Opinion

දොස්තර මහත්වරුන්ගේ ඩ්‍රැකියුලා රසය

Summary

ලංකාවේ වෙසක් කාලයට පමණක් තිබුණත් ඇමරිකාව ආදී බටහිර රටවල විනෝද උද්‍යානවල හැමදාම හොල්මන් මන්දිර විවෘත වී පවතියි. මේවා තුළට යන ඔබේ ඇගට කඩුවත් අරගෙන බෙල්ල කපන්නට හොල්මන් කඩාපනියි.

අතීතයේ දී ‘ද්වන්දනාත්මක භෞතිකවාදය’ යන්න මහා බර වචනයක් වශයෙන් සැලකිණි. දැන් ඒ වචනයට හිමි ව තිබූ තැන විප්‍රලම්භ ශෘංගාරය යන වචනය විසින් හිමිකරගෙන ඇත. වියෝවක් හේතුවෙන් ඇතිවන දුකෙහි ඇති සතුට යනුවෙන් මේ වචනය විස්තර කළ හැකිය. විරහ වේදනාවේ ඇති අපරිමිත රසය යනු ද මෙය විස්තර කළ හැකිය. ප්‍රේමයටත් වඩා විප්‍රලම්භ ශෘංගාරය රසවත්ය. ප්‍රේම ගීතවලටත් වඩා විරහ ගීත ලියැවෙන්නෙත් ප්‍රේම ගීතවලට වඩා විරහ ගීත ජනප්‍රියත් ඒ නිසා බව කියනු ලැබේ. කාලිදාසගේ මේඝදූතය ද විරහ ගීතයකි.

එහෙත් විප්‍රලම්භ ශාංගාරයටත් වඩා රසවත් දෙයක් මිනිසාට ඇත. එය නම් භීතියයි. එය නම් බය වීමේ රසයයි. චිත්‍රපටවලින් ලබන ලොකුම ආස්වාදයක් වන්නේ බයවීමයි. චිත්‍රපටවල පමණක් නොව සර්කස්වල ද ඇති ප්‍රධාන රසය බයවීමේ රසයයි.

බය කිරීමෙන් රස උපදවන චිත්‍රපට ‘හොර්අ මූවීස් ‘ යනුවෙන් ද හදුන්වනු ලැබේ. .ඩ්‍රැකියුලා චිත්‍රපටයක් හෝල් එකේ තනියම ඉද බලන්නට හැකි අයෙකුට රුපියල් ලක්ෂයක් දෙනවා වගේ කතාවක් ඉස්කෝලේ කාල‌යේ ඇසූබවක් ද මතකයේ ඇත.

එයට අමතරව ඒ කාලයේ රාත්‍රීයට යම් පිරිසක් එක් වූ විට හොල්මන් කතා කීමේ පුරුද්දක් ද තිබිණි. හොල්මන් නවකතා ද තිබේ. හොල්මන් නවකතාවක් කියවීමෙන් පසුව හෝ යමෙකු කිවූ හොල්මන් කතාවක් ඇසීමෙන් පසු නිදාගන්නේ හිසේ සිට දෙපතුළ දක්වා රෙද්දක් පොරවා ගැනීමෙනි. ඉන් අපි කාරණා දෙකක් බලාපොරොත්තු වෙමු. එකක් රෑට එන භූතයාට අපිව නොපෙනීමයි. අපේ මූණ දැක අපව හදුනාගැනීමට නොහැකිවීමයි. දෙවැන්න ආවත් අපට හොල්මන නොපෙනීමයි. හොල්මන දෙස බලා බයවීම වෙනුවට ඇස් ද වසාගෙන රෙද්දෙන් ඔලුව ද වසාගෙන සිටීමයි. මේ අනුව හොල්මන් කතා කොතරම් රසවත් ද යන්නත් බය වීම කොතරම් ආස්වාදනීය ද යන්නත් පැහැදිලිය.

මෑතක සිට වෙසක් කාලයට ලංකාවේ භූත බංගලා, හොල්මන් මන්දිර පෙන්නීමේ පුරුද්දක් තිබිණි. මිනී නැගිටලා ඒම මේවා තුළ සිදුවේ. ලංකාවේ වෙසක් කාලයට පමණක් තිබුණත් ඇමරිකාව ආදී බටහිර රටවල විනෝද උද්‍යානවල හැමදාම හොල්මන් මන්දිර විවෘත වී පවතියි. මේවා තුළට යන ඔබේ ඇගට කඩුවත් අරගෙන බෙල්ල කපන්නට හොල්මන් කඩාපනියි. ඒ නිසා ම බොහෝ දෙනා මේවා බලන්නට යති. මේ භීතියෙන් රසවත් වී මුසපත්වීම සදහාය.

අපේ රටේ එවන් භූත මන්දිර නැතත්මෑතක සිට අපට භීතියේ රසය නොඅඩුව ලැබෙමින් තිබේ. හොල්මන් මන්දිර හෝ මහසෝන් අවතාර හෝ නොමැතිව අපි දැන් භීතියෙන් මුසපත් වී සිටිමු. ,භීතියෙන් රසවත් වී ඔකද වෙලා සිටිමු. මේ මහගු ප්‍රීතිය අපට ලබාදී ඇත්තේ සාහිත්‍යකරුවන් හෝ කතාකරුවන් විසින් නොවේ. චිත්‍රපට කරුවන් විසින් ද නොවේ. භූතයන් හෝ හොල්මන් විසින් ද නොවේ. මහසෝන් අවතාර විසින් ද නොවේ. දොස්තර මහත්තුරු විසිනි.

දොස්තර මහත්තුරු විසින් මුළු මහත් ලංකාවම භීතියේ කලාපයක් බවට පත්කර ඇති අතර දිනෙන් දින එය අලුත් කරති. ඒ් නිසා අපට භීතියේ කිමිදෙන්නට හැකිව තිබේ. මොනම හොල්මන් කතාකාරයෙකුට වඩා හෝ අ‌‌පේ ඇගේ ලේ සීතල වෙන කතා කීමේ හැකියාව දොස්තර මහත්තුරුන්ට තිබේ. වෙබ් අඩවිකාරයෝ මේ කතාවලට ලුණුඇඹුල් දමා පතුරුවා හරිමින් රටම භීතියෙන් මුසපත් කරති. හොල්මන් කතා නොබලා රාත්‍රී හත හෝ අට හෝ දහය ප්‍රවෘත්ති විකාශ නරඹා ම භීතියෙන් මුසපත් වීමට දොස්තර මහත්වරුන් නිසා අපට හැකිවී තිබේ. ප්‍රවෘත්ති විකාශයන් අද වන විට මොනම ඩ්‍රැකියුලා චිත්‍රපටයකටත් වඩා රසවත් වී ඇත.

ඩ්‍රැකියුලා මොකාදැයි සිතෙන තරමට දොස්තර මහත්තුරුන් කොවිඩ් 19 වෛරසය ඩ්‍රැකියුලෙකු කර ඇත. ඩ්‍රැකියුලාට බය වන්නේ දැකීම නිසාය. කෝවිඩ්ට බය වන්නේ නොදැකීම නිසා ය.

ඩ්‍රැකියුලාට බය වන තරටම ඩ්‍රැකියුලා ප්‍රබල වේ. හොල්මන්වලට බයවන තරටම හොල්මන් ප්‍රබල වේ. දොස්තර මහත්වරුන්ගේ අවශ්‍යතාවය එය විය හැකිය.

එසේම ඇතැම් ඩ්‍රැකියුලා චිත්‍රපටවල ඩ්‍රැකියුලාට නැති බලයක් මවා පෙන්වීමට උපකාර වන උදව්කාරයන් ඇත. ඔවුන් කරන්නේ ඩ්‍රැකියුලාට නැති බලයක් ආරූඪ කර පෙන්වීමයි. ඩ්‍රැකියුලාගේ දුබලකම් වසං කර ඔහුව ජයගත නොහැකි අද්වීතීය පරිපූර්ණබලවේගයක් වශයෙන් පෙන්වීමයි. එසේ කර තමාගේ ජීවිකාව සාදාගැනීමයි.

මේ ඊයේ පෙරේදා දිනයක අඹ අඹ කියමින් ත්‍රීවිලරයක් ගියේය. මාස්ක් දාගෙන වැට ගාවට ගිය මම එය නවත්වා අඹ ඉල්ලුවෙමි. ත්‍රීවිලරයට පැමින තෝරාගන්නා ලෙස ඔහු කීවේය. මා ළංවන්නට නොහැකි බව කියා ඔහුට තෝරා දෙන්නට කීවෙමි. ඔහු එවිට ‘දෙයියන්ගේ පිහිටෙන්’ කියා නැවැත්තුවේය. එතනින් නැවත්තුවත් ඔහු එතැනින් කීම නවත්වා සිතූ දේ මට ඇසිණි. එනම් දෙයියන්ගේ පිහිටෙන් අපට ඕක හැදෙන්නේ නෑ යන්නයි. මම ඔහුට මෙය දෙයියන්ගේ ම ලෙඩක් බව කීවෙමි. එවර නම් ඔහු අඹ තෝරා මා ඈතින් තැබූ භාජනයට දැමුවේය. දොස්තර මහත්වරු මොන තරම් බය කළත් ජනතාවගේ සිත්වල ඒවා නැත. එය අවශ්‍ය විටක පමණක් රස විදින අනෙක් වේලාවට අමතක කරන ඩ්‍රැකියුලා චිත්‍රපටයකි.

හොල්මන්වලට බය වීමෙන් හොල්මන්වලට මුහුණ දීමට නොහැක. වෛරසයකට ද එසේමය. ඩ්‍රැකියුලා මෙන් ම කෝවිඩ් 19 ද ජයගත හැක්කේ මුහුණට මුහුණ දී සටන් කිරීමෙනි. එහිදී සියලු ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. ප්‍රවේසම අවශ්‍යය. නුවණ අවශ්‍යය. මුහුණු ආවරණ අවශ්‍යය. සැනිටයිසර් අවශ්‍යය. මීටර් දෙක අවශ්‍යය. ඉගුරු කොත්තමල්ලි අවශ්‍යය. ගම්මිරිස් තිප්පිලි අවශ්‍යය. දුම් හට්ටි අවශ්‍යය. එන්නත් පොකුරු ඇති කරනොගෙන එන්නත් අවශ්‍යය. සියලු දෙයින් සන්නද්ධ වීම අවශ්‍යය. ප්‍රතිශක්තිය ලබාදෙන ආහාර අවශ්‍යය. ව්‍යායාම අවශ්‍යය. මානසික සමබරතාවය අවශ්‍යය. කල්පනාකාරීත්වය අවශ්‍යය. එහෙත් ඒ වෙනුවට ඇතැම් දොස්තර මහත්තුරු මවා පාන භීතිය නිසා ජනතාව අද මෙය ඩ්‍රැකියුලා හැංගිමුත්තං සෙල්ලමක් කරගෙන තිබේ. බයත් ඇත. බයත් නැත. අනෙත් අතට හිත දුර්වල ඇතැම් අය පීසීආර් පොසිටිව් කී විටම මැරී හමාරය.

වෛරස පිළිබදව ඩ්‍රැකියුලා ප්‍රවේශයට වඩා දෙයියන්ගේ ලෙඩ ප්‍රවේශය වෛරසය ජයගැනීමට උපකාරී වන බව කිව හැකිය. මෙහිදී සිදුවන්නේ වෛරසයට බය වීම නොව වෛරසයට දෙයියන්ට මෙන් සලකා හැම විටම ඉන් ඈත්වීමයි. වගකීම් සහගත ක්‍රියාපටිපාටියකට නිවැරදි චර්යාවන්ට අනුගත වීමයි. දෙයියන්ගේ ලෙඩ සංකල්පය තුළ ජනතාවට ඒ විනය ලැබිණි. එසේම රෝගියාට අවශ්‍ය සත්කාරය ද ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *