Opinion

ධනපාලයාගේ පැණිය පරදවමු

Summary

ප්ලකිට ප්ලකිට ප්ලකි ඉබි ප්ලකි ඉප්ලකි ඉබිප් ප්ලක්කි ප්ලකි. මෙය බෙර පදයක් නොවේ. ඩොලැක්ක පදයකි. ධම්මික කපු මහතා කලින් ඩොලැක්ක වාදකයෙකු බව ද කියැවේ.

රූකඩ ශිල්පියෙකු වීම වරදක් ද? ඩොලැක් වාදකයෙකු වීම වරදක් ද? වඩුවෙක් වීම වරදක් ද?

එහෙත් දේවාලයක කපුවෙකු වීම වරදක් නොවේ යැයි මට එලෙසම කිව නොහැක.

එහෙත් කාල් මාක්ස්ගේ කපුවෙකු වීම වරදක් නොවේ. අල්තූසර්ගේ කපුවෙකු වීම වරදක් නොවේ. සිග්මන් ප්‍රොයිඩ්ගේ කපුවෙකු වීම වරදක් නොවේ. ඇල්බෙයා කැමූගේ කපුවෙකු වීම වරදක් නොවේ. ජැක්විස් ඩෙරීඩාගේ කපුවෙකු වීම වරදක් නොවේ. ලියොන් ට්‍රොට්ස්කිගේ කපුවෙකු වීම වරදක් නොවේ. එහෙත් කාලි අම්මාගේ කපුවෙකු විම වරදකි.

කරුණාරත්න ජයසූරිය කරු ජයසූරිය වීම වරදක් නොවේ. දොන් නන්දසිරි විජේවීර රෝහණ විජේවීර වීම වරදක් නොවේ. කරුණාරත්න පරණවිතාන කරු පරණවිතාන වීම වරදක් නොවේ. චම්පක චම්පික වූවා යැයි ද කිය වේ. මම එය හරියට නොදනිමි. එය ද වරදක් නොවේ. රත්නසිරි රත්නශ්‍රී වීම ද වරදක් නොවේ. එහෙත් ධනපාල ධම්මික බණ්ඩාර වීම අහස පොළව නුහුලන අපරාධයකි. ඇල්බට් පෙරේරා අමරදේව වී දේවත්වයට ද පත්විය.

ඩොලැක් වාදකයෙකු නොවී සංගීත විශාරදයෙකු වී පැණිය හොයාගත්තා නම් ධනපාලට ඔපමණ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුනොවේ. කෙසේවුවත් සංගීත විශාරදයෙකු වූවා නම් ඔහුට කවදාවත් පැණිය හොයාගන්න ලැබේ ද යන්න වෙනම ප්‍රශ්නයකි. ඔහුට පැණිය හොයාගැනීමට ලැබුණේ ම ඩොලැක් වාදකයෙකු වීම නිසා ද විය හැකිය. ඇත්තටම මට ඔහුගේ මුහුණේ ඩොලැක්ක වාදකයෙකුගේ ලකුණු පෙනේ. තවත් අයට කාළි මැණියන්ගේ ලකුණු ලෙස පෙනෙන්නේ එය ම විය හැකිය.

නිකම් ම වඩුවෙකු නොවී ජර්මන් ටෙක් ආයතනයේ සහතික ලත් අයෙකු වූවා නම් ධම්මික බණ්ඩාරට ඔතරම් ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුනොවේ. කිසිදු තැනකින් ඉගෙන නොගෙන සහතිකයක් නැතිව දෑතේ මහන්සියෙන් ජීවත් වෙන වඩුවා අපට පෙන්නන්ට බැරි ‘සතෙකි’. ගමේ ගොඩේ ශිල්ප ඥාණයෙන් අපට බැරි ජනෙල් දොරවල් හදන සරම හැර වෙනත් ඇඳුමක් නොදන්නා එක්සර්සයිස් බුක් එකට ඇස්සයිස් පොත ආදී ලෙසින් ඉංග්‍රීසි වචන උච්චාරණය කරන ‘වඩුවා’ අපට පෙන්නන්න බැරි ‘සතෙකි’. කිසිදු හෝ ශිල්ප ඥානයක් නැති නමුත් ඉංග්‍රිසි හරියට උච්චාරණය කරන්නා අපට ජාතික වස්තුවකි. මෙවන් වඩුවෙකු සොයාගත් පැණියට ද ගැරහිය යුතුමය. වඩුවන් සාදා ඇති පුටුවක ඉඳගෙන වුව ද එසේ කළාට කම් නැත. කොහොම නමුත් අපි ඉස්සර ඉඳගත්තාට දැන් වඩුවන් සාදා ඇති පුටුවල ඉඳගන්නේ නැත. දැන් ඉඳගන්නේ ‘දම්රෝ’ ආයතනයේ සැදූ පුටුවලය. දම්රෝ එකේ පුටු සාදන්නේ චතුර ලෙස ඉංග්‍රීසි කතාකරන්නන් විය හැකිය. ගියොත් බලාගැනීමට හැකිය. ඒ නිසා ඉංග්‍රීසි වචනයක්වත් හරිහැටි කීමට නොහැකි බව මූණෙන් ම පෙනෙනා ඒකට හරියන්න ‘මෑණියෝ’ යන්න පමණක් හරියට උසුරුවනා ධනපාල හෙළාදැකිය යුතුමය. වඩුවෙකු නොවනා වෘත්තියෙන් නීතිඥයෙකු වන මහින්ද මහතාගේ ද වැරදි ඇත්නම් ඒ්වා ද වඩුවෙකු පිටින් ම යැවිය යුතුය. ධනපාල පැණිය හෙළාදැකිය යුතුය. ඉංග්‍රීසි බැරිකම වසා ගැනීමට දෝ කාළි මැණියන්ගේ භාෂාව වන දෙමළ භාෂාව භාවිතා කරමින් ‘පෝඩා පෝඩා’ යැයි මහ හයියෙන් කීම මගින් ද ධනපාල මහතා තමන් කොතරම් වුවත් වඩුවෙකු බව ම ඔප්පු කරයි. වඩු කුරුල්ලාට වැන්දත් අපට වඩුවෙකුට වඳින්නට බැරිය. ඒ අප මෙන් නොව ඔහු කිසියම් ම හෝ ශිල්පයක් දන්නා නිසාය. ඒ නිසා ධනපාල පැණියේ කිසිදු වටිනාකමක් නැත.

ප්ලකිට ප්ලකිට ප්ලකි කියා ඩෝල තාල නොගහන ඒ වෙනුවට සාඩම්බර ලෙස තබ්ලාව හෝ වයලිනය වාදනය කරන සංගීත විශාරදයෙකු වූවා නම් ඔබට ධනපාල පැණිය ගැන තරමක්වත් සිතා බලන්නට ඉඩ තිබිණි. අඩුම ගානේ ඔහු බ්‍රෙෂ්ට් තියරිය අනුව නාට්‍ය කරන නාට්‍ය අධ්‍යක්ෂකයෙකු වූවා නම් ඔහුගේ පැණියෙන් හැන්දක් කෙසේ වුවත් බින්දුවක් හෝ දිව ගාන්නට ද අපට හිතෙන්නට ඉඩ තිබිණි. ඒත් ඔහුට ඒ කිසිදු සුදුසුකමක් නැත. ඒ බව මුහුණෙන් ම පෙනේ. කාළි මැණියන්ගේ පිහිට හැර ඔහුට වෙනත් කිසිදු පිහිටක් නැති බව ඔහු‌ගේ මුහුණෙන් ම පෙනේ.

ඔහු බණ්ඩාරනායක සේනානායක මෙන් අම්මාගේ තාත්තාගේ දේපළක් උරුම කරනොගත් ළමා කාලයේ දැඩි අසරණකම්වලට මුහුණ පා ඇති අයෙකු බව ඔහුගේ මුහුණෙන් ම පෙනේ. ඔහුට ඇත්තේ කාළි මෑණියන්ගේ ම පිහිට පමණි. ඒ නිසා ඔහු හෙළාදැකීමට කිසිසේත් බිය විය යුතු නැත. ඔහු අප සේ ම අසරණයෙකි. අපටත් වඩා අසරණයෙකි. කොරෝනා පැරදවීටම අපට නැති අයිතියක් ඔහුට හිමිවීමට ඉඩක් නැත.

අනෙක් අතට කොරෝනාවට කිසිදු ඖෂධයක් සොයානොගෙන සුද්දා ඖෂධයක් සොයාගන්නා තුරු සිට එය ගෙන්වා ගැනීමට අපට ඇති අභිමානවත් අයිතියට අභියෝග කිරීමට ධනපාලයෙකුට ඉඩ දීමට නොහැක. ඔහුට නමක්වත් නැත. ඒ නිසා ධම්මික බණ්ඩාර වී ඇත. නමක් නැති එකෙක් බෙහෙත් හොයාගන්නේ කෙසේද? කරු ජයසූරිය කීර්තිමත් කතානායකයෙකු වීම හා කරු පරණවිතාන කීර්තිමත් විද්වතෙකු වීම වෙනම කතාවකි. ඔවුන්ට නම් වෙනස්කරගැනීමට මොඩිෆයි කරගැනීමට යම් හෝ අයිතියක් තිබේ. ඒත් නම් වෙනස් කරගැනීමට තරම් ධනපාල ලබාඇති සුදුසුකම කුමක් ද? පැණිය සොයාගැනීම ද?

කොරෝනාවට සුද්දා බෙහෙතක් සොයාගන්නා තුරු සිට එය ගෙන්වාගෙන පාවිච්චි කිරීමට අපට ඇති අයිතියට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැක. එය අපේ අභිමානයයි. අපේ උත්තරීතර අයිතියයි. ඒ අයිතියට අභියෝග කිරීමට තබා ඒ ගැන සිතීමටවත් ඩොලැක්කකාරයෙකුට ඇති අයිතිය කුමක්ද? වඩුවෙකුට එසේ කිරීමට හැකිද? ජපන් කාර්වල අගය අපි දනිමු. බෙන්ස් එකේ කොලිටිය අපි දනිමු. අඩිඩාස් පාවහන්වල කොලිටිය අපි දනිමු. ඒ නිසා මේ පැණිය ගැන අපට හිතාගත හැකිය. එය වඩු පැණියකි. ධනපාල පැණියකි.

අපි සුද්දාගෙන් ලබාගෙන මාක්ස්වාදය පාවිච්චි කරමු. සාපේක්ෂතාවාදය පාවිච්චි කරමු. ගුරුත්වාකර්ෂණවාදය පාවිච්චි කරමු. පශ්චාත්නූතනවාදය පාව්චිචි කරමු. ලිබරල්වාදය පාවිච්චි කරමු. එය අපේ අභිමානයයි. ඒ අපේ අභිමානවත් අයිතියට යම්තමින්වත් අභියෝග කිරීමට තබා ඒ් ගැන සිතීමටවත් ධනපාල නම් වඩුවාට හැකිද? අනිත් අතට ධනපාල ළග ඇත්තේ ඉන්දියාවේ කාලිවත් නොවේ. ලංකාවේ කාළි අම්මා කෙනෙකි. ඒ නිසා අපට පෙනෙන්නේ තවත් කොලිටිය අඩු වී ය. ඉන්දියාවේ ආයුර්වේද සහතිකය නැති නිසා අඩුම ගානේ ධනපාලට ඉන්දියාවේ කාලි දේවාලයක සහතිකය හෝ එහි දේශීය නියෝජිත දේවාලය වීමට හෝ තිබිණ. එයත් නැත. මෙය හිතුමතයට හදාගත් දේවාලයකි. මාතරින් පැමිණ කෑගල්ලේ අටවාගත් දේවාලයකි. මේ තනිකර දේශීය හෙවත් ලෝකල් ‘කාළිමැණියෝ’ කෙනෙකි. එවැන්නන් හදන පැණි ගැන සිතීමට තරම්වත් අපි මෝඩයෝ නොවෙමු.

අපි සුද්දා එන්නත් නිවැරදිව හදන හැටි දනිමු. ඔහු එහිදී අනුගමනය කරන නිවැරදි විද්‍යාත්මක ක්‍රම ගැන අපට මනා අවබෝධයක් ඇත. ලෝකය සුවපත් කිරීම උදෙසා වන සුද්දාගේ අවංක අභිලාෂය දනිමු. ඒ නිසා සුද්දාගේ වෙදකම අපි එංගලන්තයට යන්නට බැරිනම් චීනයට නේපාලයට හෝ නැතිනම් බංග්ලාදේශයට  ගොසින් හෝ ඉගෙන ගනිමු. මේ සිස්ටම් එකට කොතරම් බලවත් වුවත් කාළි මැණියන් අභියෝග කරන්නේ කෙසේද?

හොඳ ම දෙය සුද්දා යමක් හදන තුරු බලා සිටීමයි. ඉන් අනතුරුව එය පරිභෝජනය කිරීමයි. එයට අභියෝග කරන්න හදන්නේ ඔහු වඩුවෙකු වීම නිසා ම නොවේද? එතරම් ම මෝඩයෙකු වීම නිසා නොවේද? ධම්මික කියා නම වෙනස් කරගත් පමණින් ඔහුට එය කළ හැකිද?

කරුණාරත්න කරු වී මහත්මයෙකු වීම වෙනම කතාවකි. එහෙත් ධනපාලට ධම්මික වීමට අපි ඉඩ නොතබමු. ඒ කරු මෙන් නොව ඔහු කිසියම් ම හෝ ශිල්පයක් දන්නා නිසාය. අපේ ඇති ලොකුම හැකියාව අප කිසිම ශිල්පියක් නොදැනීමයි. ඒ් නිසා ම ඕනෑම දෙයක් පිටරටින් ගෙන්වා ගැනීමේ ලොකුම හැකියාව අපට ලැබී තිබේ. මේ ධනපාලයා මෝඩකමට ගොන්කමට නොදැනුවත්කමට අප සතු ඒ මහඟු හැකියාවට අභියෝග කිරීමට හදයි. අපට ධනපාලයා පෙන්නන්නටම බැරි ඒ් නිසාය. අපි ධනපාලයාට ධම්මික වීමට ඉඩ නොදෙන්නේ ද ඒ නිසාය.

අපි හැම දෙයක් ම සුද්දාගෙන් ම ගනිමු. ඒ අපේ උගත්කම නිසාය. එසේ තිබියදී ධනපාලයා කොරෝනාවට පැණියක් හදන්නට හදයි. ඒ ඔහුගේ නූගත්කම නිසාය. එතකොට අපේ උගත්කමට වන්නේ කුමක් ද? මෙතරම් කාලයක් අප ගොඩනගාගත් දැනුමට වන්නේ කුමක්ද? අපිට ධනපාලට මෙන් පුටුවක්වත් හදාගන්නට බැරි වූවාට අපි ධනපාලට පැණියක් නම් හදන්නට නොහැකි බව හොඳින් ම දනිමු.

පයිසර් හෝ වෙනත් එන්නතකින් මනා ව සුවපත් වීමට විශ්වාසයෙන් යුතුව සුවපත් වීමට හිතේ සතුට සමඟින් සුවපත් වීමට සුවය පිළිබඳ තෘප්තිමත් හැඟීමක් ලබාගැනීමට ඇති අයිතිය නැති කිරීමට අපි ධම්මික බණ්ඩාරට ඉඩ නොදෙමු. අපට පැණියෙන් සුවපත් වුවත් වැඩක් නැත. අපට වැක්සීන් එකකින් ම සුවපත් වීමට අවශ්‍යය. එතෙක් අප සුව නොවෙමු. ඒ පරම අයිතිය රැකගැනීම උදෙසා අපි අවසානය දක්වා සටන් කරමු. පැණියට එරෙහිව සටන් කරමු. සිංහල වෙදකම හෝ ආයුර්වේදය හෝ අත් බෙහෙත් ගැන හෝ කිසිවක් සොයාබැලීමට හෝ ඉගෙනගැනීමට උත්සුක නොවී ධනපාලට බැන වැදීමෙන් ම අපේ උගත්කම පෙන්වමු.

ප්ලකිට ප්ලකිට ප්ලකි

ඉබි ප්ලිකි ඉප් ප්ලිකි

ඉබිප්ප්ල්ක්කිප්ලකි.

Leave a Reply

Your email address will not be published.