COLUMN

ධනපති ප්‍රභූන්ගේ විනෝද සුරතලුන්

Summary

ඊනියා අරගලය යනු ධනපති ප්‍රභූන් කාලෙකින් වැඩියෙන්ම විනෝද වූ අවස්ථාවකි. විදර්ශන කන්නන්ගරගේ පටන් නිර්මාල් දේවසිරි දක්වාත් රැට්ටාගේ පටන් මනුවර්ණ දක්වාත් දමිතාගේ පටන් නන්දා මාලිනී දක්වාත් උපුල් ශාන්ත සන්නස්ගලගේ පටන් චින්තන ධර්මදාස දක්වාත් රසික ජයකොඩිගේ පටන් පැතුම් කර්නර් දක්වාත් “වෙන්ට ප්‍රභූන්” සියලු දෙනා එකවර ගෝල්ෆේස් පිට්ටනියේ රැස්කර මාස ගණනක් තිස්සේ කවා පොවා මත් කරවා නටා ගයා රඟන්නට සැලැස්වීමෙන් ධනපති ප්‍රභූන් ලදුයේ සුළුපටු විනෝදයක් නම් නොවේ.

කොළඹ හත කොල්ලුපිටිය හැව්ලොක් රාජගිරිය ආශ්‍රිත කලාපය වනාහි ලංකාවේ ධනපති ප්‍රභූ කොලනියකි. මෙරට ධනවත්ම 1% ජීවත් වෙන්නේ මෙම කලාපයේය. ඔවුන් ඉංග්‍රීසි කතා කරන ඊනියා ශිෂ්ටසම්පන්න ප්‍රභූන්ය. ඔවුන් බොහෝ දෙනෙකුගේ මුත්තා පිටකොටුවේ වෙළඳාම් කර දියුණු වූ ව්‍යාපාරිකයන්ය. එම සංස්කෘතික සුළු සමාජය වැඩිය එළියට පේන්න එන්නේ නැත. ඔවුන් හැසිරෙන්නේ ඔවුනොවුන් සමග පමණී.

මෙම ධනපති ප්‍රභූන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය විනෝදයයි. ලෝකයේ සියලු සංචාරක ස්ථාන දැකබලා ඇති ලෝකයේ මිල අධිකම ආහාර රස බලා ඇති ලෝකයේ විශිෂ්ඨතම නාට්‍ය නරඹා ඇති සහ විනෝදය සඳහා කළ හැකි සියල්ල කර ඇති ඔවුන්ට නිරන්තරයෙන් විනෝදය ලබාගැනීම ගැටලුවකි.

“වෙන්ට ප්‍රභූන්” එන්නේ මෙතැනදීය. ධනපති ප්‍රභූ සමාජය අහම්බෙන් මුණගැසෙන පහළ සමාජ ස්තරවල ඇතැම් සාමාජිකයන් එම ප්‍රභූ සමාජයට ලොබින් බැඳේ. එතැන් පටන් ඔවුන් උත්සාහ කරන්නේ එම ධනපති ප්‍රභූ සමාජයට කෙසේ හෝ අනුයුක්ත වීමටයි. නමුත් සැබැවින්ම වෙන්නේ ඔවුන් එම ධනපති ප්‍රභූන්ට විනෝදය ගෙනදෙන සුරතලුන් බවට පත් වීමයි.

කොළඹින් බැහැර ප්‍රදේශවල සිට කොළඹ විශ්වවිද්‍යාලයට එන උනන්දු ශිෂ්‍යාවන් බොහෝ විට මෙම “වෙන්ට ප්‍රභූන්” බවට පත් වෙනු මා දැක ඇත. එමෙන්ම ලයනල් වෙන්ඩ්ට් කේන්ද්‍ර කරගත් ආධුනික වේදිකා නාට්‍යකරුවන් මෙන්ම ඉංග්‍රීසි බසින් පොත් ලියන ආධුනික රචකයන්ද මෙම “වෙන්ට ප්‍රභූන්” බවට පත් වෙනු මා දැක තිබේ. මෙහිදී මුලින් සිදුවන්නේ ධනපති ප්‍රභූන් සහභාගී වන කිසියම් හමුවකට අහම්බෙන් ඔවුන්ට ආරාධනා ලැබීමයි.

බ්‍රිතාන්‍ය කවුන්සිලය හෝ ගූට්හේ ඉන්ස්ටිටියුට් හෝ ඇලියොන්ස් ෆ්රෝන්සේය්ස් හෝ වැනි අන්තර්ජාතික සංස්කෘතික ආයතනයකින් සංවිධානය කරන ප්‍රයිවට් උත්සවයකට ආරාධනා ලබන ඔවුන් ධනපති ප්‍රභූන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වුවහොත් පැසසුමට ලක්වේ. එම ප්‍රභූන්ගේ විලාසිතා සහ සුදු වයින් තොලගාමින් කරන 18 වන සියවසේ වෙර්සායි ප්‍රභූ චර්යා දකින එම බොළඳ තරුණ තරුණියන් ධනපති ප්‍රභූ සමාජයට ආශක්ත වේ.

එතැන් පටන් ඔවුන් උනන්දු වන්නේ ධනපති ප්‍රභූ සමාජයට එකතු වීමටයි. නමුත් එය සාක්ෂාත් කරගන්නේ එහෙමත් අයෙකි. බොහෝ දෙනාට සිදුවන්නේ ධනපති ප්‍රභූන්ගේ විනෝද සුරතලුන් බවට පත් වීමටයි. ධනපති ප්‍රභූන්ට ඉතිරිවන එකම විනෝද මාර්ගය වන්නේ තමන්ගේ පදයට නටන තරුණ තරුණියන් පිරිසකගේ මෙම අනුකම්පා සහගත උත්සාහය දැකීමයි.

“වෙන්ට ප්‍රභූ” වීම එතරම් අපහසු නොවේ. ධනපති ප්‍රභූන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ “පන්සල මුල්කරගත් බෞද්ධ සංස්කෘතියට අපහාස මුඛයෙන් කතා කිරීම”යි. දෙවනුව ඔබෙන් බලාපොරොත්තු වන්නේ “සිංහල ඉතිහාසය සහ සංස්කෘතිය ගර්හාවට ලක් කිරීම”යි. තෙවනුව ඔබෙන් බලාපොරොත්තු වන්නේ “යුධ ජයග්‍රහණය අවමානයට පාත්‍ර කිරීම”යි. ධනපති ප්‍රභූන් එකතු වෙන සෑම තැනකම ප්‍රධාන මාතෘකාව වන්නේ රාජපක්ෂ පවුලේ ඕපාදූපයි. ඒවාට හූමිටි තබමින් කොක් හඬලමින් රාජපක්ෂවරුන්ට අපහස කිරීම ඔවුන් ඔබෙන් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන තවත් දෙයකි. මේ ටික කරන්නට හැකි නම් ධනපති ප්‍රභූන්ගේ උත්සවවලට නිතර ඇරයුම් ලැබේ.

ඊනියා අරගලය යනු ධනපති ප්‍රභූන් කාලෙකින් වැඩියෙන්ම විනෝද වූ අවස්ථාවකි. විදර්ශන කන්නන්ගරගේ පටන් නිර්මාල් දේවසිරි දක්වාත් රැට්ටාගේ පටන් මනුවර්ණ දක්වාත් දමිතාගේ පටන් නන්දා මාලිනී දක්වාත් උපුල් ශාන්ත සන්නස්ගලගේ පටන් චින්තන ධර්මදාස දක්වාත් රසික ජයකොඩිගේ පටන් පැතුම් කර්නර් දක්වාත් “වෙන්ට ප්‍රභූන්” සියලු දෙනා එකවර ගෝල්ෆේස් පිට්ටනියේ රැස්කර මාස ගණනක් තිස්සේ කවා පොවා මත් කරවා නටා ගයා රඟන්නට සැලැස්වීමෙන් ධනපති ප්‍රභූන් ලදුයේ සුළුපටු විනෝදයක් නම් නොවේ.

පහළ ගෝල්ෆේස් පිට්ටනියේ නානා ප්‍රකාර විකාර දෙස බලමින් ඒ වටා ඇති තරු පහේ උස් හෝටල් කාමරවල සිට ධනපති ප්‍රභූන් සතුටු වුණේ පැරණි රෝමයේ කොලොසියම සිහි ගන්වමිනි. වසන්ත මුදලිගේගෙන් ලොකුම ආතල් එක ගත්තේ කොළඹ ධනපති ප්‍රභූන්ය. නමුත් සෑම සංස්කාරයක් මෙන්ම විනෝදයත් ක්ෂය වේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු විරෝධයකින් තොරව නික්ම යෑමෙන් පසුව තවදුරටත් අරගලයේ විනෝදයක් නොවීය ධනපති ප්‍රභූන්ට.

අරගලයේ වෙන්ට ප්‍රභූන්ගේ ආකර්ෂණය අවසන් වී ඇත. සමහරු රටින් පිටව ගොස් ඇත. සමහරු මියගොස් ඇත. (නිවන් සුව!) ධනපති ප්‍රභූන්ට විනෝදය සැපයීම සඳහා අලුත් වෙන්ට ප්‍රභූන් පිරිසකට ඇබෑර්තු ඇත. ධර්මය අපට මග වේවා!

එරන්ද ගිනිගේ

Leave a Reply

Your email address will not be published.