආගමික – සංස්කෘතික කටයුතු අදාළ කරගන්න බැරිකමක් නෑ. මේ කාරණයට අදාළ පුද්ගලික අත්දැකීමකුත් මට තියෙනවා.

කොහුවලත් පැපිළියානත් අතර තියෙන පැපිළියාන මාවතේ ඉන්න අය මීට අවුරුදු විස්සකට විතර කලින් ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ පාර පටන් ගන්න තැන මහ පාර (කොළඹ – හොරණ මාර්ග අංක 120 පාර) අයිනේ හදලා තිබුණු කුණු බක්කියක් හින්දා තමයි ඒ ප්‍රශ්නය ඇති වුනේ. 120 පාරේ වැඩට යන මිනිස්සුත් මේ බක්කියට කුණු දානවා. කොහොම හරි ටික කාලයක් යද්දි ඒ කුණු බක්කිය අයින් කරන්න අදාළ පළාත් පාලන ආයතනය (මගේ මතකයේ හැටියට කැස්බෑව ප්‍රාදේශීය සභාව) කටයුතු කළා. ඒත් එතෙන්ට කුණු දාලා යන සෙල්ලම නම් නැවතුනේ නෑ. අන්තිමේ දී මේ ප්‍රශ්නය විසඳන ක්‍රමයක් පැපිළියාන මාවතේ මිනිස්සු හොයාගත්තා. ඒ අය කළේ මිනිස්සු කුණු දාන තැන හොඳට පිරිසිදු කරලා එතැන ලස්සන බුදු මැදුරක් හදන එක.

ඒත් එක්කම එතෙන්ට කුණු විසි කරන ලෙඩේ නැත්තට ම නැවතුනා. ඒ බුදු මැදුර අදටත් තියෙනවා. ඒක වටේ මල් වවලා ලස්සනට තියාගෙන ඉන්න තැනක්. පාරේ යන මිනිස්සුන්ට බෝ වෙලා තිබුණු කුණු විසි කරන ලෙඩේ පොලීසිය දාලා නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. අවුරුද්දේ දවස් තුන්සිය හැට පහේ පැය විසි හතර ම ඒ පාර මුල්ලට වෙලා රැකගෙන ඉන්න පුළුවන්කමක් පොලිසියට නෑ. ඒ වගේ ම, එහෙම වැඩකට වියදම් කරන්න පුළුවන්කමක් ආණ්ඩුවටත් නෑ.

බුදු මැදුර හින්දා ඒ ප්‍රශ්නය විසඳුනේ කොහොම ද කියන එක අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ. ආණ්ඩුවෙන් පනවන නීතිවලට වඩා සංස්කෘතියකින් ඇති කරන පුරුදු බලවත්. බුදු පිළිමයක් තියෙන තැනකට කුණු විසි කරන්න කවුරුවත් පෙළැඹෙන්නේ නෑ. විශේෂයෙන් ම පැපිළියාන සහ 120 පාර වගේ බෞද්ධයෝ බහුලව ඉන්න ප්‍රදේශයක එහෙම දෙයක් කීයටවත් වෙන්නේ නෑ.

වන සංරක්‍ෂණයට, පරිසරය පිරිසිදුව තබාගැනීමට අමතරව පුරාවිද්‍යා කටයුතු වෙනුවෙනුත් මේ ක්‍රමය යොදාගන්න පුළුවන්. පුරාවිද්‍යා ස්ථාන මහ විශාල ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. ඒත් ඒ හැම එකක් ම මුර දාලා ආරක්‍ෂා කරගන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බෑ. ඒ වෙනුවෙන් පිරිවැය දරන්න පුළුවන්කමක් ආණ්ඩුවටත් නෑ. එහෙම පිරිවැයක් දරලා මේවා මුර කළත් අවශ්‍ය ආරක්‍ෂාව ඒ හරහා ලැබෙයි කියලා සහතික කරන්න පුළුවන්කමකුත් නෑ.

අපේ පුරාවිද්‍යා ස්ථානවලින් සියයට අනූ නවයකට වඩා තියෙන්නේ බෞද්ධ පූජනීය ස්ථාන. ඒත් මිනිස්සු ගරාවැටිච්ච තැන්වලට වදින්නේ පුදන්නේ නෑ. අද අපේ අය අනුරාධපුරයට ගිහිල්ලා වඳින්නේ රුවන්වැලි මහා සෑයට. ජේතවනාරාමයට, අභයගිරියට වඳින පුදන අය නෑ. රුවන්වැලි මහා සෑය රකින්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕනත් නෑ. වඳින පුදන මිනිස්සුම ඒ අති පූජනීය ස්ථානය ආරක්‍ෂා කරනවා. ඉතින් රුවන්වැලි මහා සෑයේ වැලි කැටයකටවත් හානියක් වෙන්නේ නැති බව සහතිකයි.
මේ විදිහට පූජනීයත්වය යථා තත්ත්වයට පත් කරපු පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කරන එක අමාරු වැඩක් නෙවෙයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව පිරිවැයක් දරන්න ඕනත් නෑ.
ඊට අමතරව ඒ ස්ථානවලට ලැබෙන ආධාර උපකාරවලින් රටේ තව වැඩ ගොඩක් කරන්නත් පුළුවන්.

ඒත් ඉංග්‍රීසි යටත්විජිත පාලකයන් විසින් සහ ඒ අය අනුගමනය කරලා අපේ අය පනවපු අණ පනත්වලින් මේ වැඩ කරන්න පුළුවන්කමක් නෑ. ඉතින් පුරාවිද්‍යා දෙපාර්මේන්තුව භාර අය විශාල අර්බුදයකට මුහුණදීලා ඉන්නවා. පනවලා තියෙන නීති රීති, ඒ අරමුණු වෙනුවෙන් ලබාදෙන අධ්‍යාපනය හින්දා ඒ අය ලෝක දෙකක හිරවෙලා. ඉතින් පුරාවිද්‍යා ස්ථානවල පූජනීය බව යථා තත්ත්වයට පත්කිරීමේ කාර්යයත් අර්බුදයට ලක්වෙලා. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේ තියෙන නීලගිරි මහා සෑය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙනුත් මේ ආකාරයේ ආරවුලක් ඇතිවෙලා.

ඉතින් බුද්ධ ශාසනය සුරැකීම අරමුණු කරගෙන පුරාවිද්‍යා අණ පනත් සංශෝධනය කරන්න කාලය එළැඹිලා. ඒ වගේ ම, ඒ අරමුණට ගැලපෙන විදිහට පුරාවිද්‍යා අධ්‍යාපනයත් පෙළගස්වන්න සිද්දවෙලා. මේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය අණ පනත් සම්පාදනය කරලා දෙන්න ඕන පාර්ලිමේන්තුව විසින්.

වන සංරක්‍ෂණය, පරිසරය සුරැකීම සහ පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීම වගේ කටයුතු ජාතියේ අරමුණු එක්ක සම්බන්ධ කරන එක අද දවසේ වගකීමක්. දැන් ඇතිවෙලා සංවාදය ඒ සඳහා ලොකු උදව්වක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap