Opinion

ධර්මපාල නම් රාජ්‍ය තාන්ත්‍රිකයා

Summary

ලංකාව අභ්‍යන්තරයේ පැවති අභියෝගයක් කෙරෙහි විදේශයන් වල සිටි උගතුන් තුල අලුත් උනන්දුවක් ඇති කිරීම සහ ඔවුන්ගේ සම්පූර්ණ දායකත්වය ඒ වෙනුවෙන් ලබා ගැනීම යන අලුත් සටන් මාදිලිය හඳුන්වා දුන්නේ අනගාරික ධර්මපාල තුමාය. ඇත්ත වශයෙන්ම මෙය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තරීකරණය කොට ඊට බලපෑම් ඇති කිරීමේ යම් ආකාරයක උත්සාහයක් ලෙසද දැකීම සදොස් නොවේ.

  • Save

සුවිශාල භූමියක් වූ බ්‍රිතාන්‍ය ඉන්දියාව නිර්මාණය කිරීමෙන් පසුව බ්‍රිතාන්‍ය කිරීටයේ මීළඟ අරමුණ වුයේ එතැනින්  නැගෙනහිරට පැතිරීමය. බෙංගාලයෙන් නැගෙනහිරට වන්නට තිබුණු අරකන් රාජධානිය මේ සමස්ත කලාපයේම තිබුණු,  ඉතා සරුසාරවත් ලෙස සහල් නිෂ්පාදනය කල ගොවි බිම විය .  අනෙක් අතින්   ඉන්දියානු සාගරයට නැගෙනහිරින් තිබෙන පළමු බිම් කඩ වුනු අරකන් රාජධානිය,  බෙංගාල බොක්කේ සමුද්‍රීය දේශපාලනය සහ ආර්ථික කටයුතු තුල අතිශය  වැදගත් තැනක් ගත්තේය.

බ්‍රිතාන්‍ය ඉන්දියාවේ   දැවැන්ත හමුදා බලයට මේ කලාපයෙන් නැගෙනහිරට ප්‍රසාරණය වීමට විශාලතම  බාධාව වුයේ  බුරුමයේ අමරපුරය කේන්ද්‍ර කොටගෙන රාජ්‍ය කල බොදව්පාය රජුගේ ශක්තිමත් හමුදා බලයයි. බ්‍රිතාන්‍ය ආක්‍රමණයේ  අනතුර කල් තියා දුටු බොදව්පාය රජතුමා කලේ ඉංග්‍රීසීන් පැමිණීමට පෙර  තම හමුදා යවා අරකන් රාජධානිය යටත් කරගැනීමය.  මෙහිදී තම හමුදා ශක්තිය කෙරේ තදබල  විශ්වාසයකින් මඩින  ලද බොදව්පාය රජතුමා අරකන් රාජධානියට  බටහිරින්  පැවති,  එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාවට අයත් වූ වර්තමාන බංගලිදේශයට අයත් චිතගොං  පළාත සහ ඉනුත් ඔබ්බෙහි පැවති වර්තමාන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඇතැම් කොටස්ද  තම අණසකට නතු කර  ගත්තේය . මේ ප්‍රදේශය බෞද්ධ ගෝත්‍රික ජනකොටස් වූ චක්මා, චක්. මර්මා, තොන්චන්ග්‍යා වැනි ප්‍රජාවන් ඓතිහාසිකව ජීවත් වුනු පැරණි චක්මා රාජධානියට අයත් වුනු ප්‍රදේශයක්   වුනු අතර  මේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය සඳහා බොදව්පාය රජතුමාගේ හේතු  දැක්වීම වූයේ  මෙම පළාත් ඓතිහාසිකව ථෙරවාදී බෞද්ධයන්ගේ වාස භූමි වුනු බවත්,  මේ ජනයා කුමන තත්වයක් යටතේ වුවද බෞද්ධ නොවන පාලනයක් යටතට පත් වීමෙන් වැළක්විය යුතු නිසා මෙසේ කරන්නන්ට සිදු වන බවත්ය.

මීට  දශක දෙකකට පමණ පෙර  බොදව්පාය රජතුමා ලංකාවටත් සුවිශේෂී අනුග්‍රහයක් දක්වා තිබිණි. එනම් ලංකාවේ වැලිතොට ශ්‍රී ඥාණවිමලතිස්ස තෙරුන් වහන්සේගේ ගෝල නියෝජිත පිරිසට වසර තුනක් තිස්සේ නේවාසිකව ආවතේව කරමින් ධර්මය ඉගැනීමත්  උපසම්පදාවේ පිහිටුවීමටත් ඒ අනුසාරයෙන් ලංකාවේ අමරපුර නිකාය ආරම්භ කිරීමටත්  පූර්ණ අනුග්‍රහය දැක්වීමයි. මේ ශාසන ඉතිහාසය පිරික්සන විට පැහැදිලි වන කරුණක් නම් පහතරට සිංහලයන්ගෙන් බහුතරයා තම සත්‍ය රජු ලෙස බුරුමයේ අමරපුරයේ බොදව්පාය රජතුමා සැලකූ බවය. එමෙන්ම ආසියාතික ථෙරවාදී කලාපය  යම් පොදු සම්මුතියක් යටතේ ඒකාබද්ධ කල යුතුය යන අදහසක බොදව්පාය රජතුමා සිටි බවද එහි මූලික තැනක් ලංකාවට ලැබුණු බවත් පැහැදිලිය.

පසු කලෙක  බ්‍රිතාන්‍යන් සහ බොදව්පාය රජතුමාගේ බුරුම හමුදා අතර දීර්ඝ කාලීන ගැටුම් මාලාවක් ඇති වන අතර 1885 දී, ඒ වන විට අමරපුරයෙන් මණ්ඩලය නුවර කරා විස්ථාපනය  වී තිබුණු මධ්‍යම බුරුම රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වෙයි .

මේ කාලය වන විට ලංකාවේ ආරම්භ වී තිබුණු බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ  සිරසත්, සිරුරත් , හදවතත්  වුයේ අනගාරික ධර්මපාල තුමා බව අමුතුවෙන් කිව යුතු නැත . දේශීය බෞද්ධ නායකයකු පමණක් නොව, රටේ ඉදිරිය පිලිබඳ සමස්ථතාවාදී දැක්මක් සහිත එකම අනාගතවාදියාද  වුනු එතුමා විශිෂ්ඨ ගණයේ  බෞද්ධ තානාපති කෙනෙකුද විය. බෞද්ධ ලෝකයට යලි නැගිටිය හැක්කේ රටේ සීමාව ඉක්මවා යන අන්තර්ජාතික වැඩපිළිවෙලකින් පමණක් බව තරයේ විශ්වාස කල ඔහුගේ සමස්ථ ශ්‍රමයෙන් වැඩි කොටසක් වැය වුයේ එවැන්නක් ගොඩනැගීම උදෙසාය. බුද්ධ ගයාව යලි අත්පත් කරගෙන එය ජාත්‍යන්තර බෞද්ධ කේන්ද්‍රස්ථානය ලෙස වැඩි දියුණු කිරීමත් ඒ ස්ථානය බෞද්ධයන්ට වන්දනා මාන කිරීම උදෙසා හුරු කිරීමත් මේ යටතේ සිදු වුනු බව අප දනිමු. එමෙන්ම චිකාගෝ නුවර පැවති ලෝක ආගම් සමුළුව ආමන්ත්‍රණය කිරීම මෙන්ම  ජපානය සමග  තිබුණු සම්බන්ධතාද යොමු වුයේ මේ අදහසම දෙසට බව පෙනේ.

ලංකාව අභ්‍යන්තරයේ පැවති අභියෝගයක් කෙරෙහි  විදේශයන් වල සිටි උගතුන් තුල  අලුත් උනන්දුවක් ඇති කිරීම සහ ඔවුන්ගේ සම්පූර්ණ දායකත්වය ඒ වෙනුවෙන් ලබා ගැනීම යන අලුත් සටන් මාදිලිය හඳුන්වා දුන්නේ අනගාරික ධර්මපාල තුමාය. ඇත්ත වශයෙන්ම මෙය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තරීකරණය කොට ඊට බලපෑම් ඇති කිරීමේ යම් ආකාරයක උත්සාහයක් ලෙසද දැකීම සදොස් නොවේ.

මේ කාලයේදී බුරුම රට අරකන් පළාතේ අරකන් ජාතික ඌ උත්තම නම් තරුණ භික්ෂූන් වහන්සේ නමක් අධ්‍යාපනය ලැබීම සඳහා ලංකාවට වැඩම කොට  තිබිණ. ලංකාවේ සිදු වෙමින් තිබුණු සාර්ථක සටන උන් වහන්සේට ආශ්වාදජනක දෙයක් වුනු අතර . බුරුමය මුදා ගැනීමට නම් බුරුමයේද ධර්මපාල කෙනෙකු පහල විය යුතු බව උන් වහන්සේගේ අදහස විය.   නැවත තම රටට වැඩි උන් වහන්සේ කල පළමු කාර්යය වුයේ ලංකාව අනුකරණය කොට ඊට සමාන්තර සංවිධාන පද්ධතියක් බුරුමයේ ඇති කිරීමය. මේ අනුව පිහිටුවනු ලැබුණු බුරුම තරුණ බෞද්ධ සංගමය අතිශය සාර්ථක අඩියකට පත් වුනු අතර පසු කාලයකදී අධිරාජ්‍ය  විරෝධී සටනේ පෙරමුණේම බැබලුනු සංවිධානයක් විය.

කෙසේ හෝ රාජ්‍ය විරෝධී සටන් හේතුවෙන් ඌ උත්තම ස්වාමීන් වහන්සේ සිරගත වන අතර එවැනිම වැරදි කිරීම හේතුවෙන් සිරගත වී සිටින අවුන් සාන් නමැති තරුණ නායකයකු සමග එකම කුටියේ කල් ගත කිරීමට උන් වහන්සේට සිදු වෙයි. මෙහිදී ලංකාවේ සටන් මාදිලිය ගැනත්, ආසියාතික සහ ලෝක පරිමාණ  බෞද්ධ සහෝදරත්වයක් ගැනත් වන ධර්මපාලගේ  අදහස උන් වහන්සේ අවුන් සාන් තරුණයාට සම්ප්‍රේෂණය  කරයි. සිරෙන් නිදහස් වීමෙන් පසුව බුරුමයේ හමුදාව (තත්මදව්) නිර්මාණය කොට එහි පළමු ජෙනරාල් වරයාත් , නිදහසට  පෙර බුරුමයේ පළමු අග්‍රාමාත්‍ය වරයාත් වන්නේ මේ තරුණයාය. ඒ වන විට ඔහු තම හමුදාව කැටුව  ජපන් හමුදා සමග එක් වී බ්‍රිතාන්‍ය හමුදාවන්ට එරෙහිව සටන් වැද සිටි අතර මේ වන විට ඉන්දීය නිදහස් සටනේ ආයුධ සන්නද්ධ විසඳුම් විශ්වාස කල සුබාෂ් චන්ද්‍රබෝස්ද මේ සන්ධානයට පුළුල් වශයෙන් සම්බන්ධ වී සිටියේය. අප මේ සියල්ල දෙස බැලිය යුත්තේ  අනගාරික ධර්මපාල තුමන් ජපානය කෙරෙහි තැබූ විශ්වාසය  සමගිනි. එවකට ජපානයේ සිටි අධිරාජ්‍යයා අප සියල්ලන්ගේ පොදු නායකයා වශයෙන් පිළිගැනීමේ අදහසක අංශු මාත්‍රික අදහසක් මේ සියල්ල තුල ගැබ් වී තිබෙයි.

මෙමස දාහත් වැනිදා අනගාරික ධර්මපාල තුමාගේ එකසිය පනස් හයවැනි ජන්ම සංවත්සරයයි. කිසිදා පිළිණු නොවන ධර්මපාල නාමය මා මෙවර සිහි කරන්නේ එතුමන්ගේ තුන් කල් යා කල රාජ්‍ය තාන්ත්‍රිකත්වය සිහි කිරීමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap